Image

මීගමුව බන්ධනාගාරයේ ගැටුම: ක්ෂණික සිදුවීමක් ද, සැලසුම්සහගත ක්‍රියාවක් ද...?

 මීගමුව බන්ධනාගාරයේ ගැටුම: ක්ෂණික සිදුවීමක් ද, සැලසුම්සහගත ක්‍රියාවක් ද...?

මීගමුව බන්ධනාගාරය තුළ මෑතක දී ඇති වූ ගැටුම යනු හුදෙක් සිරකරුවන් පිරිසක් අතර ඇති වූ සාමාන්‍ය රණ්ඩුවක් නොවන අතර එය රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ක‍්‍රියාත්මක වූ සංවිධානාත්මක කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බව සනාථ වන කරුණු මේ වන විට නිරික්ෂණය වෙමින් පවතී.

දැනට මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ කමිටුවක් මඟින් විමර්ශන පවත්වන අතර එහි සැබෑ තත්ත්වය මෙසේ ය.

 

'සෙරෙප්පු ජේලර් කසුන් ලක්ෂිත' යනු කවුද...?

පසුගිය 5වන දා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ ය. ‍සුරේෂ් නැමැති රැඳවියා ඇතුළු පිරිසක් සහ ‍හේනතිලක කණ්ඩායම අතර මෙම ගැටුම ඇති වූයේ කුඩු ජාවාරම් සම්බන්ධ සිදුවීමක් මුල් කරගනිමිනි. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වී එදිනම මෙම ගැටුම සමථයකට පත් කිරීමට කටයුතු කළේය. නමුත් ජුලි 6වන දා රැඳවියන් සහ නිලධාරීන් කෙටවීමක් සිදුව ඇතැයි නිරික්ෂණය වේ. පසුදින එනම් ජුලි 6වනදා උදෑසන රැඳවියන් ආහාර ගැනීම සඳහා පෝලිම් ගැසී සිටි අවස්ථාවේ දී සැලසුම්සහගතව ගැටුම නැවත අවුළුවාලීමට කටයුතු කර ඇත. එහි දී බන්ධනාගාරයේ සේවය කරන ‍කසුන් ලක්ෂිත නැමැති ජේලර්වරයා පැමිණ ආහාර බෙදමින් සිටි රැඳවියෙකුට කිසිදු හේතුවක් නොමැතිව අමානුෂික ලෙස පහර දී ඇත. පෙරදින ඇති වූ ගැටුමේ ඉතිරි කොටසක් ලෙස සිතා අනෙකුත් රැඳවියන් ද මෙයින් කුපිත වී කෑගසමින් වට වීමට පටන් ගෙන ඇත. රැඳවියන් කලබල වනවාත් සමගම පහර දුන් ජේලර් කසුන් වහාම බන්ධනාගාරයේ ලෑලි දොරෙන් පැන ගොස් ඔහුගේ බිරිඳ සහ දරුවන් ද රැගෙන කොළඹ බලා පිටත්ව ගොස් ඇත.

මෙකී ජේලර් කසුන් ලක්ෂිත යනු කවුදැයි අවධානය යොමු කිරිමේ දී මෙම කසුන් ලක්ෂිත නැමැත්තා 2016 වසරේදී නාමල් රාජපක්ෂ රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටි සමයේ ඔහුගේ සියලූ‍ ‍ආවතේව කටයුතු කළ ඔහුට සෙරෙප්පු පවා ළඟට ගෙනත් දුන් සමීපතම බන්ධනාගාර නියාමකවරයා වේ. එම පක්ෂපාතී සේවය වෙනුවෙන් පසුව ඔහුව ජේලර්වරයකු ලෙස උසස් කර ඇත. රැඳවියන් කුපිත කරවා මෙම ගැටුම රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ගැටුමක් බවට පරිවර්තනය කිරීමේ දේශපාලන වගකීම ඔහු සතු බවට මේ වන විට පෙනී ගොස් ඇත.

 

'තට්ට මහේෂ්' හෙවත් මහේෂ් ලංකාතිලක

ගැටුම උත්සන්න වෙමින් පවතින විට බන්ධනාගාර පොලිසිය භාරව සිටි ‍තට්ට මහේෂ් හෙවත් මහේෂ් ලංකාතිලක නැමැති ජේලර්වරයා නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග එතැනට පැමිණ ඇත. මෙකී මහේෂ් නැමැති නිලධාරියා තරු දෙකේ නිලධාරියෙකි. එහි සිටි වෙනත් ජේලර්වරයකු ‍මේ වගේ මෝඩ වැඩ කරන්න එපා මුන්ට කවුද දැන් සපෝට් කරන්නේ යැයි පවසමින් ඔහුව වැළැක්වීමට උත්සාහ කළ ද මහේෂ් ලංකාතිලක එය නොතකා තම කණ්ඩායම දකුණු සහ වම් පැතිවලට බෙදා රැඳවියන් මර්දනය කිරීමට යවා ඇත. 

