පළමු පිල් මාරුව රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගෙන් ? - ඇමති සාගලත් නීතිය සහ සාමය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙයි ?

පළමු පිල් මාරුව රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගෙන් ? - ඇමති සාගලත් නීතිය සහ සාමය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙයි ?
 
එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව ආසන සංවිධායකධූරය දැරූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර එම ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
 
ඉල්ලා අස්වීම ආසන සංවිධායකධූරයෙන් පමණයි
 
මෙම ඉල්ලා අස්වීම පක්ෂ මහලේකම්වරයා වෙත ලිපියකින්  දැනුම්දීමට පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා කටයුතු කර ඇති බවද වාර්තා වන අතර එහෙත් පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවද වාර්තා වෙයි.
 
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ආසන සංවිධායකධූරයෙන් පමණක් ඉල්ලා අස්වීම  සම්බන්ධව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මෙම ඉල්ලා අස්වීම ආණ්ඩු අභ්‍යන්තරයේ සිදුවන පළමු පිල් මාරුව බවට විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇති බවය.
 
එජාප නායකත්වය ගැන කළකිරීමෙන් හිටියේ 
 
එසේම කාලයක් පුරා රංගේ බණ්ඩාර අමාත්‍යවරයා එජාප නායකත්වය පිළිබඳ දැඩි කළකිරීමකින් සිටි බවත් පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් මෙන්ම පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වියයුතු බවට පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවූ මතය වෙනුවෙන්ද අමාත්‍යවරයා සෘජුව පෙනීසිටි බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
 
නීතිය හා සාමය මට එපා - අමාත්‍ය සාගල
 
මේ අතර සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට තමන්ගේ  බලාපොරොත්තුවක් නැති බවත්  පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර ඒ බව දැනුම්දුන් බවත් පවසා ඇත. 
එසේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට තමා පසුබට නොවන බවත් පක්ෂයේ යහපත වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට සූදානම් බව  අග්‍රාමාත්‍යතුමාට දැනුම්දුන් බවද අමාත්‍යවරයා තැබූ සටහනේ සඳහන් කර ඇත.
 
එසේම එහි මෙසේද සදහන් කර තිබේ."මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා"
 
නීතිය හා සාමය ඔයා ගන්නවද : සාගල මගෙනුත් ඇහුවා - අමාත්‍ය රාජිත 
 
මේ අතර අද (15) පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද සාගල අමාත්‍යවරයාගේ අමාත්‍යංශ විෂය මාරුවීම සම්බන්ධව අදහස් පලකළ අතර එහිදී රාජිත අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අදාළ විෂය භාරගන්නා ලෙස සාගල අමාත්‍යවරයා තමාගෙන්ද ඉල්ලීමක් සිදුකළ බවය. එහිදී දොස්තරලා සහ පොලිසිය දෙක එකට බලාගැනීමට තමන්ට නොහැකි කාර්යයක් බව තමන් පැවසූ බවද අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න