Image

මාලිමාවට ජනතාව ඡන්දය දුන්නෙ හිටපු හොරු අල්ලලා මාලිමාවෙ අයට හොරකම් කරන්න ද...? - රාජිත සේනාරත්න

මාලිමාවට ජනතාව ඡන්දය දුන්නෙ හිටපු හොරු අල්ලලා මාලිමාවෙ අයට හොරකම් කරන්න ද...? - රාජිත සේනාරත්න

මාලිමාවට මේ ජනවරම ලැබුණේ, හිටපු අය ගේ හොරකම්, මිනීමැරුම් අල්ලා තමන්ට හොරකම් කරන්නට, තමන්ට මිනීමරන්නට දැයි හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න...

 

ඉතිහාසයේ පළවෙනි වතාවට රතු සංඥාව දාපු කන්ටේනර් එළියට දැම්මා

''අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පසුගිය සිකුරාදා දවසේ විශේෂ ප්‍රකාශයක් කරා. මේ රටේ තියෙන නොයෙකුත් ප්‍රශ්න ගැන. ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් ම මේ මාධ්‍ය නිවේදනය එවලා තියෙනවා.

ඒකෙ තියෙනවා මුලින්ම  කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නෑ කියලා. බොහොම හොඳයි. අපරාධකරුවන් නිසි පරිදි නීතිය ඉදිරියට ගෙන එනවා කියලා. ඒකට කවුරුවත් විරුද්ධ නෑ. දූෂිතයින්ට සහ වංචනිකයින්ට දඬුවම් ලබාදීම පිළිබඳ පොදු ජන අපේක්ෂාවට වත්මන් ආණ්ඩුව පණ පොවනවා. බොහොම හොඳයි. ලැබුණු ජනවරමේ හරය අනුව මේ රාජ්‍ය ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් බවට පත් කරනවා. බොහොම හොඳයි.

දැන් අපි අහන්නේ මේ ජනවරම ලැබුණේ, හිටපු කට්ටියගේ හොරකම්, මිනීමැරුම් අල්ලලා තමන්ට හොරකම් කරන්න තමන්ට මිනීමරන්නද? මොකද ජනාධිපතිතුමා ජනවරමටනේ වැඩ කරන්නේ?

මොකද එහෙම හිතන්න වෙලා තියෙන්නේ, දැන් කන්ටේනර් 323ක් ගියා. ඒක තුළ එළියට ආවා මත්ද්‍රව්‍ය පවා. ඒකෙ කන්ටේනර් දෙකක් මත්ද්‍රව්‍ය. ඒක කිව්වෙත් රජයෙන් ම යි. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට රතු සංඥාව දාපු කන්ටේනර් එළියට දැම්මා. කවදාවත් ලෝකයේ කොහේවත් වරායකවත් රතු සංඥා දාපු එකක් එළියට දාන්නේ නෑ. එතකොට මේක වංචාවක් නෙවෙයි ද? මේක ගැන මොකක්ද හොයලා බැලුවේ? දැන් මේක ගැන අල්ලස් කොමිසම හොයන් නැද්ද? මේකට සී.අයි.ඩී (CID) එක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?

 

