Language Switcher

V2025

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය නිසා : ශ්‍රීලනිපයට යන එන මං නැතිවෙලා !

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් හෙට (21) ඉදිරිපත් කරන්නට යෝජිත විශ්වාසභංග යෝජනාව හමුවේ ජනාධිපති සිරිසේනගේ පාර්ශවය බලවත් අර්බුදයකට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මීට හේතු වී ඇත්තේ ජාතික ආරක්ෂාව සම්බන්ධව සියලුම බලතල ජනාධිපති සිරිසේන යටතේ පැවතීම සහ විශ්වාසභංග යෝජනා දෙක පාර්ලිමේන්තුවේ විවාද වන විට බරපතල චෝදනා රැසක් ජනාධිපති සිරිසේනට බැරවීමේ තත්ත්වයක් උද්ගතව තිබීමය.

මතුව ඇති මේ අර්බුදය සම්බන්ධව ජනාධිපති සිරිසේනගේ හිතවතුන් මෙන්ම ජනාධිපති උපදේශකයන් ද ඔහුව දැනුවත් කර ඇති බවත් වාර්තා වන අතර තත්ත්වය කුමනහෝ ආකාරයකට සමතයකට පත්කිරීමට අසමත් වුවහොත් එය ජනාධිපති සිරිසේනගේ ඉදිරි දේශපාලන කටයුතු සදහා දැඩි අවාසි සහගත තත්ත්වයක් ඇතිකිරීම ස්ථිර බවද ඔවුන් පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධව ලැබී ඇති දේශපාලන ආරංචි මාර්ග ජනාධිපති සිරිසේනට අවාසි සහගත වන කරුණු රැසක් අනාවරණය කරයි.

රිෂාඩ්ගේ විවාදය දින 2ක් පුරාවට : පළමු චෝදනාවෙන් දැනටමත් නිදහස් !

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධ විශ්වාසභංග යෝජනාව දින 2ක් පුරාවට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට මේ වන විටත් යෝජනා වී ඇත.

එහිදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ පලමු චෝදනාව මේ වන විටත් සමතයකට පත්ව ඇත.

ඒ අත්අඩංගුවට ගනුලැබූ සැකකරුවන් නිදහස් කිරීමට හමුදාපතිවරයාට බලපෑම් කළ බවට එල්ල කර ඇති චෝදනාවය. හමුදාපති විසින් සිළුමිණ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී දැක්වූ අදහසක් වැරදියට ගෙන චෝදනා පත්‍රයට ඇතුළත් කර තිබේ.

මේ වන විට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා බලපෑම් කිරීමක් සිදුනොකල බවත් එය අත්අඩංගුවට ගනුලැබූ පාර්ශව සම්බන්ධව කරුණු දැනගන්නට සිදුකළ විමසීමක් පමණක් බව හමුදාපති ප්‍රකාශ කර තිබීමෙන් ඒ බව තහවුරු වෙයි.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාද අවස්ථා ගණනකදී මේ වන විට අවධාරණය කර ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක කිසිදු සැකකරුවකු නිදහස් කරගන්නට හමුදාපති තබා කිසිවෙකුට හෝ බලපෑමක් සිදුකර නොමැති බවය. එසේම හමුදාපති සමග සිදුකළ විමසීම අවශ්‍ය නම් ප්‍රසිද්ධ කිරීමට වුවත් තමන් සූදානම් බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පවසා තිබිණ.

ඒ අනුව විශ්වාසභංග යෝජනාවට අදාළ පළමු චෝදනාවෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හට නිදහස් වීමට හැකියාව මේ වන විටත් ලැබී හමාරය.

රිෂාඩ්ට එරෙහි අනෙක් චෝදනා !

ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දෙවැනි චෝදනාව මෙහි දැක්වේ. මීට පෙර දේශපාලන විචාරකයන්ද පෙන්වාදුන් ආකාරයට මේ චෝදනාවෙන් පාර්ලිමේන්තු විවාදයේදී බැට කන්නේ ජනාධිපති සිරිසේන මිස රිෂාඩ් අමාත්‍යවරයා නොවේ.

මන්ද පාස්කු ඉරිදා කොළඹ කින්ස්බරි හෝටලයේ දී බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු ඉන්ෂාෆ් අහමඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයාට අයත්ව තිබූ ක්ලෝසස් පුද්ගලික සමාගම නමැති වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාව සදහා සහන මිලට තඹ ලබාදීමට ජනාධිපති සිරිසේනගේ කාර්යාලය එනම් ජනාධිපති කාර්යාලය මැදිහත්ව ඇති බව දැනටමත් ලිඛිත සාක්ෂි සහිතව අනාවරණයවී තිබෙන නිසාය.

