පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බව කියන සිද්ධියට එකම චෝදනා එල්ලවී තිබෙන නාවික හමුදා හිටපු ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ රිමාන්ඩ් භාරයේ සිටීමත්, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ එළියේ සිටීමත් සිදුව ඇත්තේ සිය සේවාදායකයා කරන්නාගොඩ මහතා මෙන් සැගවීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝග නොගෙන, නීත්‍යානුකූලව කටයුතු කල නිසාදැයි සම්පත් මුණසිංහගේ නීතිඥ නිරෝෂන් පෙරේරා කොළඹ මහාධිකරණය හමුවේ විමසා තිබේ.
සම්පත් මුණසිංහ ට ඇප ඉල්ලා තිබූ අයදුම්පත පසුගිය බදාදා (03) සලකා බැලූ අවස්ථාවේ නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ සිය සේවාදායකයාව කලින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබියදී එම ඇප නියෝග අවලංගු කර නොගෙන නැවත රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවය.
මීට පෙර මාර්තු 27 වනදා කොටුව මහේස්ත්‍රාත් හමුවේ කරුණු දැක්වූ 11 දෙනා වෙනුවෙන් පෙනී සිටි අචලා සෙනවිරත්න ඉල්ලා තිබුණේ එකම චෝදනා ලැබූ දෙදෙනෙකුට දෙවිදියකට සැලකීම නිසා වසන්ත කරන්නාගොඩටත් උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත්කරන ලෙසය. ඊට අදාල වගන්තිය මීළඟ නඩු දිනය වන අප්‍රේල් 09 අධිකරණයට දැනුම් දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පසුගිය බ්‍රහස්පතින්දා ද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණේ 11 දෙනාගේ සිද්ධිය පිළිබඳ යලිත් ප්‍රකාශ ලබා ගැනීමටය.
(රාවය )