යට ඇඳුමේ හිල් තිබුණ කෙනාට කෝටි ගාණක් වත්කම් ඇවිල්ලා

දෙවැනි එක, ගල්අඟුරු හොරකම. අද ලයිට් බිල වැඩිවෙලා තියෙනවා, ඉන්ධන මිල වැඩිවෙලා තියෙනවා. මේ දෙකටම හේතුව ගල්අඟුරු හොරකම. හොර්මුස් සමුද්‍ර සන්ධියේ ප්‍රශ්නය නෙවෙයි, මේ ඉන්ධන වැඩිවීමට හේතුව. මම  දැන් මාසෙකට කලින් පැහැදිලිව ප්‍රකාශ කරා, මම පෙන්වලා දුන්නා යුද්ධය මේකට සම්බන්ධයක් නෑ කියලා. මම දැක්කා ඊට පස්සේ ආචාර්ය ධනනාත් ප්‍රනාන්දු මහත්මයාත් කියලා තිබුණා, මේක හොර්මුස් සමුද්‍ර සන්ධියට සම්බන්ධ නෑ, වැරදි කළමනාකරණය නිසායි මේ අද ඇතිවෙලා තියෙන ආර්ථික තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ කියලා. මේ එකක් විතරයි, මේක හින්දා තව කොච්චර වැඩිපුර ඩීසල් අපිට අපේ ලංකාවට ගේන්න වුණාද? මේක නිසා ගල්අඟුරුවලින් ඇත්තටම මේකෙන් විදුලිය නිෂ්පාදනය වැඩි කරගන්නට කොච්චර වියදම් කරන්නට වුණාද? එතකොට මේක වංචාවක් නෙවෙයිද? මේවා වංචාවක් කියන්නේ බිලියන, හොඳේ? රුපියල් ලක්ෂයේ ඒවා ඔය දැන් ගෙනිහිල්ලා පරීක්ෂා කරනවා, ලක්ෂ දෙකේ තුනේ කේස් නෙවෙයි, මේවා බිලියන ගණන් ඒවා. එතකොට මේ දෙකම බිලියන. එතකොට අනිත් එක ඇමතිවරුන්ගේ, දැන් අවුරුදු එකහමාරක් යනකොට මේ තමන්ගේ යට ඇඳුමේ හිල් තිබ්බ ඇමතිවරයාට, බැනියම වැලේ දාන්නත් බැහැයි කිව්වා මොකද ඒ බැනියමේ හිල් තියෙන හින්දා, ඒක හින්දා ඒක හංගලා මං හිතන්නේ කුස්සියේ වෙන්න ඇති එල්ලන්න ඇත්තේ. එතකොට එයාගේ අද තියෙනවා කෝටි ගාණක් වත්කම් ඇවිල්ලා? එතකොට බැනියමක් ගන්න බැරි, අන්ඩවෙයාර් එකක් ගන්න බැරි ඇමතිවරයෙක්ට, ඒවාත් අනුන්ගෙන් ඉල්ලන් ඉල්ලන් අඳින ඇමතිවරුන්ට කොහොමද මේ සල්ලි හම්බවුණේ?

 

දුව ගෙ නමටත් ඉඩම් අරගෙන

අනිත් එක තව ඇමති ඇමතිවරයෙක් ගෙවල් දෙකක් හදනවා, එක ගෙයක් තුන්මහල්. නිකන් ඒවා නෙවෙයි සුඛෝභෝගී, එයාර් කන්ඩිෂන් දාලා මේ ගෙවල් හදනවා. දැන් මේ සල්ලි කොහෙන්ද හම්බවුණේ? එතුමා ම කලින් කිව්වා එයාට එයාගේ නෝනාගේ පඩිය විතරයි තියෙන්නේ, එයා ඔය කොහේ හරි ගියාම ගෙනැල්ලා කෙසෙල් කැනක් දානවා, මොනවා හරි ඔය කීයක් හරි හම්බවුණොත් නෝනාට දෙනවා, නෝනා නං කිව්වා බොහොම අමාරුයි කියලා, අපි දන්නවා ඔය අමාරුකමේ එතුමා හිටියා, මම පුද්ගලිකව දන්නවා ඒක. නමුත් එයාට කොහොමද මෙච්චර ගෙවල් හදන්න සල්ලි හම්බවුණේ? ඉඩම් ගන්න සල්ලි හම්බවුණේ? ගෙවල් විතරක් නෙවෙයිනේ, ඒ දෙපැත්තේ තියෙන ඉඩමුත් අරගෙන තියෙනවානේ තමන් ගේ දුව ගේ නමට. එතකොට මේවා වංචා නෙවෙයිද? මේ ඔක්කොම කෝටිපතියන් ද?

