නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල පිළිබඳ පෙත්සම විභාගයට අවසර

නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල පිළිබඳ පෙත්සම විභාගයට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) අවසර ලබා දුන්නේය.

නීතිඥ විජිත කුමාර නමැත්තෙකු විසින් ගොනු කරනු ලැබ තිබූ එම පෙත්සමෙන් එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළුව පිරිසක් නම්කර තිබුණි.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

පෙත්සමෙන් ඉල්ලූ 'එක ම දේ'

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනු කර තිබූ බව ය.

 

 

අදාළ විදුලි ගාස්තුව මේ වන විට ගෙවා අවසන් කර ඇති බැවින් අදාළ ක්‍රියාව තුළින් මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින් අපේක්ෂා කරන බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.

 

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ, අදාළ විදුලි ගාස්තු මේ වන විට ගෙවා අවසන් කර තිබෙන බව ය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේ ය.

විදුලි ගාස්තු රු. මිලියන 2ක්

හිටපු අමාත්‍ය නාමල් රාජපක්‍ෂගේ විවාහ මංගල උත්සවයේදී පරිහරණය කරන ලද විදුලිය වෙනුවෙන් රුපියල් මිලියන 2කට අධික මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීමට නියමිතව තිබුණත් ඔවුන් එම විදුලි ගාස්තු ගෙවා නොතිබූ බව ය.

ඉන් කලකට පසුව මෙම නඩුකරය ගොනු කිරීමෙන් අනතුරුව අදාළ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කර තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියේ ය.

සාමාන්‍ය මහ ජනතාවගේ කුඩා වටිනාකම්වලින් යුත් විදුලි බිල් පවා නිසි වෙලාවට නොගෙවූ බවට චෝදනා කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කරන බව පෙන්වා දෙන පෙත්සම්කරු එහෙත් මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නිසි වේලාවට අය කර ගැන ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත් සඳහන් කළේ ය.

ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා එම නීතිඥවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.   

 

The leader.lk

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න