ශ්‍රී ලංකා මුහුදු තීරය තුළදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීමෙන්, සමුද්‍රීය පරිසර හා ආර්ථික හානිය වෙනුවෙන් මෙරට රජයට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නෞකා සමාගමට අද නියම කළේ ය.
අදාළ ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, නාලක ගොඩහේවා ඇතුළු පාර්ශ්ව කිහිපයක් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දු කරමිනි.
තීන්දුව නිකුත් කළ අද සිට වසරක් ඇතුළත අදාල වන්දි මුදල ගෙවන්නැයි නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වන්දි මුදලට අදාළ වාරික මුදලක්, 2025 සැප්තැම්බර් 23 වැනිදා වන විට ගෙවිය යුතු බවට ද නියෝග කළේ ය.
අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ එම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි.
ඒ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධීවර ප්‍රජාව විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කරමිනි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය සහ ධීවර ප්‍රජාවට වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන්නැයි ඉල්ලා පෙත්සම් ගොනු කර තිබුණි.
වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ, පරිසර අමාත්‍යවරයා, ධීවර අමාත්‍යවරයා, වරාය අමාත්‍යවරයා, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්ස්ප්‍රස්පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 12 දෙනෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