 

ක්‍රිප්ටොකරන්සි ලංකාවෙ තහනම්; නමුත් වත්කම් ප්‍රකාශනයේ තියෙනවා

එතකොට තව ඇමතිවරයෙක්ට ක්‍රිප්ටොකරන්සි තියෙනවා කියනවා. අපේ නන්දලාල් වීරසිංහ මහත්මයා දෙන්නෙම නෑ ක්‍රිප්ටොකරන්සිවලට ඉඩ ලංකාවේ, මොකද මේක නීති විරෝධීයි. එතකොට නීති විරෝධී වුණාට කැබිනට් ඇමතිවරයෙක් ගේ වත්කම් ප්‍රකාශනයේ තියෙනවානේ එයාට ක්‍රිප්ටොකරන්සි තියෙනවායි කියලා. ඒ කියන්නේ ක්‍රිප්ටොකරන්සි කියන්නේ රුපියලුත් ඉවර කරලා, ඩොලරුත් ඉවර කරලා, ලංකාවේ කිසිම මිනිහෙකුට ක්‍රිප්ටොකරන්සි අරගෙන ලංකාවේ දාන්න බෑ, හොරෙන් පිටරටක දැම්මොත් මිසක්. එතකොට ඒ තමන් ගේ වත්කම් ප්‍රකාශනයේ ම තියෙනවා ක්‍රිප්ටොකරන්සිත් තියෙනවා කියලා. ඉතින් ඒවා වත්කම්, ඒවා දූෂණ නෙවෙයිද?

 

ආණ්ඩුවේ සහකරුවෝ ඉඩම් හොරෙන් ලියාගෙන

එතකොට තව ඇමතිවරු දෙන්නෙක්, තව සභාපති කෙනෙක් එක්කහු වෙලා, ඈ? ඉඩම්වලට හොර ඔප්පු හදලා, මේවා කරලා ගිහිල්ලා ඒක තමන් ගේ නමට ලියාගෙන, ජාතික රාජ්‍ය දේපළක්, ජාතික දේපළක් ඒක තමන්ගේ නමට ලියාගෙන, ඒ කරන නඩු විභාගය කරලා තමන්ට එයාව හිරවෙන්න හදනකොට මහේස්ත්‍රාත්වරයාව ට්‍රාන්ස්ෆර් කරනවා, අලුත් එක්කෙනෙක් ගෙනත් දැන් ඒකට මොනවාද වෙනවා. ඒ දූෂණ හොයන්නේ නැද්ද? ඒවා ඉක්මන් කරන්නේ නැද්ද? ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කතා කරනකොට පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න ඇමති මණ්ඩලය බලන්න මුල් පේළියේ, ඒ සියලු ම ඇමති මණ්ඩලයම කෝටිපතියෝනේ? එතකොට අවුරුදු එකහමාරකින් කොහොමද මේ කෝටිපතියෝ වුණේ එකපාරටම මේ?  අනුන්ගෙන් කාපු, අනුන්ගෙන් ඇඳපු, ඈ අනුන්ගේ බෙල්ට් එක ඇඳපු, අනුන්ගේ කලිසම ඇඳපු, අනුන්ගේ ෂර්ට් එක. කොණ්ඩේ කපාගන්න ඒකත් කොණ්ඩේ කපලා සත ගාණක් දෙනවලු, දොස්තර ගාවට ගියාම දොස්තර එයාව බලලා ඊට පස්සේ බෙහෙතුත් දීලා ආපහු යනකොට අතටත් ගාණක් දෙනවලු. ඉතින් මෙහෙම හිඟාකාපු මිනිස්සු එකපාරට මෙහෙම කෝටිපතියෝ වුණේ කොහොමද? ඒක මේ ජනවරමේ කොටසක් නෙවෙයිද? කියලා මම අහනවා.

