පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නාලක කලුවැව පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ඊයේ දිනයේ දී රජය විසින් රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
රට තුළ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබුණි.
එම සාකච්ඡාවේදී ගනු ලැබූ තීන්දු තීරණවලට අනුව පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණදීම සඳහා හෙට (17) දිනයේ සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසීය.
අදාළ නිවාඩුව පාසැල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ කේෂ්ත්‍රයටද අදාළ බව සඳහන් කළේය.
කෙසේවෙතත් සෞඛ්‍ය, වරාය, ජලය සහ රේතුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මේ අතර රටේ පවතින තත්ත්වය අධ්‍යනය කර ඉදිරි කටයුතු සිදුකර ගෙන යාම සඳහා අමාත්‍ය මන්ඩලයේදී ප්‍රධාන කමිටු 4ක් පත්කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති එහිදී සඳහන් කළේය.

