දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 'බදු අපරාධ විමර්ශන අංශය' නව ස්ථානයකට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 'බදු අපරාධ විමර්ශන අංශය' නව ස්ථානයකට

මේ වසරේ ජනවාරි මස 01 වැනි දින සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත "බදු අපරාධ විමර්ශන අංශය" එහි රාජකාරී කටයුතු පුළුල් කිරීම සඳහා කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලස්ථානයේ 10 වන මහලේ විවෘත කර තිබේ.

මෙම අපරාධ විමර්ශන අංශය නව ස්ථානයෙහි විවෘත කළේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු, ඉහළ කළමනාකාරිත්වයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික බදු පරිපාලන උපදේශක ග්‍රෙගරි ටොපින් ගේ සහභාගීත්වයෙනි.

එම අංශයේ ක්‍රියාකාරකම් පිළිබඳ අදහස් දක්වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙසේ කියා සිටී.

මෙම අංශයේ ප්‍රධාන රාජකාරී කටයුතු වන්නේ, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ XVIII වන පරිච්ඡේදය යටතේ වූ යම් වරදක් සම්බන්ධයෙන් විමර්ශනය කර අපරාධ නඩු කටයුතු පවත්වාගෙන යාම වේ. බදු අපරාධ සම්බන්ධයෙන් වන නඩු පවරා පවත්වා ගෙන යාම නීතිපතිවරයා විසින් සිදු කරන අතර, බදු ගෙවීම චේතාන්විතව මග හැරීම, බදු පරිපාලනයට බාධා කිරීම, අපරාධමය වරදක් කිරීමට ආධාර හා අනුබල ලබා දීම ආදී වැරදි ක්‍රියාවන් මෙමඟින් විශේෂයෙන්ම ආවරණය කරනු ඇත.

බදු අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව, අපරාධ විමර්ශන කොට්ඨාශය, ශ්‍රී ලංකා රේගුව, සුරා බදු දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ සමීප සම්බන්ධතාවන් සහිතව පවත්වා ගෙන යනු ලැබේ.

මේ වන විට නීති කටයුතු ගණනාවක් ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී එම අංශයේ රාජකාරි කටයුතු තවදුරටත් පුළුල් කොට ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු ප්‍රකාශ කළාය.

(සටහන | ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න