Image

වසර දෙකට ජනතාවට පීඩා ගෙනා බදු සංශෝධන 12ක් ගැන CHR වෙතින් අනාවරණයක්!

වසර දෙකට ජනතාවට පීඩා ගෙනා බදු සංශෝධන 12ක් ගැන CHR වෙතින් අනාවරණයක්!

නව රජය බලයට පත්වීමෙන් පසු ගත වූ වසර දෙකක කාලය තුළ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ජනතාව මත දැඩි බදු බරක් පටවා ඇති බව පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) විසින් විශේෂ ආර්ථික පර්යේෂණ සටහනක් එළිදක්වා තිබේ.

එම කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයේ දැක්වෙන ආකාරයට, සමාජයේ සෑම ආර්ථික මට්ටමක්ම නියෝජනය කරන ජනතාවට සෘජුව හෝ වක්‍රව බලපාන නව බදු සංශෝධන 12ක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර ඇත.

උද්ධමනය ඉහළ යාම, මුදල් හුවමාරුව සීමා වීම, දරිද්‍රතාව ඉහළ නැංවීමටත්, ආයෝජන පහල වැටීමට මෙන්ම සෘජු විදේශීය ආයෝජන අධෛර්ය වීමටත් ගෙවීගිය වසර දෙක තුල සිදු වූ නව බදු සංශෝධන හේතු වී ඇති බව එමගින් පෙන්වා දෙයි.

තවද ආහාර සපයා ගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය සහ මාර්ගගත ව්‍යාපාර සඳහා මෙහි බලපෑම එල්ල වන අතර, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මෙම බදු ඉලක්ක වී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්. 

විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපාරවලට සාපේක්ෂව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට බදු සංශෝධන මඟින් වැඩි පීඩනයක් එල්ල වී ඇති බවද මෙමගින් අවධාරණය කරයි.

එම නිවේදනයට අනුව, පසුගිය වසර දෙක තුළ හඳුන්වා දුන් ප්‍රධාන බදු සංශෝධන 12 මෙසේයි:

  1. සුරාබදු (2025 ජනවාරි): මත්පැන්, සිගරට්, දුම්කොළ, පැණිරස බීම සහ මෝටර් රථ සඳහා වූ සුරාබදු 6%කින් පමණ ඉහළ දමන ලදී.

  2. විද්‍යුත් වාහන (EV) බද්ද (2025 පෙබරවාරි): විද්‍යුත් වාහන සඳහා පැවති සුරාබදු අනුපාත 100%කින් (දෙගුණයකින්) වැඩි කරන ලදී.

  3. වාහන ආනයන බද්ද (2025 පෙබරවාරි): පැවති රේගු බදු නිදහස් කිරීම් ඉවත් කර 20%ක ආනයන බද්දක් හඳුන්වා දුන් අතර, 50%ක අතිරේක බද්දක් (Surcharge) සමඟ සමස්ත බද්ද 30%ක් දක්වා ඉහළ නැංවීය.

  4. රඳවා ගැනීමේ බද්ද - WHT (2025 අප්‍රේල්): බැංකු තැන්පතු පොලී මත අය කළ බද්ද 5% සිට 10% දක්වා දෙගුණ කෙරුණි (අඩු ආදායම්ලාභීන්ට ස්වයං-ප්‍රකාශන මඟින් මීට සහන ලබාගත හැක).

  5. ආයතනික ආදායම් බද්ද (2025 අප්‍රේල්): මත්පැන්, දුම්කොළ සහ ඔට්ටු ඇල්ලීම්/සූදු ව්‍යාපාරවල නිරත සමාගම් සඳහා වූ බද්ද 40% සිට 45% දක්වා ඉහළ නැංවීය.

  6. සේවා අපනයන බද්ද (2025 අප්‍රේල්): මීට පෙර බදු නිදහස් කර තිබූ සේවා අපනයන සහ විදේශීය මූලාශ්‍රවලින් ලබන ආදායම් මත උපරිම 15%ක ආදායම් බද්දක් පනවන ලදී.

  7. රේගු ආනයන බදු (2026 අප්‍රේල්): පැවති බදු ව්‍යුහය (0%, 15%, 20%) සංශෝධනය කර 0%, 10%, 20% සහ 30% ලෙස නව කාණ්ඩ හඳුන්වා දෙමින් තෝරාගත් භාණ්ඩ සඳහා 30%ක ඉහළ බද්දක් පනවන ලදී.

  8. වාහන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද - SSCL (2026 මැයි): වාහන ආනයනය සඳහාද 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීමට කටයුතු කෙරුණි.

  9. වාහන ආනයන අතිරේක බද්ද (2026 මැයි): පවතින 30%ක රේගු බද්ද මත 50%ක අතිරේක බද්දක් පැනවීම නිසා සමස්ත බද්ද 45%ක් වූ අතර, මෙය 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත.

  10. ප්‍රාග්ධන ලාභ බද්ද (2026 ජූනි): පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර සඳහා 10% සිට 15% දක්වාද, භාර (Trusts), අන්‍යෝන්‍ය අරමුදල් සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා 10% සිට 30% දක්වාද බදු ඉහළ දමන ලදී.

  11. වෘත්තිකයන්ගේ රඳවා ගැනීමේ බද්ද (2026 ජූනි): ඡායාරූප ශිල්පීන්, කලාකරුවන්, තොරතුරු තාක්ෂණ (IT) සහ සමාජ මාධ්‍ය විශේෂඥයන් වැනි වෘත්තිකයන්ගේ මසකට රු. 100,000 ඉක්මවන ආදායම් සඳහා 5%ක රඳවා ගැනීමේ බද්දක් පැනවීය.

  12. ඩිජිටල් සේවා වැට් බද්ද - VAT (2026 ජූලි): මෙරට ලියාපදිංචි නැති විදේශීය ආයතන සපයන ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් පැනවූ නමුත් මෙහි ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම තවමත් සම්පූර්ණ වී නොමැත.

මෙවර අයවැය තුළින් ජනතාවගේ පෝෂණය (ආහාර), සෞඛ්‍ය (ඖෂධ හා උපකරණ), අධ්‍යාපන (පාසල් උපකරණ) සහ කර්මාන්ත (ධීවර, කෘෂිකර්මාන්ත සහ අමුද්‍රව්‍ය) යන ක්ෂේත්‍රයන් ඉලක්කගත බදු සංශෝධනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වැඩිදුරටත් සඳහන් කරයි.

අදළ නිවේදනය මෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න