විනිමය පත්‍ර (සංශෝධන) පනතට කථානායකවරයාගේ සහතිකය

විනිමය පත්‍ර (සංශෝධන) පනතට කථානායකවරයාගේ සහතිකය

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  අද ( 15) සිය සහතිකය සටහන් කළේය.

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව මෙම විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත ලෙස බලාත්මක වන අතර මෙම පනත මගින් 82 වන අධිකාරය වූ විනිමය පත්‍ර ආඥාපනත නවීකරණය කර සමකාලීන බැංකු කටයුතු සමඟ සමගාමී කිරීම අරමුණු කොට ඇත.

මෙම පනත මගින් වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් සාපරාධී වගකීම් පැනවීමට හැකියව පවතී. එමෙන්ම, නීත්‍යානුකූලව අවසරලත් ආකාරයට එදිනෙදා ව්‍යාපාරික කටයුතුවලදී නව්‍ය ලෙස හා නීතියට අනුකූල වන පරිදි විනිමය බිල්පත් භාවිතා කිරීම පිණිස පහසුකම් සලසන අතර චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන සලසා ඇත.

මෙම සංශෝධනයේ ප්‍රධාන අංග අතරට තත්කාලය සඳහා අදාළ වන නෛතික අනුප්‍රමාණයට අනුව බිල්පතක පොළිය ගණනය කිරීම සඳහා විධිවිධාන සැලසීම, ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් අගරු කිරීමේ නිවේදන ලබා දීම සදහා විධිවිධාන සැලසීම, අභාවිත පරිචයන් ඉවත් කිරීම සහ වර්තමාන කෙටුම්පත් කිරීමේ පරිචයන්ට අනුකූල වන පරිදි නීතිය සකස් කිරීම ඇතුළත් වේ.

එමෙන්ම ගෙවීම සඳහා චෙක්පතක් ඉදිරිපත් කිරීමේදී ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් චෙක්පතක අනුරූපයක් අණලත් බැංකුව වෙත යැවීමට බැංකුකරුට හැකියාව ලබා දීම, චෙක්පතක කවර හෝ එක් පසෙක රේඛනය කිරීමේ පරිචය පිළිගැනීම, “ආදායකයාගේ ගිණුමට” යනුවෙන් රේඛනය කිරීම (“පමණි” වචනය සමඟ හෝ නොමැතිව) ව්‍යවස්ථානුකූලව පිළිගැනීම, ගෙවීම් සිදු කරන බැංකු සඳහා ආරක්ෂණය වැඩි කිරීම, චෙක්පත් අගරු කිරීම සඳහා දඬුවම් සහ ඒ සම්බන්ධ විධිවිධාන සැලැස්වීම සහ ආදායකයාගේ නම වෙනස් කිරීම වාස්තවික වෙනස් කිරීමක් ලෙස සැලකීම යන විධිවිධාන ද ඇතුළත් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න