ඇහැලේපොළ වලව්වේ ඉටි රූ කෞතුකාගාරය ජනපති අතින් විවෘත වෙයි

ඇහැලේපොළ වලව්වේ ඉටි රූ කෞතුකාගාරය ජනපති අතින් විවෘත වෙයි

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක  අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමෙන් පසු, එහි පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.

ඇහැලේපොළ වලව්ව අයත් කන්ද උඩරට රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍රවාරිත්‍ර සහ කලා ශිල්ප ආදිය ඉටි ආශ්‍රයෙන් මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙන අතර, පාරම්පරික කර්මාන්ත පිළිබඳ ප්‍රදර්ශන කුටි මෙන්ම ඉපැරණි භෝජනාගාරයක්ද ස්ථාපිත කර තිබේ.

එමෙන්ම, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි, වාරියපොල ශ්‍රී සුමංගල හිමි, පළමු වන විමලධර්මසූරිය රජු, කුසුමාසන දේවිය, මොණරවිල කැප්පෙටිපොළ දිසාව, දේවේන්ද්‍ර මුලාචාරිතුමා, රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා, ඇහැලේපොළ මහාධිකාරම්, කුමාරිහාමි, දරු දෙදෙනා ඇතුළු ඉතිහාසයේ සුවිශේෂි චරිත 35කට අදාළ ජීවමාන ඉටි රූප මෙහි ප්‍රතිනිර්මාණය කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය සහ අභිමානය විදහා දැක්වෙන අයුරින් නිම කර ඇති මෙම කෞතුකාගාරය මහනුවරට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම, වර්තමාන පරපුරට උඩරට රාජධානිය සහ ඒ සමඟ බැඳුණු ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කළ හැකි මධ්‍යස්ථානයක් බවටද මෙම කෞතුකාගාරය පත් වනු ඇත.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අතුල හේරත් මහතා මෙහි නිර්මාණ ශිල්පියා වන අතර ශ්‍රී දළදා මළිගාවේ ඇහැලේපොල වලව්ව කෞතුකාගාර විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම කටයුත්ත සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300කි.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම යන ස්වාමීන් වහන්සේලා සහ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී යන ස්වාමින් වහන්සේලා ඇතුළු ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයීය ලේඛකාධිකාරී සහ කාරක සංඝ සභික මහා සංඝරත්නයද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන අය විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතුන් ඇතුළු ආරාධිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න