ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මි.මී 171ක් ලෙස සටහන් වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පවසයි.
එමෙන්ම කටුගස්තොට ප්‍රදේශයට මි.මී 120ක පමණ තද වැසි ඇඳ හැලී ඇති බවද සඳහන්.
ඊයේ (21) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව ලැබී ඇති අතර සබරගමුව, මධ්‍යම හා නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි වාර්තා වී ඇති බවද සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (22) පස්වරු 1.00න් පමණ පසුව, තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.
ඒ අතරින් ඇතැම් ස්ථානවලට අද දවසේදීත් මිලි මීටර් 100ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල තාවකාලික තද සුළංද ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසීය.
මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලද උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයකුත් පැවතිය හැකියි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ දිවයින වටා මුහුදු තීරය විශේෂයෙන්ම ගාල්ල සිට, මාතර, හම්බන්තොට, පොතුවිල්, ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද දවසේදී විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවය.
එමෙන්ම සෙසු මුහුදු ප්‍රදේශවලත් හවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද පැවසීය.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං, ප්‍රධාන වශයෙන් වයඹ දෙසින් හමා එන බවත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 20ත් 30ත් අගයක පැවතිය හැකි බවත් සඳහන්.
කෙසේ වෙතත් මාතර සිට පොතුවිල්, ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40, 45ක අගයක් දක්වා වර්ධනය විය හැකි නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක රළු ස්වභාවයක් ඇති විය හැකි බවද සඳහන්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු
''බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ අද දිනයේ නුවර ප්‍රදේශයට.විශේෂයෙන්ම පල්ලෙකැලේ පැවැත්වෙන මේ ලෝක කුසලාන තරගය සම්බන්ධයෙන්. දැනට අපිට පවතින නවතම දත්ත අනුව බැලුවොත් විශේෂයෙන්ම නුවර ආශ්‍රිතව හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතිනවා. ඉතින් තවදුරටත් අපිට කියන්න වෙන්නේ වැසි සඳහා වැඩි අවස්ථාවක් තියෙන බව. හෙටින් පස්සේ අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් වැසි අවම ස්වභාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.''

