ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය; 2026 – ''නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය''

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය; 2026 – ''නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය''

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය මාර්ත 15 (අද) දිනට යෙදී ඇත. පාරිභෝගිකයා ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ වගකීම් පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම මෙම දිනයේ ප්‍රධාන අරමුණ වේ. 2026 වසරේ ලෝක පාරිභෝගික දිනයේ තේමාව වන්නේ “නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය” යන්න යි.  

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අදහස ලෝකයට හඳුන්වා දුන්නේ 1962 මාර්තු 15 දින අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ය. ඔහු අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතමින් පාරිභෝගිකයාට හිමි මූලික අයිතිවාසිකම් පිළිබඳව ප්‍රථම වරට නිල වශයෙන් අදහස් පළ කළේ ය. පසුව 1983 වසරේ සිට Consumers International සංවිධානය විසින් මෙම දිනය ජාත්‍යන්තරව සැමරීමට කටයුතු කරන ලදී. 

ජාත්‍යන්තරව පිළිගත් පාරිභෝගික මූලික අයිතිවාසිකම් අටක් ඇත. ඒ අතර මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අයිතිය, ආරක්ෂාව පිළිබඳ අයිතිය, නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය, තෝරා ගැනීමේ අයිතිය, හඬක් නැගීමේ අයිතිය, අසාධාරණයට ලක් වූ විට සහන ලබාගැනීමේ අයිතිය, පාරිභෝගික අධ්‍යාපනය ලැබීමේ අයිතිය සහ නිරෝගී පරිසරයක ජීවත් වීමේ අයිතිය ඇතුළත් වේ. 

ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක ප්‍රධාන නීතිය වන්නේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යි. මෙම පනත මගින් භාණ්ඩවල: ගුණාත්මකභාවය, වගකීම් සහතික, මිල ප්‍රදර්ශනය කිරීම සහ අසාධාරණ වෙළඳ සිරිත් තහනම් කිරීම යනාදි කරුණු නීතිමය වශයෙන් ආරක්ෂා කර ඇත. 

නීති තිබුණ ද, වර්තමාන පාරිභෝගිකයා ප්‍රමිතියෙන් තොර භාණ්ඩ, අසත්‍ය ප්‍රචාරණ, අන්තර්ජාල වෙළඳාම හරහා සිදුවන වංචා සහ තම අයිතිවාසිකම් පිළිබඳ නොදැනුවත්කම වැනි ගැටලු රැසකට මුහුණ දී සිටී.

භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමකින් ඔබ අගතියටපත්ව පත්වූ විට පාරිභෝගික අධිකාරියේ 1977 දුරකතන අංකයට හෝ පාරිභෝගික අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණිලි කල හැකි ය.

මෙවර තේමාවෙන් අවධාරණය කෙරෙන්නේ නිෂ්පාදනවල ආරක්ෂාවයි. අද අප භාවිතා කරන ආහාර, විදුලි උපකරණ, ඖෂධ සහ දෛනික භාණ්ඩ සියල්ලම ආරක්ෂිත ද යන්න සමාජයක් ලෙස නැවත සිතා බැලිය යුතු කාලයකට අප පැමිණ ඇත. පාරිභෝගිකයකු භාණ්ඩයක් මිලදී ගන්නේ එය තම ජීවිතයට පහසුවක් ලබාදෙනු ඇතැයි විශ්වාසයෙන් මිස හානියක් සිදු වේ යැයි සිතා නොවේ. 

නිෂ්පාදනවල ආරක්ෂාව සහතික කිරීම රජයේ පමණක් නොව, නිෂ්පාදකයින් ගේ සහ පාරිභෝගිකයින් ගේ ද වගකීමකි. නිෂ්පාදකයින් ප්‍රමිතියට අනුකූලව භාණ්ඩ නිෂ්පාදනය කළ යුතු අතර, රජය නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු ය. පාරිභෝගිකයා ද තම අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වී වංචාවලට එරෙහිව හඬ නැගිය යුතු ය.

2026 ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයේ දී අප සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුත්තේ බුද්ධිමත්,දැනුවත් සහ වගකීම් සහිත පාරිභෝගිකයකු වීමටයි.

රංජිත් විතානගේ - සභාපති, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න