Image

ජනාධිපති ප්‍රේමදාස, නි.පො. උඩුගම්පොළ සහ දේශපාලන බබ්බු

නූතන දේශපාලන බබ්බු අපරාධ රාජ්‍යයේ ස්වභාවය නොදන්නා නිසා මේ උපුටා ගැනීම ඉදිරිපත් කරමි.

‘1991 මාර්තුවේ දී එවකට රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති හා ජාතික ආරක්ෂක ඇමැතිවරයා වූ රන්ජන් විජේරත්න කාර් බෝම්බයකින් ඝාතනය කෙරුණේ ය. මේ ඝාතනය ගැන පරීක්ෂණ පවත්වන්නට යෑමත් සමඟ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ සමග විරසකයට මුල පිරුණු බව ඔහු පසුව කියා සිටියේ ය.

විරසකය ඇරඹුණේ මෙහෙමයි

1988 සිට එජාපයේ හා ජනාධිපති ප්‍රේමදාසගේ අංක 01 නිල ගහලයා වුයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ ය. එහෙත් මේ උඩුගම්පොල ම 1992 ජනවාරිය වෙද්දී ප්‍රේමදාස ගේ පරම සතුරන් ගොඩට වැටී සිටියේ ය. මේ ජනවාරි මාසයේ 15 වෙනිදා උඩුගම්පොලට හදිසි ලිපියක් ලැබුණි. එහි ලියැවී තිබුණේ ජනාධිපති ප්‍රේමදාසගේ නියෝගය යටතේ උඩුගම්පොල නායකත්වය දුන් පොලීසියේ විශේෂ මෙහෙයුම් කාර්යංශය විසුරු හැරුණු බවත් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ය. මේ සිදුවීමෙන් පසු බියට පත් උඩුගම්පොල, ප්‍රේමදාස තමා මරා දමතියි බියෙන් සැඟවී සිටියේ ය. ප්‍රේමදාස ගේ ස්භාවය මැනවින් දැන සිටි උඩුගම්පොළ සැඟවී සිටීමෙන් තමා ගේ ජීවිතය නොරැකෙන බව දැන ප්‍රේමදාසට විරුද්ධව සටන් දියත් කළේ ය.

පුවත්පත්වලට එරෙහි නඩු

1992 අප්‍රියෙල් 07 වෙනිදා, සැඟවී සිටි උඩුගම්පොළ මේ සටනේ ආරම්භක වෙඩි මුරය හැටියට දිවුරුම් ප්‍රකාශයක් පුවත්පත්වලට නිකුත් කළේ ය. මේ දිවුරුම් ප්‍රකාශයෙන් ආණ්ඩුව තම දේශපාලන සතුරන් මරා දැමීමට කළුබළල් හමුදාවක් යොදා ගත් ආකාරයත් විශේෂයෙන් ම උතුරුමැද පළාතේ කළුබළලුන් මරා දැමු පුද්ගලයින්ගේ 95 දෙනකු ගේ නම් ද ඉදිරිපත් කළේය. එහෙත් උඩුගම්පොල ගේ දිවුරුම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කිරීමට ‘හයියක්’ තිබුණේ පුවත්පත් කීපයකට පමණි. ඉන් එකක් වූයේ ‘ඇත්ත’ පුවත්පත ය. නීතිපතිවරයා ඊට පසුදාම උඩුගම්පොළ ගේ දිවුරුම් ප්‍රකාශය මුද්රණය කළ පුවත්පත්වලට විරුද්ධව නඩු පැවරුවේ ය.

