හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ  පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි.

එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව, රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් තිබූ බැවින් රනිල් වික්‍රමසිංහව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුලත් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පෞද්ගලික සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිත කළැයි චෝදනා මත අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ  ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර  නියෝග කළා ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ දහවල් රනිල් වික්‍රමසිංහ  අත්අඩංගුවට ගත්තේ, ප්‍රකාශයක් ලබාදීම සදහා පැමිණි අවස්ථාවේදී ය.

රජයේ මුදල්වලින් සිදු කළායැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව පොදු දේපල පනත යටතේ ගැනෙන චෝදනා මත කෙරෙන විමර්ශනයට අදාළව එම කැඳවීම කර තිබුණි.

රනිල් වික්‍රමසිංහ  එම සංචාරය සිදුකර ඇත්තේ, 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලයි.

ඔහු සමග තවත් දස දෙනෙකු ඊට එක්ව තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්තේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න