Language Switcher

V2025

ගෝඨාගේ සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ තුවක්කු බටෙන් -ගාමිණී වියන්ගොඩ

ගෝඨාභයගේ සංස්කෘතිය සමන්විත වෙලා තියෙන්නේ, තුවක්කු බටෙන්. ඔහු දන්න එකම ශිල්පය තමයි, තුවක්කු බටෙන් කොහොමද වෙඩි උන්ඩයක් නිකුත් කරන්නේ කියලා. මේක තමයි ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා ස්වභාවයෙන්ම අතීතයේ දක්වමු අත්දැකීම් අනුසාරයෙන් තමන්ට ආරෝපනය කරගෙන තියෙන ගුණාංගයන්. ඒ ඇරෙන්ම වෙන කිසිම දෙයක් ගෝඨාභයගෙන් ජනතාවට දකින්න පුළුවන් වෙන්නේ නැහැ”යි ප‍්‍රවීන ලේඛක, දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.

ඒ මහතා මේ  අදහස් පැවසුවේ ඔක්තෝම්බර් මස 22 වෙනි දින මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකිමු ආඥාදායකත්වය පරදමු යන මැයෙන් වූ සම්මන්ත‍්‍රණයේදීයිෙ.

එමිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසිය.

”ජනතාව තුළ පාලකයන් ගැන විශාල අසතුටක් තියෙනවා. ඒ අසතුට කුමක් නිසා ඇති වුනාද කියලා අපි හොයලා බලන්න අවශයයි. මීටත් වඩා වෙනස් ආකාරයකින් පාලකයන්ට කටයුතු කිරීමට තිබුණේ නැද්ද කියන ප‍්‍රශ්න අපි සැලකිල්ලට ගත යුතු තිබෙනවා. මම හිතන ආකාරයට මීට වඩා සාර්ථක ආකාරයකින් පසුගිය වසර හතරක කාලය තුළ රජයට කටයුතු කළ හැකිව තිබුණා. එසේ වුනේ ”යාදෙක නොරත රත - සමග පෑහීමක් ද නැත” කියලා කියනමක් තියෙනවා වගේ, දේශපාලන බල කඳවුුරු දෙකක්, එකිනෙකට යා වෙන්නේ නැති විදියට,එකිනෙකාට පටහැනිව ඉන්න විදියට කටයුතු කලා පහුගිය කාලය පුරාම. ජනාධිපතිවරයා 2015 අපි බලාපොරොත්තු වුනු බොහෝ දේවල් වලට පයින් ගැහැව්වා. ඒ විතරක් නෙමෙයි, මේ රටේ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවුනු විදියට, 2015 දී අපි සහ ඔහු විසින් පරාජය කරපු මහින්ද රාජපක්ෂව නැවත අගමැති තනතුරේ පිහිටුවන තරමට මේ ජනාධිපතිවරයා දුරදිග ගියා. එවැනි අවස්ථාවක දී ආණ්ඩුවක් විදියට ආසාර්කත්වයකට මුහුණ දෙනවාමයි. එය අනිවාර්ය යයි. ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉන්නේ මතවාදයන් දෙකක නම් එය සිදුවෙනවා.

මෙය තමයි යහපාලන රජයේ ශේෂ පත‍්‍රයේ තිබෙන සෘණාත්මක, නිශේධාත්මක කරුණු වල පසුබිම එයයි. ඒ විතරක් නෙමෙයි තවත් සමහරක් වැඩ කරන්න ඕන වෙලාවේ කරන්නේ නැතුව, වෙනත් වෙලාවල්වල කරන්න පටන් ගැනීම ශේෂ පත‍්‍රයේ තවත් දෝෂයක්. බොහෝ තීරණ ගත යුතු වෙලාවේ ගන්නේ නැතුව තීරණ ගත යුතු නැති වෙලාවේ තීරණ ගත්තහම, ඒ තීරණ කි‍්‍රයාත්මක කරන්න බැරි තත්ත්වයක් උද්ගත වෙනවා. එය තවත් දුර්ගුූණයක් හා ශේෂපත‍්‍රයේ කොටසක්.

