දස වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යයංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07වන දා පස්වරුවේ රැස් විය.
මෙහි දී, මින් පෙර පැවති සාකච්ඡාවල ප්‍රගතිය විමසීම සිදු කෙරුණු අතර, උතුරේ ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යෑම ආදිය පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් යොමු කරන ලද බොහෝ ගැටලුවලට සාධනීය විසදුම් ලබා දීමට පියවර ගෙන තිබෙන බව එහි දී සඳහන් කෙරිණි. එමෙන්ම මෙම කටයුතු සිදුකරගෙන යෑමේ දී තවදුරටත් පවතින බාධා සහ ගත යුතු පියවර පිළිබඳව ද එහි දී සාකච්ඡා කෙරිණි.
ත්‍රිකුණාමලය, මනෛයාවෙලි ප්‍රදේශයේ පවතින ‘සැන්ඩි බේ’ වෙරළ තීරය මහජනතාවට බාධාවකින් තොරව භාවිත කිරීමට අවස්ථාව ලබා දීම සහ ධීවර ගැටලුවලට විසඳුම් ලබා දීමට අදාළව ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ඔලුවිල් වරාය ආශ්‍රිත ඉඩම් ඛාදනයට ලක් වීමේ ගැටලුව පිළිබඳව ද විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳව NARA ආයතනයේ සහාය ලබා ගනිමින් නව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයට උපදෙස් දී තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ආරක්ෂක අංශ සාමාජිකයින් ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම සහ හෙලිකොප්ටර් සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහි දි සාකච්ඡාවට ලක් කෙරිණි.
අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය







