Language Switcher

V2025

කොවිඩ්-19 වසංගත වක්‍රය පැතලි කිරීම: ප්‍රජා වෛද්‍ය ප්‍රතිචාරය මෙන්න !

"ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබද ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි. එය ශ්‍රී ලාංකීය ජනතාවගේ රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා වූ ශක්තිමත්ම සහ දැනුමැති විද්වත් සංගමයයි. විද්‍යාත්මක සාක්ෂි මත පදනම්වූ ක්‍රමවේද සහ ප්‍රතිපත්ති වලට අනුකුල වෙමින් දැනට පවත්නා සහ ඉදිරියට මතුවන මහජන සෞඛ්‍ය අභියෝග වලට ප්‍රතිචාර දැක්වීම අපගේ වගකීමකි" යනුවෙන් සඳහන් කරමින් එම සංගමය විසින් කොරෝනා ගෝලීය වසංගතය සහ ශ්‍රී ලංකාව සම්බන්ධ තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න විසින් යොමුකර ඇති එය පහත දැක්වෙයි.

 මූලික මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තීන් මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන ක්‍රමෝපායයන් තම රටවලට ආවේණික තත්ත්වයන්ට ගැලපෙන පරිදි ක්‍රියාත්මක කිරීම මඟින් සෑම රටකටම මෙම ගෝලීය වසංගතය පාලනය කිරීමට හැකියාව ඇත. ඒ අනුව, දැඩි අධිෂ්ඨානශීලි සහ විද්‍යාත්මක සාක්ෂ්‍ය මත පදනම්වූ ප්‍රජා වෛද්‍ය ක්‍රමවේදයන්  මඟින් අප රටේද මෙම වසංගත ව්‍යාප්තිය සාර්ථකව පාලනය කල හැකි බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අපි  විශ්වාස කරන්නෙමු.
 
කොවිඩ් 19 වැනි රෝගයක් නිසා රෝගීන් අසාමාන්‍ය ලෙස වැඩි වන අවස්ථාවකදී, අළුතෙන් රෝගීන් වාර්තා වීම සහ  කොපමණ වේගයකින් රෝගය පැතිරිය හැකිද යන්න ප්‍රස්ථාර ගත කිරීමට සහ පුරෝකථනය කිරීම (prediction) සඳහා ‘වසංගත වක්‍රය’ (Epidemic Curve) භාවිතා කරනු ලැබේ. කිසියම් ප්‍රදේශයක දිනය, සතිය හෝ මාසය තුළ වාර්තා වූ රෝගී සංඛ්‍යාව ඉන් නිරූපණය වේ. වසංගත අවස්ථාවකදී, මෙම වක්‍රය මුල් අවධියේ දී ක්‍රමයෙන් වැඩි වී, යම් කාල පරාසයකට පසු උච්චතම අවස්ථාවකට පත්වී ඉන්පසු එම රෝගයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග හෝ  රෝගයට නතුවන පුද්ගලයින් අවසාන වීම නිසා මෙම වක්‍රය ක්‍රමයෙන් අඩු වී යයි. 
 
ඕනෑම බෝවන රෝග වසංගතයක් එහි ව්‍යාප්තිය වැඩි වත්ම පහත සඳහන් අදියරයන් හරහා විකාශනය වීමක් බලාපොරොත්තු විය හැකිය.

1. පළමු අවධිය: වාර්තා වූ රෝගීන් නොමැත.
2. දෙවන අවධිය: අතරින් පතර රෝගීන් (Sporadic Cases) - පිටස්තරයෙන් හෝ එම ප්‍රදේශයෙන් එක් අයෙක් හෝ වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත.
3. තෙවන අවධිය: පොකුරු  රෝගීන් (Clusters of cases) - පවුලේ සාමාජිකයෙකුට (පවුල් පොකුර / Family Cluster) හෝ අසල්  වැසියෙකුට (ග්‍රාමීය පොකුර / Village Cluster) නිරාවරණය වීම නිසා සීමිත රෝග සම්ප්‍රේෂණයකින්  බහුතරයක් රෝගීන්  වාර්තා වී ඇත.
4. සිව්වන අවධිය: සමාජගත සම්ප්‍රේෂණය (Community Transmission) - මුලාශ්‍රය සොයා ගත නොහැකි විශාල රෝගීන් සංඛාවක් සමාජයේ සිටීම 
 
අද වන විට කොවිඩ් 19 වසංගතය නිසා තහවුරු කරගත් රෝගීන් 571,678 ක් සහ මරණ 26,494 ක් ලෝකය පුරාද,  තහවුරු කරගත් රෝගීන් 117 ක් සහ එක් මරණයක් ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වී ඇත.  අප මේ වන විට කොවිඩ් 19 වසංගතයේ ග්‍රාමීය පොකුරු (Village Cluster) අවධියේ සිටින බව පැහැදිලිය. රෝගය මීළඟ අවධියට පරිවර්තනය වීම වැලක්වීමට මේ අවස්ථාවේදී හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතුය. මක්නිසාද යත්, මින් ඔබ්බට ඇති සමාජගත සම්ප්‍රේෂණ අවධියේදී ගුණාකාරව වැඩිවන රෝගීන් සංඛ්‍යාව නැවැත්වීම ඉතා දුෂ්කර හෙයිනි.
 