 

මම: එදත්, අදත්, හෙටත් ත්‍රස්තවාදී පනතට විරුද්ධයි

එතකොට දෙවැනි එක කියනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ අහෝසි කරනවා කියලා. මේ විදිහට තමයි කිව්වේ ජනාධිපති ක්‍රමයත්. දැන් ආවේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, දැන් ඒකේ රස වැටිලා ඒක අහෝසි කරන්නේ නෑ, දැන් මං හිතන්නේ හිතාගෙන ඉන්නවා එයාගේ ජනාධිපතිකම නැතිවෙන කාලේ කිට්ටු කරලා අනුන්ට හම්බවෙන එක නැති කරන්න. දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධ වුණ කට්ටිය අද සලේ ව ගෙනල්ලා තියන්නෙත් ත්‍රස්තවාදී පනත යටතේ. දැන් කී දෙනෙක්ව ඔය පනත යටතේ ගෙනල්ලා තිබුණාද ? මම නම් ත්‍රස්තවාද විරෝධී පනත ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ගේනාපු දවසේ ඉඳලා විරුද්ධයි, එදත් විරුද්ධයි අදත් විරුද්ධයි හෙටත් විරුද්ධයි. ඒ නිසා අපේ යහපාලන ආණ්ඩුවේ දී ඇතිවෙනකන් අපි කිව්වා මේක කරන්න කියලා, ඒ වෙලාවේ ජනාධිපතිතුමා ගෙනාවා පනතක්, ඒ පනතේ තිබුණ හුඟක් මර්ධන නීති අඩු කරලා ගෙනාවා. ඒකත් නෙවෙයි මම කියන්නේ ත්‍රස්ත විරෝධී පනතක් දැන් ඕනේ නෑ, මොකද ත්‍රස්තවාදයක් නෑ උතුරේ හෝ දකුණේ. එහෙම එකක් ආවොත් අපි ආපහු ඒ පනත සම්මත කරගමු, මොකටද දැන් තියාගෙන ඉන්නේ? දැන් මේ විරුද්ධ පාක්ෂිකයින්ට මොකක් හරි කරන්නද ඕක තියාගෙන ඉන්නේ, මොකද ඕකේ නීතියක් නෑනේ, නීතියක් නැති හින්දා ඕන වෙලාවක අත්අඩංගුවට අරගෙන තියාගෙන ඉන්න පුළුවන් අවුරුදු එකහමාරක් වුණත්.

 

මාලිමාව ආ දා සිට තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ ගෙනාපු සංචිතය විතරයි

මේ තුන්වැනි එක, එතුමා කියනවා අද රට දිගුකාලීන ස්ථාවර ගමනකට පය තබා තිබෙනවා කියලා.  මං හිතන්නේ ඔය අද රට ගැන නෙවෙයි හිතන්නේ, ජනතා විමුක්ති පෙරමුණ සහ නායකයින් ස්ථාවර තැනකට පත්වෙලා තියෙනවා, ඒක ඇත්ත. පැලවත්ත ස්ථාවරයි, ආන් මේ එතකොට ඒගොල්ලෝ හිතනවා රටේ මිනිස්සුත් රටත් ස්ථාවරයි කියලා. මම අහනවා කොහොමද ස්ථාවර වෙන්නේ?  දිගුකාලීන ස්ථාවර ගමනක් තිබෙනවා නම්, ආර්ථික වර්ධනය රනිල් වික්‍රමසිංහ ආර්ථික වර්ධනය 5.3කට වර්ධනය කරලා ගෙනාපු ආර්ථික වර්ධනය අද 3%කට බහිනවා. එතකොට මේ ස්ථාවර ගමනක්ද තියෙන්නේ මේ? ස්ථාවර ගමන තිබුණා රනිල් වික්‍රමසිංහ කාලේ. එතකොට එතනින් පහළට දැන් ස්ථාවර ගමනක්ද ඇවිල්ලා තියෙන්නේ? එතකොට මේ ණය ගෙවන්න නම්, ආර්ථික වර්ධනය 5%ක් තියෙන්න ඕනේ. නැතුව ණය ගෙවන්න බෑ. එතකොට ඒක 3%ක් කරලා තියෙනවා. එතකොට විදේශ සංචිත බලන්නකෝ, විදේශ සංචිත මේ 2026 ඉවර වෙනකොට තියෙන්න ඕනේ ඩොලර් බිලියන 10කට වැඩි ප්‍රමාණයක්. පොරොන්දුව පරිදි එන අවුරුද්දේ 12යි, 28දී 14යි, අන්න එතකොට ඒකෙන් හතක් ගෙවනවා ණය. එහෙමයි ණය ගෙවන්න පුළුවන්. නැතුව අතේ හයක් තියාගෙන හතක් ගෙවන්න බෑනේ. දැන් ආපු දවසේ ඉඳලම තියෙන්නේ අර රනිල් වික්‍රමසිංහ ගෙනාපු සංචිතය තමයි, ඕකේ මිලියන සීයෙන් දෙසීයෙක් එහාට මෙහාට වෙනවා එච්චරයි. එතකොට කොහොමද ස්ථාවරයි කියන්නේ?

