මා මනෝහාරී හේවාවසම් ගේ පුරප්පට්ටුවේ පළමු අර්ධයට කැමති නැත. එහෙත් මම කියවමි. මා නවකතාවේ මුල් කොටස කියවන්නේ නොරිස්සුම් සහගත හැඟීමෙනි.
‘කුමාරි’ ගේ මෙලෝ රහක් නැත. මේ වෙලාවේ මේ පොත කියවන්නට ගත කරන කාලය අපරාදේ ය. පොත් ප්‍රදර්ශනයේ දී ගත් පොත් රාශීය මා දෙස බලා සිටින්නේ නෝක්කාඩු බැල්මෙනි. එහෙත් මම කියවමි.
වඩාත් දුබල මම ද, කුමාරි ද...?
කුමාරි ඇගේ බේබදු සැමියාගෙන් අනේක කරදර විඳිමින් දරුවෙකු ද ලබයි. ඇය සැමියා සමග සිටින්නේ ඔහු ඇගේ පවුලේ මුදල් සපයන්නා නිසා ය. මා වසර ගණනක් මගේ සැමියා සමග අනේක විධ මානසික ගැහැට විඳිමින් සිටියේ ඔහුගේ මව , පියා හා සොයුරියන් ආදරයෙන් මගේ දරුවන් බලාගත් නිසා ය. (වඩා දුබල වන්නේ ආර්ථික ශක්තියක් හෝ හොඳ අධ්‍යාපනයක් නොලැබූ කුමාරි ද? යමක් කර කියා ගත හැකි සාමාන්‍ය ආර්ථික හා සමාජ තත්ත්වයක් තිබූ මා ද ?)

මා ගැහැනු ළමයකු ලෙස දැනුම් තේරුම් ඇති වයසේ පටන් ම සිතා සිටියේ මට ආදායම් මාර්ගයක් නොමැති ව විවාහයකට ඇතුළත් නොවන බව ය. මා එහි වැදගත්කම දුටුවේ අවුරුදු අටේ දී ය. අප්පච්චි මිය ගිය විට අම්මා අප තිදෙනා හදාවඩා ගත්තේ මතු නොව සමාජයට හා නෑදෑ වරිගයට හිස කෙළින් තබාගෙන මුහුණ දුන්නේ සිය රැකියාව නිසා ය.
පිටුවෙන් පිටුව වැඩෙන නොරිස්සුම
ඔත්පළ වූ කුමාරි ගේ පියා ගේ ආධාරයට පැමිණෙන විමලසිරි නතරවන්නේ කුමාරිගේ සැමියා ලෙස ඇගේ මාපියන් ගේ නිවසෙහි බින්න බැසීමෙනි. එතෙක් හොඳ තරුණයකු ලෙස සිටින ඔහු විවාහයත් සමග බේබද්දෙකු බවට පත් වෙයි. මේ මොන විකාරයක් ද? මිනිසකු එක්වර ම මිතුරන්ගේ පෙළැඹවීමෙන් බේබද්දෙකු වනවාද? ඇගේ ඔත්පළ පියා මිය යයි. දැන් ගෙදර කුමාරි අම්මා සහ විමලසිරි පමණි. පවුලේ නඩත්තුව සපයන්නේ විමලසිරි ය. ඒ නිසා ඔහුගේ ක්‍රියා සියල්ල ඉවසිය යුතු ය . “Financial situation is number one.” වැඩිහිටි තරුණියක වන කුමාරි හා ඇගේ මව ඔහුගේ වැටුප ගැන කට ඇරගෙන බලා සිටිනවා විනා මුල් කාලයේ ආර්ථිකය යහපත් කර ගැනීම සඳහා කිසිවක් කරන්නේ නැත. පියා කළ වෙදකම ගැන වත් මේ කාන්තාවන් දෙදෙනා දන්නේ නැත. මගේ නොරිස්සුම පිටුවෙන් පිටුව වැඩෙයි.
ම'සිත කතුවරිය සමග අමනාපයෙන්
කුමාරි සිය දරුවා මව වෙත තබා කොළඹ යන්නි ය. ගම්වල බොහෝ දෙනා නගරය වෙතින් සිය ආර්ථික මෙන්ම සමාජයීය ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ඛේදවාචකය නැවත නැවත ප්‍රතිනිර්මාණය වෙයි. මෙහි කොටස්කරුවන් සාක්ෂිකරුවන් සහ උදාහරණ වන නගරයට සංක්‍රමණය වූ ජනතාව බොහෝ විට මෙය පිළිගන්නේ නැත. ලංකාවේ ගම කෙතරම් සම්පත් ආකරයක් ද? ගම සුරලොවක් කළ හැකි බවට දැනුම ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් අප සතු නොවේ. අපට තවමත් ඇත්තේ සුද්දාගේ අධ්‍යාපන ක්‍රමයයි. අප කන්නේ බොන්නේ ද සුද්දාගේ ක්‍රමයට යි. අප සිතන්නේ , කියවන්නේ ලියන්නේ මෙන් ම විචාර කරන්නේ සුද්දාගේ සපත්තුවලට අපේ කකුල ඔබාගෙන ය. එවිට අපට ගමේ සම්පත් පෙනෙන්නේ නැත. නගරය සුර ලොවක් ද? කිසිසේත් නැත. කුමාරි නගරයට පැමිණ බඩු ඔසවාගෙන යන රැකියාවක් කරයි. අනතුරු ව ගැහැනියකට වඩා ම ලෙහෙසි හා වඩාත් ම අමාරු රැකියාව ලෙස හැඳින්විය හැකි ලිංගික ශ්‍රමිකයකුගේ රැකියාව තෝරා ගනී.