සාකච්ඡාව සඳහා මාධ්‍යවේදීන් පැහැර ගැනීම

උඩුගම්පොල, තම දෙවැනි වෙඩිමුරය ආරම්භ කළේ 1992 ජූලි 18 වෙනිදා ය. එදින රහසිගත ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා ඔහු දිවුරුම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කළ ‘ඇත්තේ’ චූලවංශ සිරිලාල්, ‘ලංකාදීපයේ’ ආරියනන්ද දොඹගහවත්ත සහ ‘දිවයිනේ’ දයා ලංකාපුර ද රැගෙන කොළඹ නගරයේ රහසිගත ස්ථනයක දී පුවත්පත් හමුව සිදු කෙරෙණි. දයා ලංකාපුර මේ ලේඛකයාට පැවසුවේ, යොදා ගත් ආකාරයට කොළඹ කොටුවේ ගලදාරී හෝටලය අසල දී වෑන් රියකට දමා ගෙන දැස් බැඳ ගෙන යනු ලැබූ ඔවුහු කිලෝ මීටරයක් දෙකක් ගමන් කිරීමෙන් පසු නිවසක ගරාජයක දී වෑන් රියෙන් එළියට ගත්හ. අනතුරුව කාමරයකට ගෙන ගොස් එහිදී ඇස් බඳ දැමූ රෙදි ඉවත් කරද්දී ඔවුන් ඉදිරියේ උඩුගම්පොල වාඩිවී සිටියේ ය.

'කළු බළල්ලු' පිළිබඳ හෙළිදරව්ව

ප්‍රශ්නය

බළලුන් නීති විරෝධී වැඩ කළා නම් ඔබ දන්නවා නම් ඔබට ඔවුන් අල්ලන්න තිබුණා නේද? එසේ නොකිරීමෙන් ඔබත් ඔවුන්ට අනුබල දීල තිබෙනවා නේද?

පිළිතුර

''ඒ කාලේ කළු බළල්ලු ආවේ කොළඹින්. එහෙම නැතිනම් ඒ ඒ ප්‍රදේශවල දේශපාලන බලවතුන්ගෙන්. ඔවුන් කලු බළල්ලු එවල අපටත් දැනුම් දෙනවා මෙහෙම කණ්ඩායමක් එනවා ඒ අයට ඔවුන් ගේ කටයුතු කරගෙන යෑමට ඉඩ දෙන්නය කියා. ඔවුන්ට නවාතැන් ආහාරපාන සහ වාහන සපයන ලෙසත් අපට ඉහළින් නියෝග ලැබුණා. ආණ්ඩුවේ ම සමහර ආයතනවලට වෙන්කළ මුදල්වලින් මේ පිරිසට මසකට රුපියල් දහස් ගණනක වැටුප් ගෙව්වා. ඉතින් කොහොමද අපි ඔවුන් අල්ලන්නේ...?

කළු බළල්ලුන්ට පැවරී තිබූ රාජකාරිය නම් ප්‍රදේශයේ දේශපාලන බලවතුන් දෙන ලැයිස්තු අනුව රෑට රෑට පුද්ගලයන් පැහැරගෙන ගොස් මරා ටයර් දමා පුළුස්සන එකයි. ඒ විදිහට සිය ගණනක් මරා දැම්මා. මේ අන්දමින් අහිංසක මිනිසුන් මරා දමන හැටි බල බලා ඉන්න බැරිම තැන තමයි අපි කල කළුබළල්ලු ගැන ඉහළ තැන්වලට පැමිණිලි කෙරුවේ.

මා සේවය කළ සෑම ප්‍රදේශයක ම කළු බළලූන් කළ වැඩ ගැන සියලු ම තොරතුරු මා එකතු කරගත්තා. මේවා කවදා හරි රටට හෙළි කළ යුතුයැයි මා හිතාගෙන සිටියා. පසුගිය දිනවල තමයි මට ඒ සඳහා ඉඩ ලැබුණේ. ඒ අනුවයි මා දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් ඒ විස්තර රටට හෙළි කෙරුවේ''

[‘උඩුගම්පොල කතා කරයි. කළු බළල්ලු කවුද කියල මම රටට හෙළිකරනව’, දයා ලංකාපුර, දිවයින ඉරිදා සංග්‍රහය 1992 ජූලි 19 වෙනි ඉරිදා]

[ජනපතියෙකු ඝාතනය කරන්නේ කෙසේ ද? - නන්දන වීරරත්නගේ නොපළ කෘතියෙනි]

නන්දන වීරරත්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න