මෙවැනි වසංගතයක් සඳහා කළහැකි මැදිහත් වීම් (වසංගත ප්‍රතිචාරය) පහත දැක්වේ (රූපය  1);
  1. මුල් අවධියේදීම වසංගතය සම්පුර්ණයෙන්ම පාලනය කර ගැනීම (Total containment of the outbreak)
  2. වක්‍රය පැතලි කරගැනීම (flattening of the curve)
  3. සෞඛ්‍ය පද්ධතියේ හැකියාව වැඩි කිරීම (Raising health system capacity)
 epidemic curve Sinhala
රූපය 1: වසංගත වක්‍රය (Epidemic Curve): කඩ ඉරි මඟින් දැක්වෙන්නේ කිසිම මැදිහත් වීමකින් තොරව සිටි විට ඇතිවිය හැකි වක්‍රය යි. තද නිල් පැහැයෙන් දැක්වෙන්නේ නිර්දේශිත මහජන සෞඛ්‍ය මැදිහත් වීම් මඟින් පාලනය කල විට වක්‍රය පැතලි වන ආකාරයයි.
 
තාමත් රට තුලින්ම මතුවන රෝගීන් සංඛ්‍යාව අඩු මට්ටමක පවතින නිසා, මුල් අවධියේදීම කොරෝනා වසංගතය සම්පුර්ණයෙන්ම පාලනය කර ගැනීම ප්‍රධාන පරමාර්ථය විය යුතුය. මීළගට ඇති හොදම පියවර ලෙස වක්‍රය පැතලි කරගැනීම (flattening of the curve) බව ප්‍රජා වෛද්‍ය විශේෂඥයන් ලෙස අපේ පිළිගැනීමයි.
 
වසංගත වක්‍රය  පැතලි කරගැනීම යනු ඕනෑම අවස්ථාවක සෞඛ්‍ය සේවාවන්ට දරා ගත හැකි මට්ටමට වඩා පහලට රෝගීන් සංඛ්‍යාව අඩු කරගැනීමයි. එනම් සෞඛ්‍ය සේවා පද්ධතිය උපරිමයට නොයනු වස් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමයි. සාමාන්‍යයෙන් විශාල වසංගතයක් ඇතිවීම සදහා පළමු රෝගියා වාර්තා වුනු පසු සති දෙකක කාලයක්වත් ගතවේ. කාලෝචිත සහ නිසි ප්‍රජා වෛද්‍ය ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සදහා මෙම සංක්‍රාන්ති කාල පරිච්ජේදය ඉතා වැදගත් වේ.
 
ශ්‍රී ලංකාවේ ක්‍රියා මාර්ග !
 
මෙම කොවිඩ් 19 රෝගය සඳහා තවමත් සාර්ථක එන්නතක් සොයාගෙන නොමැති පසුබිමක් තුල, සියලුම රටවල් බෝවන රෝග පාලනයේදී ක්‍රියාත්මක වන මුලික සංකල්ප වන රෝගීන් හැකි ඉක්මනින් හඳුනාගැනීම සහ ඔවුන්ව වෙන්කර තබා ගැනීම, රෝගය බෝවිය හැකි කාලය තුලදී එම රෝගීන් සමීපව ආශ්‍රය කල තවමත් රෝගී වී නොමැති පුද්ගලයන් සොයා ගෙන ඔවුන්ව නිරෝධායනය කිරීම යන ඖෂධ භාවිතයක් නොමැති ප්‍රජා වෛද්‍ය ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කිරීම මඟින් මෙම වසංගතයට එරෙහිව සටන් වදී.
 
1.       රෝග ව්‍යාප්තිය අවම කිරීම (Mitigation)
 
මෙහිදී සිදු කරන මහජන සෞඛ්‍ය මැදිහත් වීම් මඟින් රෝගයේ පැතිරීම අවම කිරීමක් හෙවත් වසංගත වක්‍රය පැතලි කිරීමක් බලාපොරොත්තු වන අතර, රෝගය සම්පුර්ණයෙන්ම මර්දනය කිරීමක් බලාපොරොත්තු නොවේ. රෝගයෙන් මරණයට පත්වීමට වැඩි අවදානමක් ඇති පුද්ගලයන් අවම වශයෙන් රෝග විෂබිජයට නිරාවරණය වීම මඟින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සහ වක්‍රය පැතලි කිරීම මඟින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් පද්ධතීන් වලට ඇති උපරිම හැකියාව ඉක්මවා නොයෑම මඟින් රෝගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම මෙහි අරමුණ වේ.

2.       රෝග ව්‍යාප්තිය මර්දනය කිරීම (Suppression)
 
වසංගත වක්‍රය සම්පුර්ණයෙන්ම ආපසු හැරවීම, අවම මට්ටමකට රෝගී සංඛ්‍යාව ගෙන ඒම සහ එම තත්ත්වය දිගටම පවත්වා ගැනීම මෙහිදී  බලාපොරොත්තු වේ.
 
2020 මාර්තු මස 11 වන දින පළමු ශ්‍රී ලාංකික කොවිඩ් 19 රෝගියා වාර්තා විය. ඒ සමඟම කඩිනමින් ක්‍රියාත්මක වූ රජය ඇතුළු වෙනත් පාර්ශවකරුවන් විසින් මෙම වසංගතය මැඩ පැවැත්වීමට විශාල ක්‍රියා මාර්ග දාමයක් ගන්නා ලදී. රෝගීන් වාර්තා වූ කාල පරාසය තුල විටින් වට ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේද  පහත රුපයෙන් නිරුපණය වේ (රුපය 2).
 
SL Interventions sinhala
 
සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව "මුළු ආණ්ඩුව" (whole-of-government) සහ "මුළු සමාජය" (whole-of-society) පදනම් කරගත් පහත ප්‍රධාන ප්‍රවේශ ක්‍රියාත්මක කරනු ලැබිණි.
 