 

5%කට වඩි ඉහළ නොයනවා කියපු උද්ධමනය දැන් 7%යි

71%ක් තිබුණ උද්ධමනය සෘණ දශම පහකට රනිල් වික්‍රමසිංහ අඩු කරලා තමයි මෙයාට බාරදුන්නේ. තව ටික දවසක් යනකොට 7%ක් වෙනවා, දැනටම 5%කට ඇවිල්ලා, දැන් මහ බැංකු අධිපතිවරයා මාස එකහමාරකට විතර ඉස්සෙල්ලා ඇවිල්ලා ප්‍රසිද්ධියේ මේ ටීවී සාකච්ඡාවේ දී කිව්වා, ඔය කවුරුවත් කලබල වෙන්න එපා එක එක්කෙනා ආණ්ඩුවට විරුද්ධව මේවා කරයි, ඒකට කලබල වෙන්න එපා කියලා. මේ උද්ධමනය කවදාවත් 5%කින් ඉහළ යන්නේ නෑ කියලා. කියපු මනුස්සයාම දැන් සති දෙකකට තුනකට ඉස්සෙල්ලා ඇවිල්ලා කියනවා උද්ධමනය 7%කට යනවා කියලා. ඔන්න මහ බැංකු අධිපතිතුමාගේ අර්ථකථනය. හරි, එහෙමනම් කොහොමද මේ රට ස්ථාවරයි කියලා කියන්නේ? අනිත් එක මේකේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන කියනවා, මත්ද්‍රව්‍ය ජාවාරම ඇත්තටම මේ ජනාධිපතිතුමා නෙවෙයි, අපේ යහපාලන ආණ්ඩුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ මේක කරේ. අපි ඇල්ලුවේ කිලෝග්‍රෑම් නෙවෙයි, අපි ඇල්ලුවේ කන්ටේනර්. කන්ටේනර් විස්සකට වඩා අපි ඇල්ලුවා වරායෙන්, ඊට පස්සේ ඔරුගොඩවත්තට ගෙනල්ලා ප්‍රසිද්ධියේ ගිනි තිබ්බා කන්දක් ගහලා. කුඩු කන්දක්! කිලෝ නෙවෙයි, ඒකේ තිබුණේ ටොන්වලින්. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්න කාලේත් මේක දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් විදිහට කරා. එතන ආපු මේවට සම්බන්ධ වෙච්ච පාතාල නායකයෝ ලංකාවට ගෙනල්ලා ඒගොල්ලන්ව මැරුවායි කියන විශාල ඝෝරියකුත් වුණා මේ රටේ. ඒගොල්ලෝ මෙහාට ගෙනාවට පස්සේ මැරුවායි කියලා. ඒක හින්දා මේක දැන් ජනතාවට පෙන්නන්න එපා තමන් මේවා කරනවා කියලා, ත්‍රස්තවාදය පනතත් මේවා කරනවා, මේ බොහොම සුන්දර ආණ්ඩුවක් තියෙන්නේ. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමත් දැන් නැති කරනවා කියලා. මේ මත්ද්‍රව්‍ය විරෝධී සටන දිගටම ගෙනිච්චා යහපාලන රජයේ සිට ඉදිරියට ගෙනාවා. දැන් ඔබතුමාත් ගෙනියන්න, ඒක හොඳයි අපි කියන්නේ නෑ නරකයි කියලා. නමුත් මතක තියාගන්න මිනිස්සුන්ට මතක නම් මීට වඩා විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ඒ රජයන් වලින් ඇල්ලුවා.

