විදුලිය ගාස්තු නැවත වැඩි කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට ඉඩ නොදෙන ලෙස ඉල්ලා අද (02) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු පක්ෂ සාමාජිකයන් පිරිසක් මහජන උපයෝගිතා කොමිසමට ලිපියක් භාර දුන්හ.
මතු පළ වන්නේ එම ලිපිය යි.
සභාපති,
මහජන උපයෝගිතා කොමිසම,
ශාන්ත මයිකල් මාවත,
කොළඹ 03.
සභාපතිතුමනි,
විදුලි ගාස්තු වැඩි නොකරන ලෙස ඉල්ලා සිටීම
2026 වසර සඳහා ගෙන්වූ ගල් අඟුරු තත්වයෙන් බාල නිසා එමගින් අපේක්ෂිත විදුලි ධාරිතාවය නිෂ්පාදනය කරගත නොහැකි විය. ඒ අතර ටෙන්ඩර් ක්‍රියාවලියේ ගැටලු හේතුවෙන් ගල් අඟුරු තොග අවසන් වෙමින් තිබේ. පියසි මත සූර්‍ය පැනල අධෛර්යමත් කිරීමට ආණ්ඩුව ගත් තීරණයත් සමග පුනර්ජනනීය බලශක්තියෙන් එම අඩුව පිරවීමද ගැටළුකාරීය. මේ තත්වය යටතේ ඉන්ධන වලින් විදුලි නිෂ්පාදනය සඳහා වැඩි අවශ්‍යතාවක් ජනිත වනු ඇත. නමුත්, විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය මේ මස සිට අවසන් කෙරෙනු ඇත. එමෙන්ම ඒ අතර ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදෙන නැප්තා සහ දැවිතෙල් මිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මේ තත්වය යටතේ ආණ්ඩුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇති බව අපට වාර්තා වන අතර පද්ධති පාලන සමාගම විසින් එම ඉල්ලීම ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරනු ඇත. අප්‍රේල් මාසයේ සිට දිගින් දිගටම උද්ධමන අනුපාතිකය 5-7% ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර අගෝස්තු මාසයේ එම අගය 8%කි. ආදායම් වැඩි නොවී වියදම් වැඩිවන තත්වයක් යටතේ ජනතාව බරපතළ දුෂ්කරතාවයක සිටින අතර විදුලි ගාස්තු වැඩිවීමක් විසින් විදුලි පාරිභෝගික ජනතාව විශාල පීඩාවකට ලක්වනු ඇත. එබැවින් එවැනි ඉල්ලීමකට ඉඩ නොදෙන ලෙස විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උදෙසා නෛතිකව පිහිටුවනු ලැබූ ආය්තනයක් ලෙස ඔබ කොමිසමෙන් ඉල්ලා සිටිමු.
එමෙන්ම,
1. පසුගිය කාලයේ ඉන්ධන මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන සැක සහිත බැවින් ඒ පිළිබඳ පූර්ණ විගණනයක් සිදු කරන ලෙසද,
2. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු වලින් සිදුවූ අලාභය පාරිභෝගිකයා මත නොපටවන ලෙස කොමිසම තීරණයක් ගෙන තිබියදී, ඉන්ධන මගින් කෙරෙන විදුලි නිෂ්පාදන පිරිවැය හරහා එය අය කරගෙන තිබේදැයි විමර්ශනයක් කරන ලෙසද,
3. ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව හදිසියේ නැප්තා සහ දැවිතෙල් මිල වැඩි කිරීමට සාධාරණ හේතු තිබේදැයි විමර්ශනයක් කරන ලෙසද,
4. විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය තවත් මාස කිහිපයකට දීර්ඝ කිරීම සඳහා රජයෙන් ඉල්ලිමක් කරන ලෙසද,
5. ගල් ඇඟුරු තොග මෙතරම් ඉක්මනින් අවසන්වී, ගල් අඟුරු නැව් දෙකක පමණ හිඟයක් ඇතිවූ හේතුව ගැන විමර්ශනයක් කරන ලෙසද,
6. පියසි මත සූර්‍ය පැනල අධෛර්යමත් කිරීමේ තීරණය පිටුපස යම් අල්ලසක් හෝ දූෂණයක් තිබේදැයි විමර්ශනයක් කරන ලෙසද,
7. ඉන්ධන භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැයට අදාළ මහජන අදහස් කැඳවීමේ ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ලබාදෙන ලෙසද, කොමිසමෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි
මෙයට,
විශ්වාසී,
පුබුදු ජයගොඩ
අධ්‍යාපන ලේකම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
02/09/2026

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