•        හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම සහ ව්‍යාප්ත කිරීම
•        අවධානම් සාධක සහ ඒවායින් සුරක්ෂිතවීමේ ක්‍රම පිළිබඳව මහජනයා වෙත සන්නිවේදනය
•        සියලු ආසාදීතයින් සෙවීම, හුදෙකලා කිරීම, පරීක්ෂණ මගින් තහවුරු කිරීම සහ ඔවුන් සමග සම්බන්ධිත සියලු පුද්ගලයින් සෙවීම
•        සෞඛ්‍ය සේවකයින් සුරක්ෂිත කිරීමට සහ පුහුණු කිරීමට රෝහල් සූදානම් කිරීම
•        සමාජයේ සමස්ත ප්‍රතිචාරය සහ ප්‍රජා හැඟීම දිරිමත් කිරීම
•        අදාළ සෞඛ්‍ය නොවන සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම

වසංගත පාලනය සහ ප්‍රතිචාරය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශිත සියලු ක්‍රමවේදයන් කාලීනව රට තුල ක්‍රියාත්මක කරන ලදී.

1.      හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණ
2.      අවදානම සන්නිවේදනය සහ ජනතා සහභාගිත්වය
3.      ආසාදිතයින් සෙවීම, ඔවුන් ඇසුරු කළවුන් සෙවීම සහ කළමනාකරණය
4.      ආවේක්ෂණය  
5.      ප්‍රජා සෞඛ්‍ය පියවර හඳුන්වා දීම (දෙඅත් පිරිසිදු කිරීම, ශ්වසන ආචාර විධි සහ සමාජ දුරස්ථභාවය)
6.      රසායනාගාර පරීක්ෂණ කිරීම
7.      රෝගීන්ට ප්‍රතිකාර කිරීම
8.      ආසාදන නිවාරණය සහ පාලනය
9.      සමාජයීය ප්‍රතිචාරය (වැඩපිළිවෙලෙහි අඛණ්ඩ සැලැස්ම සහ මුළු සමාජයේම ප්‍රතිචාරය)

වසංගත ප්‍රතිචාරයේදී ප්‍රජා වෛද්‍ය යාන්ත්‍රණයේ  කාර්යභාරය :
 
බිම් මට්ටමේ ප්‍රජා වෛද්‍ය සේවකයින් වන මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI), පවුල් සෞඛ්‍ය නිලධාරිනී (PHM) සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ (MOH) සිට ඉහලම ජාතික මට්ටමේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෛද්‍ය පරිපාලන නිලධාරීන් දක්වා වන සියලුම ප්‍රජා වෛද්‍ය යාන්ත්‍රණය මෙම වසංගත ප්‍රතිචාරයේ සියලු පැතිකඩ වලට ක්‍රියාත්මක දායකත්වයක් ලබාදෙනු ලබන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සනිටුහන් කරනු ලබයි.
 
මෙම වසංගත තත්ත්වය ‘ප්‍රජා සෞඛ්‍ය හදිසි අවස්ථාවක්’ (Public Health Emergency) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. එයට අදාලව ගරු සෞඛ්‍ය ඇමතිනිය, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  සහ මහජන සෞඛ්‍ය අතිරේක ලේකම් යන මහත්ම මහත්මීන්ගේ  මග පෙන්වීම මත පහත දැක්වෙන රෝග නිවාරණ කණ්ඩායම් නිරතුරුවම ක්‍රියා කරමින් සිටී.

ජාතික මට්ටමේ:

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු (මහජන සෞඛ්‍ය), ප්‍රජා සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු (වසංගත රෝග විද්‍යා අංශය, නිරෝධායන අංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ආපදා කළමනාකරණ අංශය), ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, විශේෂ ශ්‍රේණියේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් සහ සියලු ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් වලට අනුයුක්ත සහායක කාර්ය මණ්ඩලය මේ අවස්ථාවේ උපරිම ධාරිතාවයකින් තම කාර්ය ඉටු කරමින් සිටී.

පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ:

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, විශේෂ ශ්‍රේණියේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්, විශේෂ ශ්‍රේණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ  පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ සියලු, ප්‍රාදේශීය වසංගතවේදී සහ අනෙකුත් වෛද්‍යවරුන්, මාතෘ සහ ළදරු සෞඛ්‍ය වෛද්‍යවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, සහ අනෙකුත් සහායක සේවකයින් මෙම අවස්ථාවේ කණ්ඩායමක් ලෙස ප්‍රජාව තුල මහඟු කර්තව්‍යයක නිරතුරුවම දිවා රෑ නොබලා නියැලී සිටී.

පවුල් වෛද්‍යවරුන් ඇතුළු සියලු ප්‍රාථමික වෛද්‍ය සේවා කණ්ඩායම්ද  මේ අවස්ථාවේදී රෝග කලින් හඳුනා ගැනීමේ සහ නිවාරණය කිරීමේ කාර්යයන්හි  මහඟු සේවාවක් සපයති.

 1. වසංගත රෝග විද්‍යා අංශය (Epidemiology Unit)

බෝවන රෝග පිලිබඳ ජාතික කේන්ද්‍රස්ථානය වශයෙන් වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියා කරයි. එම අංශය මගින් මේ සම්බන්ධ ප්‍රතිපත්ති සඳහා උපදේශන සැපයීම (Advocacy), මාර්ගෝපදේශ (Guielines) සැකසීම, දැඩි ආවේක්ෂණ ක්‍රියාවලීන් (Surveillance) සහ රෝගීන් සමග සම්බන්ධිත පුද්ගලයින් සෙවීම, දත්ත රැස් කිරීම සහ දත්ත දිවයින පුරා ව්‍යාප්ත කිරීමෙහි නියැලේ. මෙම අවස්ථාවේදී දිවයිනේ වසංගත ප්‍රතිචාරය (Epidemic Response) උදෙසා ඉහලම මට්ටමේ තාක්ෂණික මග පෙන්වීම සහ උපදේශ සැපයීම මෙම ආයතනයෙන් සිදුවේ. මේ වනතුරු ජාතික මට්ටමේ ලබාගෙන ඇති සාර්ථකත්වය පසු පස ඇති ප්‍රබලම සාධකය වන්නේ,  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ යටතේ වසංගත රෝග විද්‍යා අංශය මගින් ක්‍රියාත්මක අඛණ්ඩ ක්‍රියාවලියයි.