දැන් දැන් ම'සිතට සතුටු ය
ඒ අතර ‘ප්‍රභාත්’ හමුවෙයි. රොමෑන්තික ගඟේ ගිලී නාන්නට කෑදර මගේ සිත කිති කැවෙයි. ඔහු ඉතා ඉක්මනින් අතුරුදන් වෙයි. මගේ සිත කතුවරිය සමඟ අමනාප වෙයි. ඊළඟට පද්මසිරි පැමිණෙයි. මගේ සැඟවුණු රොමෑන්තික් සිත ඔහුගේ චරිතයේ එල්ලෙන්නට කැමති ය. අන්තිමේ කුමාරි ගමට එයි. දැන් මගේ සිත සතුටු ය.
“නාගරීකරණය’ තුළ අපේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ඇතැ යි මගේ සිත කිසි විට පිළිගන්නේ නැත. මා නගරයේ ඉපදී නගරයේ හැදී වැඩී අගනුවර ප්‍රධාන පෙළේ පාසල්වලට ගොස් ලංකාවේ නොම්මර එකේ විශ්වවිද්‍යාලයේ ජීවිතය දියකර හැරීම මගේ ප්‍රධාන නුසුදුසුකම ලෙස සළකා මට චරිත සහතික ලැබෙන්නේ අද ඊයේ පටන් නොවේ. නගරයේ පවතින “පහසුකම්” දිව්‍ය ලෝකයේ අංග ලෙස හඳුන්වන්නේ නගරයේ උපන් අප නොවේ.
නිදහස සැඟවී ඇත්තේ කොතැන ද...?
මිනිස් මනස විවිධාකාර ය. ඇත්ත ය. එකිනෙකාගේ චිත්ත ශක්තිය අඩු වැඩි, වශයෙන් ඇත. ‘බුද්ධාගම’ යනු ‘බුද්ධ ධර්මය’ නොවේ. එහෙත් තවමත් ඉතිරි වී ඇතැ යි මා විශ්වාස කරන අපේ මිනිසුන්ගේ ‘චිත්ත ශක්තිය’ හා ‘ධෛර්යය’ ගැන මම විශ්වාස කරන්නට කැමැත්තෙමි. එය ගමට මෙන් ම නගරයට ද පොදු ය. ලංකාවේ ගැමියා, ඇතැමුන් කියන තරම් දුර්වල යැයි මා විශ්වාස කරන්නේ නැත. මා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයක ජීවිතය දිය කර හැරියාට මගේ කාමරයෙන් එහා කිසිවක් දන්නේ නැතැ යි සිතන, පසුගිය කාලයේ මට මුහුණු පොතෙන් චරිත සහතික දෙන්නට හැදූ අයට අනුකම්පා කරමි. ගැමි කාන්තාවන් මිනිසුන්ගේ ඇගේ එල්ලී ඔවුන්ගේ රූකඩ ලෙස හැසිරෙනවා ය කියා ඇත්තට ම ඔවුන් වීශ්වාස කරනවා ද?

එහෙත් “පුරප්පට්ටුව” ‘ මනෝහාරී හේවාවසම් ගේ’ නවකතාව යි. ‘කුමාරි’ එහි ප්‍රධාන චරිතය යි. අවසානයේ ඇයට සිය විසඳුම හමුවන්නේ ඇය නිරූපණය කරන ඇගේ ගමෙනි.ඒ අවසානයට මා කැමති ය. මා සිතන්නේ අපේ ප්‍රශ්නවලට පිළිතුරු ඇත්තේ අප අවට ම ය, අප තුළ ම ය කියා ය. නිදහස සැඟවී ඇත්තේ අපේ මනසේ ය. අපේ සිතුවිලිවල ය. ආකල්පවල ය. අප නිදහස් විය යුත්තේ අපෙන් ම ය.
කුමාරි ගං පත්ලේ ගිලෙයි. ඇයට තමා හමුවන්නේ එහි දී ය. කුමාරිත් සමග, ගඟේ පිහිනන්නට තබා ගඟේ මුහුණ ඔබන්නටත් බැරි මම ගං පත්ලේ කිමිදෙමි. මට “පුරප්පට්ටුව” කතුවරිය හමුවන්නේ ගං පත්ලේ දී ය. මට මා හමුවන්නේ “පුරප්පට්ටුවේ” ගං පත්ලේ දී ය.
(සුජිවා නිරංජනී රත්නායක)
sujeewaratnayake.lk
උපුටා ගත්තේ Sujeewa Niranjaniee Ratnayake ගේ Face book පිටුවෙන්

