ආය ඉම්පෝටඩ් අපේක්ෂකයන්ට එජාපෙ ඉඩ නෑ !

ආය ඉම්පෝටඩ් අපේක්ෂකයන්ට එජාපෙ ඉඩ නෑ !

එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් මේ වතාවේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඉම්පෝර්ටඩ් බඩු දාන්න නම් ඉඩ නොදෙන්නේ යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

තමන් ඒ බව පැහැදිලිව දන්නා බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය 94 වසරේ ජයග්‍රහණය කිරීමෙන් පසුව අවුරුදු 24කට වැඩි කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරයකු නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ ඊයේ (30) ස්වාධීන රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.

මෙම වැඩසටහන මාධ්‍යවේදී මහේෂ් සේනානායක විසින් මෙහෙයවා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" අද පැහැදිළිවම අවුරුදු 24 කට පස්සේ ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයා බොහොම ආසාවෙන් උනන්දුවෙන් බලාගෙන ඉන්නේ තමන්ගේ කියලා ආපේක්ෂකයෙන් පත් කරගෙන තමන්ගේම ජනාධිපතිවරයෙක් ලබා ගන්න. මොකද ඇත්තෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයින් අවුරුදු 24 ක් තිස්සේ තාමත් විපක්ෂයේ වගේ.

මේ ගිය අවූරුදු පහ එක්සත් ජාතික පාක්ෂිකයන් ආණ්ඩුවේ හිටියත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික ආණ්ඩුවක් තිබුණත්, එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලැබිය යුතු සාධාරණය ලැබිලා නැහැ. ඇත්තවශයෙන්ම අවූරුදු 24 ක් විපක්ෂයේ ඉන්නවායි කියන්නේ බරපතල ප්‍රශ්නයක්. ඒ අයට රැකී රක්ෂාවක් හොයාගන්න තිබුනේ නහැ. ඒ අයට මාරුවක් හදාගන්න හැකියාවක් තිබුණේ නැහැ. සමෘද්ධිය ලබාදෙනකොට පක්ෂෙ නිසාම ඒවා ලබාදනකොට ඒ අයව එලියේ තියලා තේරුවේ.

මේ කටයුත්ත මේ කාලයේදීවත් හරියට නිවැරදි වුන නැති නිසා දැන් ඒ අය තමන්ගේ අපේක්ෂකයෙක් ඇරෙන්න, වෙනත් අයකු ගැන විශ්වාස කරන්නේ නැහැ.

අනිත් එක යූඑන්පී එක කියන්නේ පුදුම දක්ෂයන් ඉන්න පක්ෂයක්. ඒ නිසා මේ යූඑන්පී එකට එලියෙන් කොහෙද යන බිස්නස්කාරයෝ ඉම්පෝර්ට් කරන්න ඔනේ නැහැ, ගේන්න ඔනේ නැහැ. ඇත්ත වශයෙන්ම රටටම නායකත්වය දෙන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා යූඑන්පීයේ"

මම එන්නෙ නෑ : ධම්මිකට චාන්ස් නෑ !

ධම්මික පෙරේරාට ඕන නම් එන්න පුළුවන් වෙනම පක්ෂයකින්, ස්වාධීන කෙනෙක් හැටියට. මම කියන්නේ මම නම් දකින්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් හැටියට එන්න ඉඩක් තියෙනවා කියලා.''

''ඔබතුමාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරළියට එන්න කිවුවොත් ඔබතුමාගේ ප්‍රතිචාරය කුමක්ද? '' කියා මහේෂ් සේනානායක කල විමසීමේදී අමාත්‍ය මංගල සමරවීර මෙසේ පැවසිය.

''එහෙම ආරාධනාවක් කරන්නේ නැහැ. ඒක මම හොඳින් දන්නවා. මම දේශපාලනයට ආපු වෙලේ ඉඳන්ම මම බාරගත්තේ මම ඉල්ලපු දේවල් නෙවෙයි. නමුත් ලැබුන දේ නිවැරදිව කරන්න මම උත්සාහ කරා. අනිත් පැත්තෙන් මම කියන්න ඔනේ නොලැබෙන දේවල් පස්සේ යෑම මගේ සිරිත නෙවෙයි. මම ප්‍රායෝගික දේශපාලනයක් කරන්නේ. ඒ ප්‍රයෝගික දේශපාලනය යටතේ මට හොඳින්ම තේරෙනවා 2019 අන්තිමට එන ඡන්දේ අපි දිනන ඡන්දයක්.