2. නිරෝධායන අංශය (Quarantine Unit)

මෙම අංශය මගින් දියත් කරන ලද මුල්ම ප්‍රතිචාර වූයේ, විදේශ සංචාරයේ නියැලී දිවයිනට පැමිණෙන සියලු දෙනා පිවිසුම් ස්ථාන වලදී ක්‍රියාකාරී ලෙස උෂ්ණත්ව පරීක්ෂාවට (Thermal Screening) සහ ප්‍රශ්නාවලි මගින්  පරික්ෂාවකට ලක් කිරීමය. එහිදී සොයා ගත් සියලු රෝගීන් වෛද්‍ය සේවාවන්ට යොමු කිරීම, සියලු මගීන් රෝග නිවාරණය පිලිබඳ දැනුවත් කිරීම සහ සැක සහිත රටවලින් පැමිණි මගීන්ගෙන් ලබා ගත් තොරතුරු අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත දැනුම් දීමද සිදුකෙරිණි. මෙම කාර්යයන් සහ නිරෝධායන කටයුතු ඉටුකිරීමේදී හමුදාව සමග සමීප සහයෝගයකින් ක්‍රියාකරන ලදී.

3.  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (Health Promotion Bureau)

කාර්යාංශය මගින් ඉතා ප්‍රායෝගික සහ සාර්ථක ක්‍රම උපයෝගී කරගත් මාධ්‍ය ආවරණයක් සපයන ලදී. පුද්ගල චර්යා වෙනස් කිරීම සඳහා විශ්වාසවන්ත තොරතුරු සන්නිවේදනයෙහි රාජ්‍ය ආයතනය ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඉතා සක්‍රිය දායකත්වයක් ලබා දීමේ අභියෝගාත්මක කර්තව්‍යයේ යෙදෙමින් සිටී. මෙම වසංගතයට ප්‍රතිචාර දක්වන නිවැරදි චර්යාත්මක වෙනසකට සන්නිවේදනය කරන අතරම, වැරදි තොරතුරු සහ මිත්‍යාවන්ට ප්‍රතිචාර දැක්වීමද කාර්යාංශයේ අභියෝගයක් විය.

4.   පවුල් සෞඛ්‍ය කාර්යාංශය (Family Health Bureau)

වසංගතය තුලදී ගර්භනී මව්වරුන්ට සහ දරුවන්ට අදාලව ජාතික මාර්ගෝපදේශ සැකසීම සිදු කරන ලදී. එලෙසින්ම එම සේවාවන්හි නියැලී සිටින ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් වන මාතෘ සහ ළමා සෞඛ්‍ය වෛද්‍යවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය හෙද සොයුරියන්, අධීක්ෂණ පවුල් සෞඛ්‍ය නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා එම මාර්ගෝපදේශ බිම් මට්ටමේ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාපටිපාටි සකස්කර දැක්වීම කාර්යාංශයේ ප්‍රධාන කර්තව්‍ය වීය.

5.   බිම් මට්ටම 
 
විද්‍යාත්මක සාක්ෂි වලට අනුව, රෝගීන් කලින් හඳුනා ගැනීම සහ ඔවුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් හැකි පමණ සොයා ගැනීම සහ නිරෝධානයන මෙවැනි වසංගත තත්වයකට සාර්ථකව මුහුණ දීමේ ක්‍රමවේදයන්හි පළමු අදියර වේ. මේ සඳහා දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශ 357 හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 900ක් පමණ සේවයේ නියැලී සිටී. ඔවුහු මෙම කාර්යයන් දෙකට අමතරව, රෝග ආවේක්ෂණ ක්‍රියාවන්ද, පුද්ගල නිරෝධායනයද, මහජනතාව දැනුවත් කිරීමද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සක්‍රිය දායකත්වයෙන් කරති.  මෙම ප්‍රජා සෞඛ්‍ය ජාලය පළාත් සහ ප්‍රාදේශීය ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්  සහ ප්‍රාදේශීය වසංගතවේදී වෛද්‍යවරුන්ගේ තාක්ෂණික මග පෙන්වීම යටතේ දැනට සාර්ථකව දිවයින පුරා සිදුවෙමින් පවතී.

6.      ආපදා පෙර සූදානම් කළමනාකරණ සහ ප්‍රතිචාර අංශය (Disaster Preparedness, Management & Response Unit)
 
ඉහත දැක්වූ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් සමග ඉතා සමීපව කාර්යයන්හි නිරතවී සිටී.
 
ප්‍රජා වෛද්‍ය කණ්ඩායම් වල සක්‍රිය දායකත්වය
 
ප්‍රජා වෛද්‍ය කණ්ඩායම් වල සක්‍රිය දායකත්වය නොවන්නට මේ වන විට වාර්තා වන රෝගී සංඛ්‍යාව මීට වඩා බෙහෙවින්ම වැඩි වන්නට තිබුණි. සංචාරකයින් පරික්ෂාව, රෝගීන් සොයාගැනීම, ඇසුරු කළවුන් සෙවීම, විගස වාර්තා කිරීම, කල් ඇතිව හුදෙකලා කිරීම / නිරෝධායනය කිරීම සහ සුවිශාල ජනතා දැනුවත් කිරීම් මගින් වසංගතය සමාජගත වීමේ අවධියට යාම වලක්වා ගැනීමට හැකිව තිබේ.
 