ඒ වගේම අමතක කරන්න එපා මේ රජය පසුගිය කාලයේ ඉදිරියට ගිය ප‍්‍රගතිශිලී අවස්ථාත් තියෙනවා. එය පසුපසට ගිය ගමණක් නෙමෙයි. 2005 මහින්ද රාජපක්ෂ බලයට පත්වුුනු දවසේ ඉඳලා 2015 දක්වා වූ අවුරුදු 10 ක කාලය තුළ, අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අකර්මන්‍ය වෙමින්, ආපස්සට ගමන් කරමින් තමයි තිබුණේ. නිදහස වචනයට පමණක් සීමා වුනු සැබෑවට මිනිස්සුන්ට භුක්ති විඳින්න බැරි තත්ත්වයක් 2015 දී මේ රටේ තිබුණා. 2005 සහ 2015 අතර කාලයේ ඇති වූ සිදුවීම් සැලකිල්ලට ගන්න. ඊට පස්සේ 2015 ඉඳලා 2019 දක්වා සිදුවීම් සැලකිල්ලට ගන්න.

එදා ආපු සුදුවෑන් එකක්වත් මේ වෙනකන් ඇවිල්ලා නෑ මේ කිසි පාරක. 2015 පස්සේ මේ රටේ කිසිම මාධ්‍යවේදියෙක්ව පැහැර ගෙන ගිහිල්ලා නැහැ. 2015 පස්සේ මේ රටේ කිසිම මාධ්‍යවේදියෙක්ව ඝාතනය කරලා නෑ. 2015 පස්සේ මේ රටේ කිසිම පුද්ගලයෙකුව පැහැර ගෙන ගිහිල්ලා අතපය කඩලා අතහැරලා නෑ. මේ රටේ ආණ්ඩුවට එකහෙළාම, දිනපතාම, කිසි මිනිසෙක්ට හෝ ශිෂ්‍යයෙකුට මේ ආණ්ඩුව වෙඩි තියලා නෑ. නමුත් 2015ට කලින් අපි දැක්කා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තමන්ගේ අර්ථ සාධක අරමුදල ආරක්ෂා කරගන්නට සේවක සේවිකාවෝ පාරට බැස්සම, මේ ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ට වෙඩි තිබ්බා. රොෂේන් ශානකව ඝාතනය කළා. වැලිවේරියේ පිරිසිදු වතුර ඉල්ලලා පාරට බැස්සම, එතනදිත් වෙඩි තියලා ඝාතනය කළා. හලාවත ධීවරයෝ භූමිතෙල් සම්බන්ධයෙන් ඒ අයගේ තිබෙන ලාභය අවම වෙන විදියට පියවර ගත්තහම, ඒකට පාරට බැස්සම වෙඩි තියලා මැරුවා.

ඉදිරියේ දී මේ රටේ ප‍්‍රධාන පුරවැසියාවීමට නියමිතව සිටින පුද්ගලයාගේ චරිත ස්වභාවය කොයි වගේද කියන එක තේරුම් ගැනීම මේ මොහොතේ දී ඉතාම වැදගත් නිසයි. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ සංවාදයට, සාකච්ඡාවට, වාදයට, විවාදයට, අදහස් හුවමාරුවට, මොනව විදියකටවත් පුරුද්දක් නැති මනුස්සයෙක්. ගෝඨාභයගේ සංස්කෘතිය සමන්විත වෙලා තියෙන්නේ, තුවක්කු බටෙන්. ඔහු දන්න එකම ශිල්පය තමයි, තුවක්කු බටෙන් කොහොමද වෙඩි උන්ඩයක් නිකුත් කරන්නේ කියලා. මේක තමයි ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා ස්වභාවයෙන්ම අතීතයේ දක්වමු අත්දැකීම් අනුසාරයෙන් තමන්ට ආරෝපනය කරගෙන තියෙන ගුණාංගයන්. ඒ ඇරෙන්ම වෙන කිසිම දෙයක් ගෝඨාභයගෙන් ජනතාවට දකින්න පුළුවන් වෙන්නේ නැහැ.”

 මෙම සම්මන්ත‍්‍රණය සඳහා මහාචාර්ය සරත් විජේසූරිය, සමන් රත්නපි‍්‍රය, කේ.ඩබ්.ජනරංජන නිස්සංක දිද්දෙණිය, රාජා උස්වැටකෙයියාව වැනි පිරිසක් සහභාගි වී සිටියහ.