ඔය කවුරු කෑගැහුවත් රාජපක්ෂලාට යලි වතාවක් මේ රට පාලනය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. මට කියන්න පුළුවන් එකම දේ ගෝඨාභය ආවත් තව මොන එක්කෙනෙක් ආවත් අපි යූඑන්පීයේ ජනාධිපතිවරයෙක් මේ අවස්ථාවෙ පත්කර ගන්නවා ගන්නවා. ඒ දිනන ඡන්දයේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කර ගන්න අපි දැන් එක්සත් ජාතික පක්ෂය හැටියට සූදානම් වෙන්න ඔනේ.''

ජනාධිපති ගැන විශ්වාස ද ?

''ඔබ විශ්වාස කරනවාද වර්තමාන ජනාධිපතිතුමන් ඡන්දය කලට වේලාවට පවත්වාවි කියලා'' යයි මහේෂ් සේනානායක කල විමසීමේදී ඇමතිවරයා මෙසේ පැවසිය.

''මම විශ්වාස කරනවා, මම මුලින්ම කිවුවා වගේ එතුමා ඔක්තෝම්බර් 26 ප්‍රශ්නයේදී එතුමා නීතියට හිස නැමුවා. අනිවාර්යෙන්ම එතුමා කලට වෙලාවට ජනාධිපතිවරණය තියනවාය කියන එක පිළිබඳව මට ලොකු විශ්වාසයක් තියෙනවා.''

රට දියුණු කළ හැකි මග !

සාකච්ජාව අවසාන මොහොතේදී මහේෂ් සේනානායක මෙසේ විමසිය.

''හොඳයි වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් මම කැමතියි ඔබතුමාට මේ අවසන් ප්‍රශ්නය යොමු කරන්න. ඇමතිතුමනි ඔබතුමා ජේෂ්ඨ දේශපාලඥයෙක් ඔබතුමා ක්‍රියාවෙන් ආදර්ශ දෙන පුද්ගලයෙක් කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමා කිවුවා මම ප්‍රැක්ටිකල් පොලිටීෂන් කෙනෙක් අපි ප්‍රායෝගිකව වැඩ කරන්න දන්නවා කියලා. හොඳයි මගේ අවසාන ප්‍රශ්නය තමයි ජ්‍යේෂ්ඨ දේශාපාලඥයකු ලෙස 2025 සහ 2030 දී ඔබ දකින රට කුමක්ද? ඔබතුමා විශ්වාස කරන නිර්මාණය විය යුතු ශ්‍රී ලංකාව කුමක්ද? 2025 සහ 2030හේ? ''

ඊට ප්‍රතිචාර දැක්වූ ඇමතිවරයා මෙසේ පැවසිය.

''මම දකින්න ඔන රට ගැන තමයි මම දේශපාලනයට පිවිසුන දින ඉඳලම කතාකරේ. විශේෂයෙන් මේ රටේ ආර්ථික වශයෙන් දියුණු වූ, විශේෂයෙන් අපේ භූගෝලීය මර්මස්ථානය මුල්කරගත් ඇත්ත වශයෙන්ම ඉතාමත්ම දියුණු දූපතක් වෙයි කියලා. ඒ වගේම ජාත්‍යන්තරයේ තියෙන ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් හැටියට කටයුතු කරන රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

අපි ඉන්නේ ඒ මංසන්දියට ඇවිල්ලා. ඉතාමත්ම වේගවත් දියුණුවක් කරා යන්නත් පුළුවන් එහෙම නැත්නම් ජනතාව ඒ තීන්දු නිවැරදිව නොගත්තොත් ඇත්තවශයෙන්ම හැමදාම යුද්ධ කරන හැමදාම වෛරයෙන් ක්‍රොධයෙන් ජීවත්වන ඉතාමත්ම දිළිඳු රටක් බවට පරිවර්ථනය කර ගන්නත් පුළුවන්. ඒ නිසා මේ රටේ ජනතාව තීන්දු කරන්න ඔනේ කොයි මාර්ගෙද යන්න ඔනේ කියලා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න