Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ට්‍රම්ප් විසින් චීනයට පැනවූ 100%ක අතිරේක තීරු බද්ද ශ්‍රී ලංකාවට බලපාන අයුරු

නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අමෙරිකාව වෙත සිදුකරන චීන අපනයන මත 100%ක අතිරේක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

එම තීරණය හරහා ශ්‍රී ලංකාවට ධනාත්මක මෙන්ම ඍණාත්මක වශයෙන්ද බලපෑමක් සිදුවිය හැකි බව අද දෙරණ සිදු කළ විමසීමක දී ඇඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පැවසුවේය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම තීරණය හරහා ගෝලීය වෙළදාම් මට්ටමෙන් ප්‍රබල බලපෑමක් එල්ල විය හැකි අතර එසේ සිදු වුවහොත් එය ශ්‍රී ලංකාවට ද සෘජුව බලපෑමක් ඇති කරන බවය.

 අමෙරිකාව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළක් බවත් අමෙරිකාව හා චීනය හරහා වෙළෙඳ යුද්ධයක් ඇති වීම හරහා අමෙරිකාවේ වෙළෙඳපොළට කිසියම් සංකෝචනයක් ඇති වුවහොත් එය ශ්‍රී ලංකාවේ අපනයනවලට ප්‍රධාන වශයෙන් බලපෑමක් එල්ල වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

එමෙන්ම අපේ අපනයනය සඳහා අවශ්‍ය බොහෝ අමුද්‍රව්‍ය චීනය හරහා ගෙන්වා ගන්නා බවත් මෙම තීරණය තුළින් සිදුවන බලපෑම හරහා චීනයෙන් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එය අපේ නිශ්පාදන ක්ෂේත්‍රයට ද ප්‍රබල ලෙස බලපානු ඇති බව ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම තීරණය හරහා අමෙරිකාවේ ආර්ථිකය කිසියම් දුර්වල මට්ටමකට පත් වුවහොත් අමෙරිකාවේ පොලී අනුපාත වෙනස් වීමත් සමග ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමේදී පොලී අනුපාත අඩුවීමෙන් සහන ලබා ගැනීමේ හැකියාවක් පවතින බවය.

තාක්ෂණික මෙවලම් නිෂ්පාදනයන් සඳහා අත්‍යවශ්‍යවන දුර්ලභ ඛනිජ වර්ග 7ක් සඳහා චීනය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී අපනයන සීමා පනවනු ලැබීය.

මෙම ඛනිජ වර්ග 7ට අමතරව චීන වාණිජ අමාත්‍යාංශය විසින් තවත් දුර්ලභ ඛනිජ වර්ග 5ක් සඳහා අපනයන සීමා පනවන බවට නිවේදනය කළේය.

ඒ අනුව හොල්මියම්, එර්බියම්, තුලියම්, යුරෝපියම් සහ යිටර්බියම් යන ඛනිජ වර්ග 5 සඳහා අපනයන සීමා පැනවෙනු ඇති.

මීට අමතරව, චීනය මෙම ඛනිජ ද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා භාවිතා කරන විශේෂිත තාක්ෂණික උපකරණ අපනයනය කිරීම සඳහා ද සීමාවන් පනවා තිබෙන අතර මෙම සීමාවන් බොහොමයක් දෙසැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මකවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීනයේ මෙම තීරණයට ප්‍රතිචාරයක් ලෙස, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ට්‍රෘත් සමාජ මධ්‍යයේ සටහනක් පළ කරමින් සඳහන් කර ඇත්තේ චීනය නිෂ්පාදනය කරන සෑම නිෂ්පාදනයක් සඳහාම මෙන්ම ඔවුන් නිෂ්පාදනය නොකරන ලද ඒවා මත මහා පරිමාණ අපනයන පාලනයන් පැනවීමට යන බව පවසමින්, චීනය ලෝකයට අතිශයින්ම සතුරු ලිපියක් යවා ඇති බවය.

 ඒ අනුව ඔවුන් වෙළඳාම සම්බන්ධයෙන් අසාමාන්‍ය ලෙස ආක්‍රමණශීලී ස්ථාවරයක් ගෙන ඇති බවත් අමෙරිකානු ජනපතිවරයා සඳහන් කළේය.

චීනයේ මෙම තීරණය මත පදනම්ව ඇමරිකා එක්සත් ජනපදය සිදුකරන චීන ආනයන මත 100% ක අතිරේක තීරුබද්දක් පැනවීමට කටයුතු කරන බව ජනපති ට්‍රම්ප් සිය ට්‍රෘත් සමාජ මධ්‍යයේ පළ කර ඇත.

ඊට සමගාමීව, නොවැම්බර් 1 වන දින සිට අමෙරිකාව සියලුම තීරණාත්මක මෘදුකාංග සඳහා අපනයන පාලනයන් පනවන්නටද තීරණය කර තිබේ.

චීනයේ මෙම තීරණය තමා කම්පනයට පත් කළ ඉතා නරක තීරණයක් බවත් තවත් සති කිහිපයකදී චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුවද පැවැත්වීමට දැන් හේතුවක් නොමැති බවත් ජනපති ට්‍රම්ප් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නමුත් ජනපති ට්‍රම්ප් මෙම හමුව අවලංගු කර නොමැති බවත් ඉදිරියෙදී එය පැවැත්වීමට පවා වුවද හැකියාව ඇති බවත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

කෙසේ වුවද බීජිං පරිපාලනය කිසි විටෙකත් මෙම හමුව තහවුරු කර නොමැත.

 | adaderana