අප අවශ්‍ය කාර්යයන් කර තිබේද? සාර්ථකයයි සනාථ වී ඇති කටයුතු සිදුකර ඇත්ද?

වසංගතය තවමත් පැතිරෙමින් පවතී. බලාපොරොත්තුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා බහුමුහුණුවරින් සහ බහු පාර්ශවකරුවන්ගෙන් නියුතු සමාජය ඉලක්ක කරගත් උපායමාර්ග දිවයින තුල ක්‍රියාත්මක වෙමින් පවතී. සමාන තත්ත්වයන්ට මුහුණදුන් අනෙකුත් රටවල සාර්ථකවූ සහ අසාර්ථකවූ ක්‍රමවේදයන් හොඳින් අධ්‍යයනය කිරීම, දැනට දිවයින තුල ක්‍රියාත්මක ක්‍රමවේදයන් වෙනස් කිරීමට හෝ නව ක්‍රම උපයෝගී කර ගැනීමට ඉමහත් රුකුලක් වෙනු ඇත.

චීනය මේ වනවිට මෙතෙක් ඉතිහාසයේ දැක ඇති වඩාත්ම ‘අධිෂ්ඨානශීලි, ශ්‍රිඝ්‍රතම මෙන්ම කර්කශ වසංගත පාලන උත්සාහයෙහි’ නිරත වෙමින් පවතින බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.
 
 cornasman
 
මෙමගෝලීයවසංගතයේබලපෑමටලක්වූ අනෙකුත්රටවල්සමහරක්වසංගතයේ  විවිධඅවධීන්හිදීගනුලැබූ ක්‍රියාමාර්ග පහතවගුවෙන්සහරූපලින්දැක්වේ.

Country responses1 sinhala

 
Country responses2 Sinhala
 

coronasl

අප නිවැරදි මාර්ගයේ සිටීද?

කොරෝනා අසාධානයෙන් එක් රෝගියෙකුවත් මරණයට ලක් වීමට පෙර සිටම ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් අභිබවා යමින් අවශ්‍ය මැදිහත්වීම් උපායමාර්ගීකව ක්‍රියාත්මක කර ඇති හෙයින්,  අප නිවැරදි මාර්ගයේ ගමන් කරන බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තරයේ විශ්වාස කරන්නේය. එනමුත්, මෙම ක්‍රියාමාර්ග තවත් ශක්තිමත් කරමින්  දිගටම පවත්වා ගෙන යාමත්, අවශ්‍ය පරිදි නව මැදිහත් වීම්  නියමිත අවස්ථාවන්හිදී ගැනීමත් සිදු කල යුතුය.
 
අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සෞඛ්‍ය ඇමතිතුමිය විසින් ලබා දෙන ශක්තිමත් දේශපාලන නායකත්වය මෙහිදී ගෞරවයෙන් මතක් කිරීමට කැමැත්තෙමු. ඔවුහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ  නිර්දේශය වන , 'සමස්ථ රජයේ ප්‍රවේශය' (“Whole Government Approach”) ට අනුකූලව ක්‍රියා කරති. යුධ හමුදාපතිතුමාගේ කාර්යභාරය සහ දායකත්වය  සමස්ත නිරෝධායන වැඩ පිළිවෙලේ සාර්ථකත්වයට හේතුවීය. නොඑසේනම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් මෙම සාර්ථකත්වය උදා කර ගැනීමට නොහැකි වනු ඇත.  ශ්‍රී ලංකා පොලීසිය සමාජ දුරස්ථභාවයට අදාළ නිතී රීති බල පවත්වයි. කොරෝනා වසංගත පාලන ක්‍රියාවෙහිදී අනෙකුත් සියලු අමාත්‍යංශ, ආයතන සහ විද්වත් සංවිධාන උපරිම මට්ටමේ දායකත්වයක් ලබා දෙමින් සිටී. 

කොරෝනා වසංගත ප්‍රතිචාරයේ ඉදිරි අභියෝග සඳහා මුහුණ දීමට ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥන්ගේ සංගමයේ යෝජනා:අඩු සහ මාධ්‍ය ආදායම් ලබන රටක් ලෙස ශක්තිමත් ප්‍රජා සෞඛ්‍ය පද්ධතියක් පවතින ශ්‍රී ලංකාව, මෙම ගෝලීය වසංගත තත්ත්වයට කාලෝචිත සහ ඵලදායක ක්‍රියා මාර්ග ගනිමින් ලොව අනෙකුත් සියලු රට වලට ආදර්ශයක් වෙමින් ක්‍රියා කරන අයුරු මැනවින් දිස්වේ. මෙයින් පෙනී යන්නේ ප්‍රජා වෛද්‍ය ක්‍රමෝපායන් සඳහා ආයෝජනයෙහි ඇති වැදගත්කම වේ.