 

ඩොලර් බිලියනයක් ගියා නම් කොහොමද ගියේ කියල අපිට පෙන්නන්න

දූෂණය දිගු කාලයක් අපේ මැතිවරණ වේදිකාවේ සාකච්ඡාවට බඳුන් වුණා, 2023 සිට මේ වන විට ටී.ටී. (TT) මගින් ගෙවීම් කරා ඇඩ්වාන්ස් පේමන්ට් (Advance payment) කරලා තිබෙනවා ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක්. දැන් මම අහනවා මේ ඩොලර් බිලියනයක් නිකන් කිව්වට වැඩක් නෑ, මේ වගේ ඇවිල්ලා කතා පැවැත්තුවට වැඩක් නෑ. මේ ටී.ටී. කරලා ඩොලර් බිලියනය ගියේ ආණ්ඩුවෙන්ද? නැත්නම් පුද්ගලික අංශයෙන්ද? පුද්ගලික අංශයෙන් ගියා නම් කොහොමද ගියේ? එතකොට මහ බැංකුව මොකද කරේ? මෙච්චර ගමනක් යන්න එළියට යනකොට මහ බැංකුවට මේක නිරීක්ෂණය කරේ නැද්ද? මේ අවුරුදු ගාණක්. එතකොට දැන් ඒ නිසා අපිට කියන්න බොරුවට නිකන් කතා පවත්වලා ඩොලර් බිලියනයක් එළියට ගියා කියලා, අපිට ඉදිරිපත් කරන්න ඒකට තියෙන සාක්ෂි මොනවාද කියලා. බොරුවට කතා කරන්නේ නැතුව සාක්ෂි මොනවාද කියලා අපිට ඉදිරිපත් කරන්න, රටට ඉදිරිපත් කරන්න මෙන්න අපිට ලැබිලා තියෙන සාක්ෂි. මොකද තව මාස දෙක තුනක් මේක ගියාට පස්සේ මේක මතක නෑ මිනිස්සුන්ට. එතකොට තවත් මේ වගේම කතාවක් නිර්මාණය කරලා ගේනවා, ගෙනල්ලා ඒක දෙනවා දුන්නහම මිනිස්සු ඒකත් මාසයක් හමාරක් ඒක කතා කරලා යනවා, ඒක අමතකයි. ඊට පස්සේ තව එකක් එනවා, මේ කතා වැඩක් නෑ අපිට ඕනේ ක්‍රියා. මොකද තමුන්නාසේලා ඉන්නේ දැන් විපක්ෂය නෙවෙයි ආණ්ඩු පක්ෂයේ. දැන් ජනාධිපතිකම අතේ තියෙනවා. කරන වැඩ කියන්න, කරපු වැඩක් මොනවා හරි තියෙනවා නම් කියන්න, එහෙම නැතුව ඉතිහාසයේ තිබුණ ඒවාට මම මේවා කරන්න හදනවා අරක කරන්න හදනවා ඒවා වැඩක් නෑ. හර්ෂ ද සිල්වා මැතිතුමා අපේ මේ මේ මූල්‍ය කාරක සභාවේ සභාපතිතුමා පැහැදිලිවම දැන් කියලා තියෙනවා මේ ප්‍රකාශය ගැන එන සුමානයේ කැඳවනවා මහ බැංකුව. මහ බැංකුව අධිපතිවරයා ඇතුළු මහ බැංකුව කැඳවනවා, කැඳවලා ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනවා මේ මොකක්ද මේ කතාව කියලා? මේක ඇත්තක්ද නැත්තක්ද? හරි, මේක එහෙම ඩොලර් බිලියනයක් ගියා නම් අපිට පෙන්නන්න මේ කොහොමද ගියේ? මෙන්න මේකයි මේ කතාවේ ඇත්ත නැත්ත කියන එක.

