මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින යුද ගැටුම් සහ ඒවායෙන් ඇතිවිය හැකි ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා, ඉන්දියන් සාගර කලාපයේ රාජ්‍ය නායකයන් අතර නිරන්තර සංවාද සහ සාකච්ඡා පැවැත්වීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.
පවතින ගෝලීය යුදමය වාතාවරණය සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ අදහස් පළ කළේය.
ඔහු සඳහන් කළේ, කලාපයේ තත්ත්වය වර්ධනය වෙමින් පවතින අතර එක් පාර්ශවයකින් අමෙරිකාව සහ ඊශ්‍රායලය කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කරන අතර අනෙක් පාර්ශවයෙන් ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.
මෙවැනි පසුබිමක, අමෙරිකාව විසින් ඉරාන නෞකාවක් සබ්මැරීන ප්‍රහාරයකින් ගිල්වා දැමීම වැනි සිද්ධීන් සිදුවන්නේ සමුද්‍රීය ආරක්ෂාවට වැදගත් වූ අපේම සාගර කලාපයේ බවද ඔහු අවධාරණය කළේය.
එවැනි සිද්ධීන්ට කලාපීය මට්ටමින් සක්‍රීය ප්‍රතිචාරයක් නොලැබීම හරහා, අද දින අපේ කලාපයට ලෝකයේ ප්‍රමාණවත් පිළිගැනීමක් නොලැබෙන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ පැවසීය.
එසේම ඔහු කියා සිටියේ, අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් අතර නිරන්තර සංවාද සහ සාකච්ඡා පවතින නමුත්, එවැනි සමීප සහයෝගීතාවක් ඉන්දියන් සාගර කලාපයේ රටවල් අතර දක්නට නොලැබෙන බවයි.
එවැනි පුද්ගලික සහ දේශපාලන මට්ටමේ සාකච්ඡා නොමැතිව කලාපීය ඒකාබද්ධතාවක් ගොඩනැගීම අපහසු වන බවත් ඔහු අවධාරණය කළේය.
ඒ අනුව දේශපාලනය, සමුද්‍රීය ආරක්ෂාව, වෙළඳාම, ආර්ථික ඒකාබද්ධතාව, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කලාපීය රටවල් අතර නායක මට්ටමේ නිරන්තර හමුවීම් සහ සාකච්ඡා පැවැත්විය යුතු බවට තමා යෝජනා කරන බවත් ඔහු සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාවට තිබෙන වරාය සහ සේවා පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය.
කොළඹ ආරක්ෂක සංවාද මණ්ඩලය වැනි වේදිකා හරහා සමහර කටයුතු සිදුකෙරුවද, කලාපීය දේශපාලන දැක්මක් ගොඩනැගීම පිළිබඳ අවධානය තවමත් ප්‍රමාණවත් නොවන බවද ඔහු කියා සිටියේය.
එසේම, අමෙරිකාව ගෝලීය කටයුතු වලින් සෙමින් ඉවත්වෙමින් පවතින තත්ත්වය කලාපීය ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා නව අවස්ථාවක් විය හැකි බවත්, එම අවස්ථාව උපයෝගී කරගෙන ඉන්දියන් සාගර කලාපය සඳහා දිගුකාලීන සැලැස්මක් සකස් කළ හැකි බවත් රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කලාපීය රටවල් අතර නිරන්තර සංවාද සහ සාකච්ඡා මඟින් අනෙකුත් සාගර කලාපීය කණ්ඩායම් මෙන් එකමුතුභාවයක් ගොඩනැගීමට හැකි වනු ඇති බවයි.