මෙතෙක් අප නිසිපරිදි කටයුතු කර ඇති නමුදු, තව දුරටත් ඉදිරියේදී පැමිණිය හැකි අභියෝග සාර්ථකව පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් පහත නිර්දේශ දක්වයි;

1.      අනෙකුත් රටවල සාර්ථකත්ව පියවර ආදර්ශයට ගැනීම

චීනය, දකුණු කොරියාව, ජපානය සහ සිංගප්පූරුව වැනි රටවල සාර්ථකත්වයත්; ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අසාර්ථකත්වයත් ගැඹුරින් විමර්ශනය කිරීමත්, ඒ අනුව වර්තමාන අප ගෙන ඇති ක්‍රමෝපායයන් අදාළ පරිදි වෙනස් කිරීමත් වැදගත් ය.
පහත ප්‍රවේශයන් කෙරෙහි අප වඩාත් අවධානය යොමු කිරීම වැදගත් වේ
- මුළු රාජ්‍ය ප්‍රවේශය තුලින් ප්‍රශස්ත අන්තර් ආයතනික සම්බන්ධතාවයක් සහ සාමූහිකත්වයක් ගොඩ නැගීම
- සමස්ත පද්ධති ප්‍රවේශ (total system approach) මගින් සෞඛ්‍ය ආරක්ෂණය (health security) කළමනාකරණය කිරීම (ප්‍රතිකාර සේවා, ජනතාවගේ සෞඛ්‍ය, ආවේක්ෂණය, විද්‍යාත්මක)
- විනිවිදභාවය සහ වගවීම ( transparency and accountability)

2.      අගුළු දැමීමේ (Lockdown) උපායමාර්ග විධිමත් කිරීම


මෙම ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීමේදී ගැටළු කිහිපයක් හට ගෙන ඇත. මෙම අභියෝගයන්ට මුහුණ දීම සඳහා, ජනතා හිතකාමී වන ලෙස වසා දැමූ ප්‍රදේශ විටින් විට ලිහිල් කිරීම සහ ආකල්පමය වෙනසක් තුලින් සමාජ වගකීම වැඩි දියුණු කිරීම යෝග්‍යවේ. දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය නොවන ක්‍රමවේදයන් වන, ආහාරපාන සහ ඖෂධ ලබා දීම, සියලු බලපෑමට ලක්වූ අංශ සඳහා ආර්ථික පැකේජ ලබා දීම,  මුල්‍යමය වශයෙන් අවදානමට ලක්වූ පවුල් වලට විශේෂ සේවා සැපයීම සහ රෝග නිවාරණ සහ සමාජ දුරස්ථභාවය (Social Distancing) රැකීම පිලිබඳ නීති බල ගැන්වීම තව දුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යය. මෙම ක්‍රමෝපාය සති දෙකකින් නැවත සමාලෝචනය කර අවශ්‍ය අදාළ වෙනස්කම් කරන මෙන් අපි යෝජනා කරමු.

3.      පෞද්ගලික ස්වස්ථතාවය සහ සමාජ දුරස්ථභාවය (Personal hygiene and social distancing)

'ජාතික කොවිඩ්-19 යුද්ධය' යන මැයින් වර්තමාන වසංගත තත්ත්වය පාදක කොටගෙන තව දුරටත් පෞද්ගලික ස්වස්ථතාවය සහ සමාජ දුරස්ථභාවය ශක්තිමත් කිරීම උදෙසා ජනතාව බලමුලු ගැන්වීම. සමාජ දුරස්ථභාවය උදෙසා ජනතාව තව දුරටත් නිවසේ රැඳී සිටීමේ අවශ්‍යතාවය සහ කායික දුරස්තතාවය සඳහා මීටරයේ පරතරය ප්‍රවාහනයේදී පවා පවත්වා ගැනීමට ඔවුන් හට සක්‍රීය කාර්යභාරයක් ඇති බවට මහජනයා සංවේදී කිරීම අවශ්‍යය වේ.

4.      පහළ ජාතික මට්ටමේ සහ සෞඛ්‍ය නොවන අංශවල පෙර සුදානම සහ ප්‍රතිචාර සැලසුම් කිරීම

ප්‍රාදේශීය මට්ටමේ ප්‍රධාන හවුල් කරුවන් පෙර සුදානම සහ ප්‍රතිචාර සැලසුම් කිරීම සඳහා නිරත කර ගැනීම. දැනට පවතින කොවිඩ්-19 ප්‍රතිචාර සැලසුමේ උපායමාර්ගික සුදානම පාදක කොට ගෙන සෞඛ්‍ය නොවන අංශ සමග ගොඩනැගිය හැකි සම්බන්ධතාවයන් පිළිබඳව සමාලෝචනය කිරීම.

5.      සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය සහ සුදානම ඉහළ නැංවීම ( Raising health system capacity & readiness )   

මෙහිදී අරමුණු විය යුත්තේ ;

•             පද්ධතියට දැඩි බරක් නොදී ආයතන සහ නිවාස තුලදී ම රෝග සම්ප්‍රේෂණය වැළැක්වීම
•             අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යන අතරතුරම දරුණු සහ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ  ධාරිතාවය පවත්වා           ගැනීම
•             අඛණ්ඩ සේවාවක් සහ සත්කාරය උදෙසා සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම

කොවිඩ්-19 අසදිතයින්ගේ රෝගී තත්ත්වය උත්සන්න භාවය සලකා බලන විට, 40%ක් සුළු රෝගී තත්ත්වයේද, 40% මධ්‍යස්ථ  තත්ත්වයේ (නිවුමෝනියාව) ද , 15% දරුණු මට්ටමේද සිටිය හැකි අතර 5% පමණක් අසාධ්‍ය තත්ත්වයට පත්වේ. දරුණු රෝගී තත්ත්වයේ සිටිනා රෝගීන් හට ඔක්සිජන් ප්‍රතිකාර සැපයීම අවශ්‍ය වන අතර, අසාධ්‍ය තත්ත්වයේ රෝගීන්ට පමණක් කෘතීම ශ්වසනය ලබා දීම අවශ්‍ය වේ.
වසංගතයේ වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් රෝහල්ගත විය හැකි රෝගීන් ගණන පුරෝකථනය කිරීම අපහසුය.
 ඒ සමගම රෝගීන් සංඛ්‍යාව වැඩිවෙත්ම, සුළු රෝගී තත්ත්ව ඇති රෝගීන් රෝහල් ගත කිරීමට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමත්, ඒ සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය කණ්ඩායම් දිවයිනේ විවිධ දෙසින් යෙදවීමටත් සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වේ.

