රට වටේ මුහුද තිබුණ ද රටේ දළ දේශීය නිෂ්පාදනයට ධීවර කර්මාන්තය ලබා දෙන දායකත්වය 1.4%ක ප්‍රමාණයක් බවත්, එයට හේතුව ධීවර සම්පත ආරක්ෂා කර, මත්ස්‍ය සුරක්ෂිතභාවය ඇති කර ගැනීමට නොහැකි වීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (07) මාදැල් ධීවරයන් විසින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණය සමග එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
පන්න පිළිබඳව රජයට දැනුමක් නෑ
වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක අනන්‍ය ආර්ථික කලාපයක අයිතියක් අප රටට තිබුණත් මෙතෙක් කල් අප රටේ ධීවර කර්මාන්තය වැඩි දියුණු කර ගන්න නොහැකි වෙලා තිබෙනවා. මේ ධීවර ක්ෂේත්‍රයේ සිටින ප්‍රතිපත්ති සම්පාදකයන් බහුතරයකට මේ ගැන නිසි අවබෝධයක් නැහැ. රිටි පන්නය, මාදැල් පන්නය, එක් දින යාත්‍රා, බහු දින යාත්‍රා ආදී පන්න රාශියක් තිබුණත් රජයට මේ ගැන දැනුමක් නෑ. මා දැල් පන්නයට මාදැල් වරාය පවා තිබෙනවා. මේ මාදැල් කර්මාන්තය තාක්ෂණය අනුව වෙනස් වන විට කිසිදු රෙගුලාසියක් නොමැතිව ඇමතිවරයා ගේ කටවචනයට මේ මාදැල් කර්මාන්තය තහනම් කර තිබෙනවා නම් එය වරදක්. මෙවැනි තහනම් කිරීමක් සිදු කිරීමට පෙර පරිසර ඇගයීමක් සිදු කළ යුතු වුනත් එවැනි විද්‍යාත්මික දත්ත කේන්ද්‍රීය ක්‍රියාවලියක් සිදු කර ඇත්ද කියා ගැටලුවක් පවතිනවා.
ඇමතිවරුන්ට හිතෙන විදියට කර්මාන්ත තහනම් කරන්න බැහැ
වත්මන් රජයේ මැති ඇමතිවරුන් මැතිවරණ සමයේ බෝට්ටුවල ඔරුවල නැග විවිධ වොයිස්කට් දුන්නත් අද වන විට රටේ ජාතික ධීවර ප්‍රතිපත්තියක් නෑ. අප රටට හිමි සයුරු සම්පත තිරසර ආකාරයට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණය මේ රජයට නැහැ. මේ රජය ධීවර ජනතාවත් අන්දවලා. දැන්වත් මේ පන්න ක්‍රමවේදවලින් අලුත් දෙයක් වන විට එමගින් හානියක් වෙනවා කියා කටවචනයෙන් නොකියා විද්‍යාත්මක ඇගයීමක් සිදු කරන්න. මොවුන්ට විකල්ප ආදායම් මාර්ගයක් නොදී ඇමතිවරුන්ට හිතුන ආකාරයට කර්මාන්ත තහනම් කරන්න බැහැ.
නැවත වරක් පාර්ලිමේන්තුව රැස්වූ පසු මම මේ වෙනුවෙන් කතා කරනවා. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මේ වෙනුවෙන් හඬ නැගීම සිදු කරනවා. කරදිය ධීවර මෙන්ම මිරිදිය ධිවර කර්මාන්තය දියුණු කරන්න මේ රජයට කිසිදු අවබෝධයක් නැහැ. වෙනත් රටවල් අපේ මුහුදු සීමාවට ඇවිත් අපේ මත්ස්‍ය සම්පත කොල්ලකන විට රජය අහක බලන් සිටිනවා.''

