Language Switcher

V2025

ගෝඨා මහින්දට දෙන්න යන්නේ නාමික අගමැති ධූරයක් !

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනිය, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට අගමැති තනතුර ලබාදුන් ආකාරයෙන්ම, ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වූ පසුව මහින්ද රාජපක්ෂට අගමැති තනතුර ලබාදෙන බව ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

ඩලස් අලහප්පෙරුම මේ බව පැවසුවේ පසුගිය 04 වනදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවූ ජනාධිපති බලතල කප්පාදු කිරීම පිළිබඳ අභියෝගය ජයගැනීමට ගෝඨාබය රාජපක්ෂට හැකියාව ඇති බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම උදාහරණය ඉතාම සුවිශේෂී එකක් බව ඇතැම් සමාජ මාධ්‍ය විචාරකයින් පවසති. ඒ, 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපති තනතුරට පත්වන විට එවකට පැවති ව්‍යවස්ථාව යටතේ අගමැති තනතුර හුදෙක් නාමික තනතුරක් පමණක් බව සිහිපත් කරමිනි.

චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමය තුළ වයෝවෘදව සිටි සිරිමාවෝ මැතිණිය ප්‍රයෝගික වශයෙන් ද කිසිදු රාජ්‍ය පාලන කටයුත්තකට සහභාගී නොවූ අතර ඇය විසින් හුදෙක් ගෞරව තනතුරක් වශයෙන් පමණක් අගමැති ධුරය දරනු ලැබිය.

ඒ අනුව ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති වුවහොත් මහින්ද රාජපක්ෂ යනු කිසිදු බලයක් හිමි නොවන පුද්ගලයකු බවට පත් කිරීමේ සුදානමක් ඇත්දැයි එවැනි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සැක මතුකර තිබේ. ඒ, ඩලස් අලහප්පෙරුම යනු ගෝඨාබය රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා බැවින් මෙය ගෝඨාබයගේ නිල මතය දැයි විමසමිනි.

අනාගත ජනාධිපතිට බලතල නැති කතාව බොරුවක්'' -ගම්මන්පිල

මේ අතර අද (05) දින එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී 'පිවිතුරු හෙළ උරුමයේ' නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසුයේ, අනාගත ජනාධිපතිට බලතල නැති කතාව බොරුවක් බවයි.

ඔහු එබව සඳහන් කළේ, 19 ව්‍යවස්ථා සංශෝධනය යටතේ, "මීළඟ ජනපති කිසිවක් කළ නොහැකි පුද්ගලයෙක්" බවටත්, වැඩිම බලයක් ඇත්තේ අගමැතිට බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප සම්මේලනය අමතමින් පෙරේදා (03) කළ කතාවට ප්‍රතිචාර දක්වමිනි.

ගම්මන්පිල මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවසිය.

''අනාගත ජනාධිපතිවරයා විලියම් ගොපල්ලව මැතිතුමා වගේ නාමමාත්‍ර ජනාධිපතිවරයෙකු පමණයි ඔහුට කිසිම බලයක් නෑ කියලා පසුගිය මාස තුනේ මාධ්‍ය හරහා විවිධ අය මත පල කළා. ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් රඳවා ගන්න බෑ කියලාත් මේ අය කියලා ලියලා තිබුණා. අපි ඒක එතරම් ගණන් ගත්තේ නෑ. නමුත් පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒ ප්‍රකාශයම කර තිබුණා. ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට හෙලි කළ යුතුයි.

ජනාධිපතිවරයාට තමන් කැමැති අමාත්‍යාංශ ගණනක් රඳවා ගන්න පුළුවන් බවටත් වෙනත් කිසිම අමාත්‍යාංශයකට පවරා නැති විෂයන් සහ ආයතන ජනාධිපතිට අයිති බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියේ සඳහන් වුණා. 19 වන සංශෝධනයෙන් එම සඳහන ඉවත් කළා. ඔන්න ඔය නිසා තමයි අනාගත ජනාධිපතිට බලතල නෑ කියා කියන්නේ. ඇත්තෙන්ම ඒක වැරදියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) වගන්තිය අපි දැන් කියවමු. "රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය”. මේ වගන්තිය ජනතාවගේ පරමාධිපත්‍ය සමග සෘජුවම ගැට ගැහිලා තිබෙන නිසා මේක වෙනස් කරන්න පුළුවන් ජනමත විචාරණයක දී ජනතාව අනුමැතිය දුන්නොත් පමණයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවක දී තීරණය කර තිබෙනවා.

 මේ වගන්තිය අනුව ජනතාව තමන්ගේ විධායක බලය සම්පූරණයෙන් භාර දෙන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට ඒක ඇමතිවරුන්ට පවරන්න පුළුවන්. කාට හරි පැවරුවේ නැතිනම් ඒ බලය තිබෙන්නේ ජනාධිපතිටයි.

ඒ නිසා ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැති සියළුම විෂයන් අයිති වන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට මේ බලය ලැබුණේ 4 වගන්තියෙන්. 44 වගන්තියෙන් කලේ ඒ බලය විස්තර කිරීමක් පමණයි.

19 වන සංශෝධනයේ පියවරු 44 වගන්තිය වෙනස් කළත් 4 වගන්තියට අත තිබ්බේ නෑ. ඒ නිසා ජනාධිපතිට අමාත්‍යාංශ තබා ගැනීමේ හැකියාව අංශුමාත්‍රයකින් වත් වෙනස් වුණේ නෑ.

අනාගත ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශය වත් තබා ගන්න බෑ කියලා සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළා. කවුරු හරි එතුමන්ව නොමග යවලා. 4 වන වගන්තියේ විධිවිධාන නිසා වෙනත් කිසිම ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශය පවරන්න ජනාධිපතිට බෑ හෙම කළොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා 2003 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව තමයි 2003 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය එවකට තිලක් මාරපන අමාත්‍යවරයාට භාරදී තිබූ ආරක්ෂක අමාත්‍යාංශය නැවත තමන්ට පවරා ගැනීමට කටයුතු කළේ. ඒ තීන්දුව අදටත් වලංගුයි.

ඒ නිසා අනාගත ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය අනිවාර්යෙන් තමන් ළඟ තබා ගත යුතුයි. වෙන කෙනෙකුට දෙන්න ගියොත් එයම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා. දෝෂාභියෝගයක් ගෙන ඒමට පදනම් කාරණයක් බවට පත්වෙනවා.

ඊට අමතරව තමන් කැමති අමාත්‍යංශ ගනණක් තමන්ට රඳවා ගැනීමේ බලය තිබෙනවා. මොකද ජනතාව බලය දෙන්නේ ජනාධිපතිට මිසක් වෙනත් කිසිවෙකුට නොවෙයි. මේ පිළිබඳව වෙනත් මත පතුරුවමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම අනවශ්‍යයයි මතය හදන්න හදන පිරිස් වලට පාළු ගෙවල් වල වළං බිඳින්නේ නැතුව මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා අභියෝග කරනවා. එහෙම විවාදයක් කලොත් ඇත්ත මොකද්ද කියන එක ජනතාවට දැන ගන්න පුළුවන්.''