6.      ස්වයං නිරෝධායන ක්‍රියාවලිය


අසාධනයට ලක්වූ සහ ඔවුන් සමීපයෙන් ඇසුරු කල පුද්ගලයින් උදෙසා වඩා දැඩි නිරෝධායන පිළිවෙත් අනුගමනය කිරීම යෝග්‍යවේ. මෙලෙස දැඩි නිරෝධායන පිළිවෙත් ක්‍රියා කල සිංගප්පූරුව  සාර්ථක වීය. වඩාත් ඵලදායී ප්‍රතිඵල සහ රෝගී අනුගත වීමක් ලබා ගැනීම සඳහා උණ සමග වෙනත් ලක්ෂණ ඇති රෝගීන්ද, ආසාදනය සැක සහිත පුද්ගලයින් සහ ඔවුන් සමීපයෙන් ඇසුරු කල පුද්ගලයින් නිරෝධායනය කල යුතුය.

 7.    සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සහ අගය කිරීම

වසංගත ප්‍රතිචාරය අඛණ්ඩව ක්‍රියාත්මක වීම විශාල වශයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරී මැදිහත් වීම මත රඳා පවතී. මෙම වසංගතයට ඔවුන් ගොදුරු වීමෙන් ආරක්ෂා කර ගැනීම මෙන්ම ඔවුන්ගේ චිත්ත ධෛර්යය  ඉහල නැංවීම මෙහිදී සම වැදගත් කමක් ගනී. මෙය ප්‍රජා සෞඛ්‍ය සේවකයින් හටද සමානව ලබා දීම ඉතාම වැදගත් වන්නේ ඔවුන්ගෙන් ලබන සේවාව  සහ දායකත්වය මෙතෙක් ජාතික මට්ටමේදී නිසි ලෙස හඳුනාගෙන අගය කිරීමකට ලක්වෙන බවක් නොපෙනෙන නිසාය. නැතහොත්  ඔවුන් මෙම අඛණ්ඩ සටනෙහි නිහඬ විරුවන් පමණක් වනු ඇත.

පෞද්ගලික ආරක්ෂණ මෙවලම් අවශ්‍ය පමණ රෝගී සත්කාරයේ සහ ක්ෂේත්‍රයේ නිවාරණයේ යෙදෙන සෞඛ්‍ය සේවකයන්ට ලබා දීම අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම ඔවුන් ඒවා නිසි ලෙස භාවිතා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ වලට අනුව සැකසු සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශයට අනුව සිදුවෙන බවද තහවුරු කිරීම වැදගත්වේ.

8.       රෝගීන් හංවඩු ගැසීම / කොන් කිරීම (Disease Stigma)

හඳුනාගත් රෝගීන් සහ ඔවුන් ඇසුරු කරන්නන් පිලිබඳ මාධ්‍ය සහ නිලධාරීන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත් හේතුවෙන් ඔවුන් හට ඇතිවන අපකීර්තිය පිළිබඳවද අප සංගමයේ සැලකිල්ලට ගෙන ඇත. වසංගත ප්‍රතිචාරයට මෙන්ම පුද්ගලයින්ටද මෙම හංවඩු ගැසීම / කොන් කිරීම හානිදායක වන බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නැවත අවධාරණය කිරීමට  කැමතිය. හංවඩු ගැසීම හේතුවෙන් පුදගලයින් පලායාම හෝ හැංගී සිටීම සිදු විය හැකිය. මෙමගින් මහජනයා සෞඛ්‍ය සේවාවට ළඟාවීමට කල් යනු ඇත. එමෙන්ම සෞඛ්‍යමත් පුරුදු වලට අනුගත වීම වැළකෙනු ඇත.

9.     කොවිඩ් අසාධනය නොවූ රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් පෙරසේම පවත්වා ගෙන යාම

අනෙකුත් රෝගීන්ගේ පැවැත්මද ඉතා තීරණාත්මක වේ. සියළු පද්ධතීන් කොවිඩ්-19 රෝගීන් අරාක්ෂා කර ගැනීමට වඩාත් අවධානය යොමුව ඇති අවස්ථාවක අනෙකුත් රෝග තත්ත්ව මෙන්ම කොවිඩ් නොවන රෝගීන් කෙරෙහිද අවදානය අඩු වෙනු ඇත. එමනිසා ප්‍රවේශයේදී රෝගීන් විශ්ලේෂණය කර කාණ්ඩ ගත කිරීමේ (Triage) ක්‍රමවේදයක් අනුගමනය කිරීමත්, තෘතියීක සේවා රෝහල් කොවිඩ් නොවන රෝගී සත්කාරය සඳහා වෙන් කිරීමත් සුදුසු වනු ඇත.
අවදානම් පුද්ගල කණ්ඩායම් වනුයේ ;

නිරතුරු ප්‍රතිකාර සහ ඖෂධ අවශ්‍ය දීර්ඝ කාලීන රෝගී පුද්ගලයින් උදා: ඩයලිසිස් ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන්, පිළිකා රෝගීන් සහ දුර්ලභ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්, නිරතුරු පූර්ව ප්‍රසව සේවා අවශ්‍ය ගර්භනී කාන්තාවන් , වැඩිහිටියන් ,  නිවසින් බැහැරව යා නොහැකි පුද්ගලයින් ,  විවිධ සත්කාරක ආයතන වල නේවාසික පුද්ගලයින්, 

