ජාතික ආර්ථිකයේ දියුණුවට උතුරු පළාතෙන් දැනට ලැබෙන දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) 4.6% ක දායකත්වය 10% දක්වා ඉහළ නැංවීමේ හැකියාව පවතින්නේ යැයි උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහම් පැවසී ය.
ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කොව්ලින් (Shannon Cowlin) ඇතුළු එම බැංකුවේ උසස් නිලධාරීහූ සහ උතුරු පළාත් කාර්යාලයේ නිලධාරීන් සමග ඉකුත්දා යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.
මෙලෙස වේගවත් ආර්ථික දියුණුවක් ඇති කිරීමටනම් කංකසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම්හි ආයෝජන කලාප 3 ආරම්භ කිරීම සහ පළාතේ දියුණුවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කළ යුතු බව ද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේ ය.
ප්‍රාදේශීය ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ අපනයන අභිමුඛ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් උතුරු පළාතේ නව ආයෝජන කලාප 3 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා වන ඉඩම් පරිවර්තන ක්‍රියාවලිය (Land transformation process) මේ වන විට ආරම්භ කර ඇති බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ය.
ස්ථාපිත කිරීමට නියමිත නව ආයෝජන කලාප 3 කංකසන්තුරේ (KKS) පූර්ව කංකසන්තුරේ සිමෙන්ති සංස්ථාවට අයත්ව තිබූ අක්කර 250 ක භූමි භාගයක මෙම කලාපය පිහිටුවිමට නියමිත ය. මෙය ප්‍රධාන වශයෙන් ඇඟලුම් නිෂ්පාදනය සහ තොරතුරු තාක්ෂණ (IT) ව්‍යාපෘති සඳහා වෙන් කර ඇත.
පරන්තන් කෙමිකල්ස් සමාගම් පරිශ්‍රයේ පිහිටුවීමට නියමිත අක්කර 230 ක ආයෝජන කලාපය, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය සහ කාර්මික නිෂ්පාදන සඳහා විශේෂිත වේ. කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය පදනම් කරගත් අපනයන කර්මාන්ත වෙනුවෙන් අක්කර 500 ක දැවැන්ත ආයෝජන මධ්‍යස්ථානයක් මාන්කුලම්හි සැලසුම් කර ඇත.ඉඩම් පරිවර්තන කටයුතු නිම වූ පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මගින් ජලය, මාර්ග සබඳතා, විදුලිය ඇතුළු මූලික යටිතල පහසුකම් සපයා ආයෝජකයින් වෙත විවෘත කිරීමට නියමිතය.
නව රජය සහ සාධනීය ආයෝජන පරිසරය
නව රජය බලයට පත්වීමත් සමඟ ආයෝජන සඳහා ඉතා සාධනීය සහ හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවත්, ආයෝජකයින් උතුරේ ආයෝජනය කිරීමට මහත් උනන්දුවක් දක්වන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළේ ය.
උතුරේ දිස්ත්‍රික්ක හතරක මෙවර යල සහ මහ කන්නවලදී ලැබුණු වර්ෂාපතනයත් සමඟ කෘෂිකාර්මික අංශයේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බව පැවසූ ආණ්ඩුකාරවරයා, ගොවීන් සහ ධීවරයින් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ නිසි ගබඩා සහ සැකසුම් පහසුකම් (Processing & storage facilities) නොමැතිකම බව පෙන්වා දුන්නේ ය.
රජය සහතික මිලට වී මිලදී ගැනීමෙන් පසුව, මධ්‍යස්ථ වෙළඳුන් (මැදිහත්කරුවන්) ඉතා අඩු මිලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීම නිසා ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනා ම අසහනයට පත්වන බව හෙතෙම පැවසීය. එමෙන් ම ක්ෂේත්‍ර බෝග සහ එළවළු සඳහා ද නිසි සැකසුම් මධ්‍යස්ථාන නොමැති වීම නිසා ගොවීන්ට අඩු මිලකට අස්වැන්න අලෙවි කිරීමට සිදුව තිබේ. ධීවර ක්ෂේත්‍රයට ද මෙම ගැටලුව එකසේ බලපාන බැවින් ඒ සඳහා යටිතල පහසුකම් නැංවීමට ADB සහාය ආණ්ඩුකාරවරයා විසින් ඉල්ලා සිටින ලදී.
අලිමංකඩ ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර කුරින්චාතිවු (කුංජාතිවු) ලුණු ලේවායේ කටයුතු ආරම්භ කිරීමටද අනුමැතිය හිමිව තිබේ. ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කිරීම නතර කර ලුණු අපනයනය කිරීමට පවා හැකිවන පරිදි උසස් තත්ත්වයේ ලුණු නිෂ්පාදනය කෙරෙන බව ඔහු සඳහන් කළේ ය. එමෙන්ම 2012 වසරේදී දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ ප්‍රදේශවාසීන්ගේ දැනුවත්භාවයකින් තොරව වනජීවී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට පවරා ගන්නා ලද ඉඩම් නිදහස් කර ගැනීම සඳහාද මේ වන විට කටයුතු යොදමින් සිටින බව නාගලිංගම් වේදනායහම් වැඩිදුරටත් පැවසී ය.
ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ මුහුදු ජලය කරදිය කරණ (Desalination) ව්‍යාපෘතිය මගින් යාපනය අර්ධද්වීපයට පානීය ජලය ලබාදීමට හැකිවීම පිළිබඳව ආණ්ඩුකාරවරයා ADB ආයතනයට තම කෘතඥතාව පළ කළ අතර, යාපනයේ පවතින නිසි අපජල පද්ධතියක් (Sewerage system) නොමැති වීමේ ගැටලුව විසඳීමටද සහාය වන ලෙස ඉල්ලා සිටියේ ය.
ජේ.මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
