ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කිරීම සඳහා මේවනවිටත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක කැමැත්ත පලවී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.
ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇතැයි ඇතැයි ද ඔහු කියා සිටියේය.
නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැති කිරීමට මේවනවිට මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ සහය පළවී ඇතැයි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා, කතානායක කරු ජයසුරිය මහතාට දැනුම්දී ඇතැයි ද වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ගොඩනැගීම සඳහා මේ වනවිට ශ්‍රීලනිප අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම සක්‍රියව ක්‍රියාත්මක වෙමින් සිටින බව වාර්තාවේ.
මේ පිළිබඳව 'බීබීසී සිංහල සේවය'ට තොරතුරු කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් සඳහන් කළේ, එසේ පිහිටුවන ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කෙරෙනු ඇති බවය.
ඔහු මේ කරුණු සඳහන් කළේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා අගමැති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධයක් නොදක්වන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ කිහිප දෙනෙකු සමග ද මේ වනවිට සාකච්ඡා කෙරෙන බව අදාළ අමාත්‍යවරයා සඳහන් කළේය.
'ආණ්ඩුවේ තනතුරු ගන්නේ නැහැ' - ඒකාබද්ධය
මේ අතර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ දැනටමත් මේ සම්බන්ධයෙන් සිය පාර්ශ්වයේ තීරණ දැනුම් දී ඇති බවය.
දැනට පවතින හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව පිහිටුවන ආණ්ඩුවක අගමැතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා වැනි අයෙකු පත්කරගැනීම පිළිබඳව විරෝධයක් නැතත් සිය පාර්ශ්වය ආණ්ඩුවේ කොටස්කරුවෙකු නොවන බව ඔහු කියා සිටියේය.
විපක්ෂයේ සිට ඊට සහය දෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම එවැනි ආණ්ඩුවක් පෙරලීමට ඉඩ නොදෙන බව ද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රනිල් අගමැතිවිම අනුමත කරන්න බැහැ - අමරවීර

එජනිස ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර ජනපතිට යැවූ ලිපිය
මේ අතර වත්මන් අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ රැදී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම සිය පක්ෂයට එකඟවිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.
පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරගෙන නව රජයක් පිහිටුවිය යුතුයැයි අපේක්ෂාකරන බව පවසන ඔහු ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
එජාප - ශ්‍රීලනිප ගිවිසුමේ කාලය අවසන් :
ඔහු සිය ලිපියෙන් පෙන්වාදෙන්නේ වර්ෂ දෙකක කාලයක් සඳහා සම්මුතිවාදී රජයකට එකඟතාව පළවුවත් දැන් එම කාලය ඉකුත්වී ඇති බවකි.
එම කාලය තුළදී අගමැතිවරයාගේ නායකත්වයෙන් හා එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවලට එළඹීම අසීරු වුවද සිය මැති ඇමතිවරුන් සාමුහික බව ගරු කළේ යැයි ඔහු කියා සිටී.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එල්ලවූ ප්‍රධාන චෝදනාවක් වූ වංචා දූෂණ මැඩලීම වෙනුවට මහා බැංකු බැඳුම්කරය වැනි මහා පරිමාණ වංචා අගමැතිවරයාගේ දැනුම මත සිදුවූ බව රටට රහසක් නොවේ යැයි සිය ලිපියෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ආර්ථික කළමනාකරණය මෙන්ම යහපාලන මූලධර්මවලට පිටුපෑම ඇතුළු තමන්ට ද එකඟවිය නොහැකි, දේශීයත්වය රැකගන්නා වැඩපිළිවෙලකට යාම වෙනුවට එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් මත පිහිටා ගනු ලැබූ තීරණ නිසා වර්තමානයේ ජනමතය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වෙන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ජනාධිපතිවරයාට යොමු කරන ලද ලිපියේ දැක්වේ.

පුළුවන් නම් බහුතරය පෙන්නන්න අගමැති ජනපතිට කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) රාත්‍රියේදී යළිත් වරක් මුණගැසී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි බව තමාට පැවසූ බව එහිදී ජනපතිවරයා හෙළිකර තිබේ.
එසේම ඒ සඳහා තමා ඔවුනට ලබන සිකුරාදා (16) දක්වා කල් දුන් බවද සිරිසේන මහතා අගමැතිවරයාට පවසා ඇත.
තමා දැනට ද අගමැති බවත් එහෙයින් තමාට බහුතරය පෙන්වීමේ අවශ්‍යතාවයක් මතුනොවන බවත් එහිදී පැහැදිලි කර ඇති අගමැතිවරයා, හැකි නම් වෙනත් අයකුට බහුතරය පෙන්වන්නැයි අභියෝග කල බව වාර්තා වේ.