අදාළ ලිපිය 2018 ජුනි 06 වනදා, ජනාධිපති සිරිසේනගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස එවකට ශාන්ත බණ්ඩාර ගේ අත්සනින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිට යොමුකර ඇත. මෙම ලිපිය හරහා ජනාධිපති සිරිසේනගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර දන්වා ඇත්තේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිට දන්වා ඇත්තේ මණ්ඩලයේ අබලි තඹවලින් සහන මිලට ටොන් 500 ක් ලබා දෙන ලෙසය.

ලිඛිත සාක්ෂි සෙල්ලම් නැත !

කට වචනයට එල්ල කරන චෝදනා මෙන් නොව. මෙතැන ඇත්තේ ලිඛිත සාක්ෂියකි. එය ප්‍රබලය. සියල්ලට වඩා ජනාධිපති සිරිසේනට ගැලවිල්ලක් නොලැබෙන්නේ අදාළ ලිපිය තුළ ක්ලෝසස් සමාගම විනිමය මෙරටට විශාල වශයෙන් හිමිකරදෙන සමාගමක් ලෙස ඊට විශ්වසනීයත්වයක් ලබාදීමට කටයුතු කර තිබීමය.

ජනාධිපති කාර්යාල ශීර්ෂයකින් මෙය නිකුත් කර තිබීමද විශේෂත්වයකි. එසේම අදාළ ලිපිය යොමුකළ ශාන්ත බණ්ඩාර මේ වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ සිටියි. ඔහු පැමිණියේ හිස්බුල්ලා මන්ත්‍රීවරයා නැගෙනහිර ආණ්ඩුකාර වශයෙන් ජනාධිපති පත්කිරීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව පියවීමටය.

දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ශරීයා විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට මූලික වූ හිස්බුල්ලා මන්ත්‍රීවරයා නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ලැබීම සහ තඹ සැපයීමට ලියුම් නිකුත්කළ ශාන්ත බණ්ඩාර ඔහුගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය ලැබීම දක්වා වූ දාමයක් එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීවරුන් වෙතින් විවාදයේදී පෙන්නුම් කිරීමට නියමිතව ඇති බවය.

එසේම මෙහිදී ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට ද පාර්ලිමේන්තුවේ දී බරපතල විවේචනයක් එල්ලවීමත් කොහෙත්ම වළක්වා ගත නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. ඒ අනුව ඔහුට සිදුව ඇත්තේ එක්කෝ චෝදනා ඉවසගෙන පාර්ලිමේන්තුවේ මුණිවත රැකීමය. නැතිනම් ජනාධිපතිව සුදනා කිරීම වෙනුවෙන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමටය.

ශ්‍රීලනිප උභතෝකෝටිකය !

මෙහි ඇති උභොතෝකෝටිකය වන්නේ යම් ලෙසකින් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඉල්ලා අස්වූවත් චෝදනාවෙන් ගැලවීමක් නොලැබීමය. ඒ අදාළ ඉල්ලා අස්වීම හරහා වරද පිළිගත් බව තහවුරු වීමය. අනෙක් අතට විශ්වාසභංග යෝජනාවේ දෙවන ප්‍රධාන චෝදනාවෙන් රිෂාඩ් අමාත්‍යවරයා නිදහස් වීමය. ඒ අනුව කොතරම් පාරම් බෑවද විශ්වාසභංග යෝජනා විවාදයට මුහුණදීමට ශ්‍රීලනිපයට පහසු නැත.

මෙහිදී තත්ත්වය තවත් බරපතල කරන්නේ ජනාධිපති සිරිසේනගේ සොයුරා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන ද ක්ලෝසස් සමාගමට තඹ නිකුත් කිරීමට කටයුතු කර ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ද ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් හරහා චෝදනා කර තිබීමය.

අදාළ මාධ්‍ය නිවේදනය හරහා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පැහැදිළිව චෝදනා කර සිටියේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කුමාරසිරි සිරිසේන එම සමාගමේ අබලි කේබල් විකිණිම නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ තඔ කම්හලට ලබාදී ඇති බවය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සිය සංගමයේ ලිපි ශීර්ෂය සහිතව ඔහුගේම අත්සනින් යුතුව මේ මාධ්‍ය නිවේදනය ප්‍රසිද්ධ කර ඇත. එබැවින් එය හුදු මඩක් කියා ඉවතලන්නට ද නොහැකිය. අනෙක් අතට ටෙලිකොම් සභාපතිවරයා මේ සම්බන්ධව කිසිඳු ප්‍රතිචාරයක්ද දක්වා නැත.

මේ චෝදනාවද පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා විවාදය හමුවේ එක්සත් ජාතික පෙරමුණ වෙතින් කරළියට ගෙනෙනු ඇත.

රිෂාඩ්ට එරෙහි තෙවන චෝදනාවටත් ජනාධිපති අමාරුවේ !