 

කතාවෙන් නම් ගමන වේගවත්

අනිත් එක තියෙන්නේ ඝාතන සහ පහරදීම් ගැන කියනවා, කතා කරලා තියෙනවා. බොහොම හොඳයි. මේ රාජපක්ෂ සමයේ සිදුවුණු ඝාතන පහරදීම් ගැන, මේවා ගැන පරීක්ෂණ අපේ රජය කාලේ ආරම්භ කරා. ඒ අපිත් එක්ක මේ පරීක්ෂණ වලට සම්බන්ධ වුණ දෙන්නෙක් තමයි දැන් ඉන්නේ ශානි අබේසේකර, රවී සෙනෙවිරත්න මැතිතුමා. ඒගොල්ලෝ දන්නවා ඒකේ තිබුණ ප්‍රගතිය මොකක්ද කියලා. එතකොට ඒක දැන් කියනවා. නමුත් මේ කිව්වට මේකේ එකක්වත් නෑනේ, දැන් එතුමා ඇවිල්ලා නං කියනවා ලසන්තව ඝාතනය කිරීම ගැන, කෝ අද වෙනතුරු මොකක්ද කරලා තියෙන පරීක්ෂණ? මොකක්ද ප්‍රගතිය? කෝ කාවද අල්ලලා තියෙන්නේ ලසන්ත වෙනුවෙන්, කවුද අත්අඩංගුවට අරගෙන තියෙන්නේ? එක්කෝ අලුතෙන් හොයාගෙන තියෙන කරුණු මොනවාද කියලා කියන්න, කරපු පරීක්ෂණ මොකක්ද කියන්න. එක්නැලිගොඩ අතුරුදහන් වුණා ඝාතනය කරා, එතකොට එක්නැලිගොඩ ගැන මොකක්ද තියෙන තත්ත්වය? එතකොට කීත් නොයාර්ට පහර දුන්නායි කියනවා. හරි, පහර දුන්න එකට පහර දුන්න කට්ටිය හොයන්න මොකක්ද දැන් මේ ආණ්ඩුව කරලා තියෙන්නේ අවුරුදු දැන් දෙකකට කිට්ටුයිනේ? එන සැප්තැම්බර් වෙනකොට අවුරුදු දෙකයි. හරිද? එතකොට උපාලි තෙන්නකෝන්ට ගැහුවා, ඔව්. අපේ ආණ්ඩුවත් හොයලා හොයලා එක තැනකට ආවාම ආණ්ඩුව වැටුණා. දැන් හොයපු ඒවා කියන්නකෝ, දැන් අවුරුදු දෙකක් තියෙනවානේ, මේ අපේ ආණ්ඩුව එකක්වත් ආණ්ඩුවක් කරපු නැති විදියේ මහා සීඝ්‍ර, ඉතාමත්ම පිරිසිදුව, ඉතාමත්ම වේගවත්ව යන ගමනක්නේ මේ කියන්නේ කතාවෙන්?

 

ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් ජාතක කතා කියනවා

එතකොට තාජුඩීන් ගැන කියනවා, අපිත් බලාගෙන ඉමු තාජුඩීන්ගේ මිනීමරුවන් අල්ලන්න. එතකොට කෝ තාජුඩීන්ගේ පරීක්ෂණ මොනවාද වෙලා තියෙන්නේ? මේ ඇවිල්ලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා පවත්වලා පරණ කතා, ජාතක කතාවක් වගේ ඒවා කියලා වැඩක් නෑ, මේවාට අවශ්‍ය ක්‍රියාමාර්ගයි. ඔබතුමා දැන් ජනාධිපති. ජනාධිපතිවරු කතා කරන්නේ ඕවා නෙවෙයි කරන වැඩ, කරපු වැඩ. දැන් කතා කරන කාලේ නෙවෙයි දැන් තියෙන්නේ මේවාට ක්‍රියා කරන කාලේ. දැන් අටවැනි එක, තව එකක් කියනවා අපේ සමහර දේශපාලන කඳවුරුවල ප්‍රශ්නයක් තියෙනවා, ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය නිදහස් ලෙස කටයුතු කරලා පුරුදු නෑ. මේකට හිනාවෙන්නමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට පුරුදු නෑ ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරලා, ඒගොල්ලොන්ට තමයි ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරලා පුරුදු. බුදු අම්මේ මේ 71ත් මිනීමරලා, 89ත් මිනීමරලා, හොඳේ 6661 දෙනෙක්ව ඝාතනය කරලා. එදා මගේ නායකයා විජය කුමාරතුංගවත් ඔළුවට වෙඩි වරුසාවක් තියලා මරා ඝාතනය කරලා, ඈ? මේ රටේ 6661ක් ඒ කිව්වාහම දරුවෝ කී දෙනෙකුට තාත්තලා නැති කරාද? කාන්තාවෝ කී දෙනෙක්ව වැන්දඹුවෝ කරාද? මේ වගේ මේ ඝාතනය කරලා ඇවිල්ලා අපිට කියනවා ඒ කියන්නේ මං හිතන්නේ එහෙනම් ඒගොල්ලෝ හිතනවා ඇත්තේ ඒක ප්‍රජාතන්ත්‍රවාදය, මේ අපි කරන දේ ත්‍රස්තවාදය. ඒක වෙන්න ඇති.

