රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයී.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයගේ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරුවන් ලබන 10 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමටය.
එහිදී ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ විත්තිකරුවන් අල්ලස් වශයෙන් ලබා ගෙන ඇති මුදල සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ට ඇප ලබාදීමට හැකියාවක් නොමැති බවත් එහෙයින් ඔවුන් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත්කරන බවය.
මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ සැකකරුවන්ගේ කටහඬ පරීක්ෂාවට ලක් කිරීම සඳහා ඔවුන් ලබන විසි නව වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය.
ඒ අනුව අදාළ පරීක්ෂණය සඳහා සැකකරුවන් දෙදෙනා ලබන 29 වනදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට යොමු කරන මෙන් ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර ඇත.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රෝපකරණ පවරා දීම සඳහා ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 540 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය රුපියල් මිලියන 100 දක්වා අඩුකර ඉන් මිලියන විස්සක් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