මේ චෝදනාව සම්බන්ධවද රිෂාඩ් අමාත්‍යවරයාට සෘජු චෝදනාවක් ලෙස කොහෙත්ම සළකන්නට ඉඩක් නැත. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ බෝම්බ නිපදවූ බව පැවසෙන තඹ කම්හලට තඹ දීම සිදුකර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ දැනුම්දීමකට අනුව බව දැනටමත් සාක්ෂි සහිතව තහවුරුවී ඇති නිසාය.

අනෙක් අතට තෙවන චෝදනාවේ සඳහන් ආකාරයට තඹ කම්හලේ සේවකයන් ඇප ලබා ඇත්තේ පොලිසියේ විරෝධතාව නොතකා බව මේ වන විටත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ සේවා කොමිසමට දන්වා තිබේ. එසේම පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන්නේ රිෂාඩ් අමාත්‍යවරයාගේ විෂය පථයට නොවේය. එය අයත් වන්නේ නීතිය හා සාමය අමාත්‍යංශයට වන අතර එහි අමාත්‍යවරයා ජනාධිපති සිරිසේනය.

එසේනම් පොලිසියට බාධා කිරීමට රිෂාඩ් අමාත්‍යවරයාට හැකියාවක් නැති බව පැහැදිළිය. මෙහි ඇති බරපතළ කරුණ වන්නේ ජාත්‍යන්තර ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධව සිදුවන මූලික පොලිස් පරීක්ෂණ සඳහා කිසියම් හෝ බාධා කිරීමක් සිදුවූවා නම් එය එසේ සිදුවන තෙක් පොලිසිය භාර අමාත්‍යවරයා කළේ කුමක්ද ? යන විමතික ප්‍රශ්නය මතුවීමය. එසේම මේ බව අනාවරණය වී ඇති බැවින් පසුව හෝ විෂය භාර අමාත්‍යවරයා කිසිම ක්‍රියාමාර්ගයක් නොගත්තේ මන්ද යන ප්‍රශ්නයත් මෙහිදී මතුවේ.

ඒ හරහා තවදුරටත් මෙකී විමර්ශන හරියාකාරව සිදුකිරීමට නම් වහාම අදාළ නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපති විසින් වෙනත් අමාත්‍යවරයෙකුට, එනම් මේ වන විටත් එක්සත් ජාතික පෙරමුණ යෝජනා කර ඇති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට ලබාදීම වෙනුවෙන් වන ඉල්ලීම යුක්තිසහගත වෙයි.

එහෙත් ජනාධිපති සිරිසේන එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. එවැනි පසුබිමක තඹ කම්හලේ සේවකයන් දැඩි ප්‍රශ්න කිරීමකින් තොරව ඇප ලබා නිදහස්වීම ගැන රිෂාඩ් අමාත්‍යවරයාට චෝදනා කිරීම පදනම් විරහිත බව මොළේ නොමේරූ අයෙකුට මිස වෙනත් ඕන අයෙකුට තේරුම් ගැනීම දුෂ්කර නැත.

රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහි චෝදනා පුස්ස බින්දා වාගේ !

හදිසි නීති තත්ත්වයක් යටතේ ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැත්තේ විධායක ජනාධිපති පමණය. අනෙක් ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට නෛතික ප්‍රතිපාදන ඇති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වාදෙයි. එවැනි පසුබිමක කැබිනට් අමාත්‍යවරයෙකු වුවද මුලික සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගත හැකි බව අමුතුවෙන් කිවයුතු නැත.

එහෙයින් චෝදනා ඇත්නම් ඊට අදාළ තහවුරු කරගත් සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට නොගන්න යැයි කිසිවෙකුට බලකළ නොහැකිය. එහෙයින් කිසියම් හෝ අයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට නොගෙන සිටී නම් ඊට වගකිව යුත්තේද විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේනය. ඒ හැර රිෂාඩ් බදියුදීන්ගේ අමාත්‍ය ධුරය ඊට බාධාවක් බව පැවසීම මුළුමනින්ම හිතළුවක් පමණය.

අනෙක් අතට යමෙකු සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත්වූ පමණින් ඔහු ත්‍රස්තවාදියකු වන්නේ නැත. රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහි විෂවාසභංග යෝජනාවේ සඳහන් චෝදනා පුස්ස බින්දා වාගේ වී ඇත්තේ චෝදනා අතින් දමා වචන ඇතුලේ තහවුරු කරන්නට ගෙන ඇති මේ ව්‍යාජ උත්සාහයන් නිසාය. රිෂාඩ් අමාත්‍යවරයාට ගහන විට ජනාධිපතිට දුම් දමන්න ගෙන ඇත්තේද ඒ අනුවය.