10.      ප්‍රජා දැනුවත් කිරීම උදෙසා තවදුරටත් අවශ්‍ය මාධ්‍ය සම්බන්ධතාවය

කොවිඩ් වසංගතය සහ එයින් මිදීමට වගකීමෙන් යුතු පුරවැසියන් ලෙස ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳ අව්‍යාජ සහ නිවැරදි දත්ත පදනම්වූ පණිවුඩ තවදුරටත් මාධ්‍ය මගින් ලබා දීම වැදගත් වේ. දැනටමත් ඉතා ඵලදායක ප්‍රචාරණ වැඩසටහනක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දියත් කර තිබේ. තවදුරටත් මෙම වසංගතය පිලිබඳ වැදගත් කරුණු ප්‍රචාරය සඳහා කැපවුණු මාධ්‍ය වේලාවන් ලබා දීම ඉතා වැදගත් වේ.

11.    විද්‍යුත් දත්ත ගබඩාවක් සැකසීම (e-repository)
 
සියලු රටවලින්  කොවිඩ්-19 පිලිබඳව සම්පාදනය වන තොරතුරු සහ විද්‍යාත්මක සාක්ෂ්‍ය ඇතුලත් විද්‍යුත් දත්ත ගබඩාවක් සැකසීම
 
අනාගත අභියෝග !

වසංගත ප්‍රතිචාරය නිරතුරුව වෙනස්වන ක්‍රියාවලියකි. එමනිසා පාලන ක්‍රමෝපායයන්ද වසංගතයට අදාලව වෙනස්වීම අවශ්‍යවේ.

මහජනතාවට මෙහි යතාර්ථය සහ සත්‍ය කරුණු දැනගැනීමට අයිතියක් ඇත. මෙයට අදාලව අප රටට විශේෂිතව සියලු වෑයම් නිශ්චිත හේතූන් මත සහ අරමුණු පදනම් වෙමින් රජය මගින් ක්‍රියාවට නැංවෙන බව මහජනතාවට හැඟෙන විට ඔවුන්ගේ  විශ්වාසය මෙන්ම උපරිම සහයෝගය රජයට ලබාගත හැකි වනු ඇත. කෙසේ වෙතත් රජය මෙන්ම මහජනතාවද අභියෝගයන්හි විශාලත්වය පිලිබඳ කරුණු හොඳින් සිතා බලා අප රටේ තත්ත්වයට අනුව අවධානම මැන බැලීමත් ඒවාට අදාලව අවශ්‍ය මැදිහත්වීම ආරම්භ කිරීමත් ඉතා වැදගත්ය.

මෙම ගෝලීය වසංගත තත්ත්වයේදී අප දැනට මුහුණ දෙන සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍ය යාන්ත්‍රණ පද්ධතියේ ශක්තිමත්භාවය පෙන්නුම් කරන අතරම එහි සාර්ථකත්වයේ ඵල නෙලීමක්ද වේ.  දැනට දිවයින පුරා ප්‍රචලිත බිම් මට්ටමේ ප්‍රජා සෞඛ්‍ය සේවක බල ඇණිය අවශ්‍ය අදාළ ප්‍රජා මැදිහත්වීමක් සඳහා සුදානම්ය. එමෙන්ම එය ප්‍රායෝගික කර්තව්‍යයක් වන අතරම, වසංගත වක්‍රය පැතලි කිරීමට උදව් වන ඉතාම හොඳ ප්‍රවේශයකි.

එමෙන්ම ඉතිහාසයේ ඔප්පු වී ඇති පරිදි අප අතිශයෝක්තියෙන් යුතු භියකින්  සහ අස්ථානගත වූ ප්‍රවනතාවයන්හිද වැඩි අවධානමක සිටිය හැකි බව ද අමතක නොකළ යුතුය. ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල වසංගත පැතිරීම පිලිබඳ දත්ත දුලභ බව අප වටහා ගත යුතුය. නිවර්තන කලාපීය රටක් වන අප හට මෙම වසංගතයේ හැසිරීම බලපාන අයුරු සෞම්‍ය කලාපීය රටවලට වඩා වෙනස් විය හැකි බව වසර අනූ පහක ශක්තිමත් ප්‍රජා සෞඛ්‍ය පද්ධතියේ අත්දැකීම් මගින් කිව හැකිය. එමනිසා පුරෝකථනය කර ඇති සමහර මැදිහත් වීම්  අපගේ දේශීය තත්ත්වයන්ට එලෙසෙම ගැලපෙන්නේ ද නැති විය හැකිය.

මෙම දශකයේ අප විසින් මුහුණ දෙන දරුණුම ව්‍යසනය වන කොරෝනා වසංගතයට එරෙහිව සටන් කල හැකිවන්නේ රජය, ජනතා නායකයින්, අනෙකුත් පාර්ශවකරුවන් සහ මහජනතාව සාමූහික ප්‍රයත්නයන් දැරීමෙන් පමණක් බව අපගේ අදහස වේ.

සාම්ප්‍රදායික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවේශයන් තුලින් ලඟා කරගත නොහැකිවූ බොහෝ සෞඛ්‍යමත් චර්යාවන් වෙත සියලු ජනයා හට ධනාත්මක තල්ලුවක් මෙම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රට තුල ඇතිවීම අප සංගමයේ සතුටටද කරුණකි.

කෝවිඩ්-19 වසංගතය මත ගොඩනැගුනු අපගේ දීර්ඝ කාලීන බලාපොරොත්තුව වන්නේ 'සෞඛ්‍යමත් ශ්‍රී ලංකාවක්' ය.
 
 ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය  
 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found