 

චීන කොමියුනිස්ට් පක්ෂයක් ලංකාවේ හදනවලු

එතකොට හැරල්ඩ් ලැස්කිගෙන් අහන්න ඕනේ අලුතෙන් එහෙම කවුරුහරි එහෙම පොතක් ලිව්වා ද කියලා අලුතෙන් ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තු ක්‍රමය ගැන, මේව කරලා. අදත් කතා කරන්නේ තමන්ගේ පක්ෂේ කට්ටිය මේ චීන කොමියුනිස්ට් පක්ෂයක් ලංකාවේ හදන හැටි. අදත් කතා කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය මේ කතා කරනවා මෙතන ඇවිල්ලා. ඔය වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ, ඒකයි අපිට මේකෙන් අවබෝධ කරන්න තියෙන්නේ. එතකොට මේවා මේ  කරන ලොකුම විහිළුව තමයි, අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදියෝ. අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඒ රජයන් ක්‍රියා කරපු හින්දා තමයි ඔය ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ අද ඉන්නේ ඔතන. එදා බණ්ඩාරනායක මැතිනිය වගේ ගෙනාවා නම් අපරාධ විශේෂ කොමිෂන් සභාවක්, ගෙනැල්ලා විජේවීරගේ ඇතුළු ඔක්කොම ඇතුළට දැම්මා නම්, ඒ ඇතුළට දැම්ම කට්ටියවත් නිදහස් කරේ කවුද? යූ.එන්.පී (UNP) ආණ්ඩුවේ, ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ගේ ආණ්ඩුවෙන් නිදහස් කරේ එදත්. එතකොට ඔයගොල්ලෝ මේ අද විරුද්ධ පක්ෂයට කරන මේ තියෙන වෛරය, ක්‍රෝධය එදා ජේ.ආර්.ට තිබුණා නම්, එදා ඔයගොල්ලන්ගේ නායකයින්ව එළියට දාන්නේ නැහැ. ඒ වෛරය සහ ක්‍රෝධය පසුගිය 1989න් පස්සේ අගමැති වුණ රනිල් වික්‍රමසිංහට තිබුණා නම්, ජනාධිපති විජේතුංගට තිබුණා නම්, ඔයගොල්ලෝ ඇත්තේත් නැහැ, ඔයගොල්ලොත් ආපහු කූඩුවෙනවා, ඔයගොල්ලොත් හිරේ යනවා. ඔයගොල්ලන්ට විරුද්ධව කිසිම එකක් නැහැනේ. එතකොට ඔයගොල්ලන්ට 94 වෙනකොට ඔයගොල්ලන්ට ඉඩ දුන්නා පාර්ලිමේන්තුවටත් එන්න. හොඳේ, ඔයගොල්ලන්ගේ පාර්ලිමේන්තුවටත් ආවා.‍ ඊට පස්සේ ඔයගොල්ලෝ එක්ක සාකච්ඡාත් කරා ආණ්ඩුව. ඊට පස්සේ ඔයගොල්ලෝ එක්ක ඡන්දත් කරා, ඒකත් කියන්න ඕනේ.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න