දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව සඳහා විසඳුමක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදි තමන් ජනාධිපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කර එළඹෙන 17 වැනිදා තීරණයක් ලබාදෙන බවට ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණය ඉතා සාධනීය තීරණයක් වනු ඇති බවට තමන් විශ්වාස කරන බව සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කර ඇති අතර ඒ අනුව අනුරාධපුර සහ මැගසින් බන්ධනාගාරවල ආහාර වර්ජනයක නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් මේ පිළිබඳ දැනුවත් කර වර්ජනය අත්හරින ලෙසට විපක්ෂ නායකවරයා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් හරහා ඉල්ලීමක් සිදුකර ඇති බවද වාර්තා වේ.

