Language Switcher

V2025

හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින් හට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් වෘත්තිකයින් පිරිසක් නියෝජනය කරන හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින්ගේ ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එම වෘත්තිකයින් හට මෙරට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් (Higher Diploma in Clinical Perfusionists Training Programme – 2025/27) හදුන්වාදීමට සහ ඊට අදාළ විෂය මාලාව හදුන්වාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ගනු ලැබිණී.

ඊට අදාළ උත්සව අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණිගේ ප්‍රධානත්වයෙන් අද (11) ජාතික රොහලේ Neuro Trauma ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය (Education Training and Research (ET&R) මගින් මෙම වසර 02 ක පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙරට 1953 සිට හෘද ශල්‍යකර්ම සිදුකර ඇති අතර, එම කාලයේ සිට වෛද්‍යවරුන් මෙම තනතුරේ වගකීම දරා ඇත. එහෙත් මෑත කාලිනව (1980) මෙම තනතුරට වෙනම ම නිලධාරින් බඳවාගෙන ඇති අතර, වර්තමානය වන විට හෘදපෙනහළු නිවේශක තනතුරේ නිලධාරින් 40 ක් පමණ මෙරට සේවයේ නිරතව සිටී. එසේ වුව ද එම තනතුරට අදාළව නියමිත පුහුණුවක් මෙරට දී ලබාදීමේ වැඩපිළීවෙලක් නොතිබුණු අතර, හෘදපෙනහළු නිවේශක සංගමයේ අඛණ්ඩ ඉල්ලීමකට අනුව එම පුහුණු පාඨමාලාව ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

පාඨමාලාව හදුන්වාදීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය‌ වෛද්‍ය හංසක විඡේමුණි  කියා සිටි‌යේ මානව සංවර්ධනයට ඇති බාධා බවත් කිරිම වර්තමාන රජයේ දැක්ම බවයි. සෑම විෂය ක්ෂේත්‍රයකටම අදාළව එම ක්ෂේත්‍රයේ නිරත වූවනට ක්ෂේත්‍රයේ ඉහළටම යාමට ඇති බාධා ඉවත් කළ යුතු බවත්, කුමන තරාතිරමක සෞඛ්‍ය සේවකයෙකුට වුව ද ඔහුගේ දැනුමට බාධක තිබිය යුතු නැති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දේවල් වෙනස් විය යුතුව තිබෙන බවත්, විශ්වවිද්‍යාල සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඉතා සමීප සම්බන්ධතාවයක් තිබිය යුතු බව ද පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අවශ්‍ය තරම් වෘත්තිකයින් ඒ ඒ ක්ෂේත්‍ර තුළ නොමැතිවීම මත සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බාධක නිර්මාණය වී තිබෙන බව ද එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද පැවසී ය.

නිර්වින්දන වෛද්‍යවරුන්ගේ දැඩි හිඟය සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල කර ඇති බවත්, රෝහල් කාර්ය මණ්ඩල සහ භෞතික සම්පත් වැඩි වුව ද සිදු කරන ශල්‍යකර්ම ප්‍රමාණය අඩුවීමට එය ද හේතු වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා හෘද රෝගී සැත්කම් ලේණයේ විශාල පිරිසක් වන බැවින් ‌භෞතික සම්පත් ලබාදෙන අතරම මානව සම්පත සංවර්ධනයට පියවර ගන්නා බව ද ඉදිරියේ දී මෙම ක්ෂේත්‍රයේ දියුණුව අත්‍යාවශ්‍ය බව ද පැවසී ය.

මෙවැනි පුහුණු පාඨමාලා ලබාදීමට කටයුතු කිරීම තුළ ද වැඩි වශයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන් වෘත්තිකයින් විදෙස් ගතවීමට උත්සාහ දැරීම දක්නට ලැබෙන බවත් එය කණගාටුවට කරුණක් බවත්, සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අධ්‍යාපනයට ඇති බාධක රජය ඉවත් කරන විට වෘත්තකයින් සාධාරණ කාලයක් හෝ රටට සිය සේවය ලබාදීමට කටයුතු කළ යුතු බව ද පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස විෂය මාලාවන් සංවර්ධනය කිරීමට අදාළ භෞතික, මූල්‍යමය හා අනෙකුත් සම්පත් ලබාදීමට කටයුතු කරන බව ද වෛද්‍යවරයාගේ සිට සෑම ක්ෂේත්‍රයකටම දැනුම වැඩිදියුණු කර ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය සේවකයෙක් යනු හුදෙක් රජයේ සේවකයෙක් පමණක් නොව දැනුමින් පරිපූර්ණ, සියලු දෙනාට විශ්වාසය තැබිය හැකි නිලධාරියෙක් බවට පත් කිරීම බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.

ඉන්දියාවේ බැංගලෝර් නුවර නාරායන හෘද රෝහලේ හෘද පෙනහළු නිවේශක දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය පී.වී.එස් ප්‍රකාශ්  සුබ පැතුම් පණිවුඩයක් ද මෙම අවස්ථාවට එක්කර තිබූ අතර, හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින්ගේ වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි  අතින් මෙහිදී සිදු කෙරිණී.

හෘදපෙනහළු නිවේශකයින් යනු විවෘත හෘද සැත්කම් සහ බාහිර රුධිර සංසරණය අවශ්‍ය වන අනෙකුත් ක්‍රියා පටිපාටි අතරතුර හෘද-පෙනහළු යන්ත්‍රය සහ අනෙකුත් ජීවිත ආධාරක උපකරණ ක්‍රියාත්මක කරන අත්‍යවශ්‍ය, තිරය පිටුපස සිටින විශේෂඥයින් වේ. ශල්‍ය වෛද්‍ය කණ්ඩායම හදවත හෝ පෙනහළු මත ක්‍රියාත්මක වන අතරතුර, රෝගියාගේ වැදගත් කාර්යයන් එනම් ඔක්සිජන්කරණය, රුධිර සංසරණය සහ උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා ඔවුන්ගේ විශේෂඥතාව මූලික වේ. එම වෘත්තිකයින්ගේ සේවාව රෝගියාගේ ආරක්ෂාව, ශල්‍යකර්ම ප්‍රතිඵල සහ සුවය ලැබීමට සෘජුවම බලපායි. මෙම තනතුර සඳහා භෞතික විද්‍යා උපාධිධාරීන් සහ හෙද උපාධිධාරීන් තරග විභාගයක් මගින් තෝරා ගනු ලැබේ.

මෙම අවස්ථාවට ඡ්‍යෙෂ්ඨ හෘද පෙනහළු නිවේෂක නිලධාරීන් වන මංගල ජයසිංහ, එන්.ටී.එස් ද කොස්තා, නිර්වින්දනවේදී පාසලේ නිර්වින්දන වෛද්‍ය උපදේශක වෛද්‍ය දිමුතු ගුණසේන, හෘද, උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ පාසලේ හෘද උරස් ශල්‍ය වෛද්‍ය උප‌දේශක වෛද්‍ය මහේන්ද්‍ර මුණසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත රණසිංහ යන මහත්වරුන් මෙන්ම හෘදපෙනහළු නිවේශකයින්ගේ සංගමය නියෝජනය කරමින් සාමාජිකයින් සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, විශේෂඥ ශ්‍රේණියේ හෙද නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.