රැඳවියන් ගෙන් දැඩි ප‍්‍රහාර එල්ල වන විට මෙම නියෝගය දුන් මහේෂ් නැමැති නිලධාරියා තමන් ඇඳ සිටි නිල් පැහැති ටී-ෂර්ට් එක ගලවා දමා සුදු පැහැති ටී-ෂර්ට් එකක් ඇඳගෙන ගසක් යටට වී දුරකථන ඇමතුම් ලබා දෙමින් සිට ඇති බව වාර්තා වේ. මෙකී ‍තට්ට මහේෂ් නැමැති නිලධාරියා ඇතුළු පිරිසක් ඩුබායි හි සැඟව සිටින ‍සුරේෂ් ලවුඩා නැමැති පාතාල ජාවාරම්කරු ගේ සල්ලිවලින් යැපෙන අයෙකි. 

බන්ධනාගාරය තුළ සිටින ඇතැම් නිලධාරීන් මෙන්ම රැඳවියන් ද මෙලෙස බාහිර අපරාධකරුවන් ගේ මුදල් මත යැපෙමින් මෙවැනි කලබල ඇති කිරීමට දායක වේ.

 

මිස්ටර් නොහඳුනන 'මිස්ටර් ජේලර්'

බන්ධනාගාර ගත වන රැඳවියන්ට මිනිසුන් ලෙස නොසලකන තත්ත්වයක් වර්තමානයේ පවතී. උදාහරණයක් ලෙස විදේශ රටක සිට පැමිණි පුද්ගලයකු රථවාහන නඩුවකට ඇප ලබා ගැනීමට නොහැකිව දින තුනක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටිය දී ඔහු බන්ධනාගාරය තුල දී ජේලර්වරයෙකුට ‍මිස්ටර් ජේලර් ලෙස ඇමතූ සැණින් ඔහුට කම්මුල් පාරක් එල්ල කිරිමේ සිද්ධියක් අපට වාර්තා විය. ‍

මිස්ටර් කියන්නේ ‍මහත්තයා කියන එකවත් නොදන්නා නිලධාරීන් එහි සිටින බව මෙමගින් පෙනී යන අතර මෙම සමස්ත සිදුවීමේ වැරැද්ද රැඳවියන් පිට හෝ නිලධාරීන් පිට පමණක් සම්පූර්ණයෙන් පැටවිය නොහැකි බව සඳහන් කළ යුතු ය.

මෙය බැලූ බැල්මට සාමාන්‍ය ගැටුමක් සේ පෙනුන ද මෙය රාජ්‍යය තුළ පවතින අදෘශ්‍යමාන දුෂිත බලවේගවල මහා පිපිරීමක කොටසකි. පොලිසිය විසින් මිනිසුන්ට බොරු නඩු දැමීම අතින් කුඩු දමා හිරගෙවල් පිරවීම බන්ධනාගාර තදබදයට ප‍්‍රධාන හේතුවක් වී තිබේ. පොලිස්පතිවරයා සතුටු කිරීම සඳහා ‍මෙන්න මෙච්චර කුඩු ඇල්ලූ‍වා කියා පට්ටපල් බොරු රිපෝට් සෑදීමෙන් රටේ කුඩු ජාවාරම නැවැත්විය නොහැකි බව අවධාරණය කළ යුතු ය.

 

පද්ධතියේ සිටින දුෂිත ප‍්‍රධාන පුරුක් වහාම සුද්ධ නොකළහොත්...

2024 සැප්තැම්බර් 21 වනදා ජනතාව විසින් අනුර කුමාර දිසානායක ජනාධිපති කළේ දුෂිත ක‍්‍රමය නැවැත්වීමට සහ හොරා කෑ දේ රටට ලබා ගැනීමට සහ දුෂිතයන් කළ මිනීමැරුම් හෙළි කිරීමට ය. දැනට එම වගකීම ඉහළින්ම ඉටු කරමින් සිටින නිලධාරීන් තිදෙනෙකු සිටිති. ඔවුන් තිදෙනා වන්ණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන අය යි.

මෙම නිලධාරීන් තිදෙනා ගේ නොපසුබට උත්සාහය සහ සාක්ෂි සම්පිණ්ඩනය කරමින් උසාවියේ දී ඉටු කරන අපක්ෂපාතී මෙහෙවර නිසා වත්මන් රජයට හොරුන් කොටු කර ගැනීමට හැකි වී තිබේ. 2015 දී මෛත‍්‍රීපාල සිරිසේන බලයට පත් වූ අවස්ථාවේ දී ද මෙවැනිම තත්ත්වයක් තිබූ නමුත් තීන්දු තීරණ ගැනීමට ප‍්‍රමාද කිරීම නිසාත් කාලයට ඉඩ දී බලා සිටීම නිසාත් අවසානයේ මුළු ආණ්ඩුව ම අසාර්ථක විය. වත්මන් ජනාධිපතිවරයාද ‍තව අවුරුද්දක් ඉවසන්න මුන් වෙනස් වෙයි කියා සිතමින් සිටියහොත් සිදුවන්නේ විනාශයකි. පද්ධතියේ සිටින දුෂිත ප‍්‍රධාන පුරුක් වහාම සුද්ධ නොකළහොත් මුන් රජයේ බෙල්ල මිරිකන තෙක් බලා සිටින අතර එබැවින් දැඩි තීන්දු තීරණ වහාම ගත යුතුව ඇත.

 

රැඳවියන්ගේ සුභසාධනය ඉතා පහත් මට්ටමක

එබැවින් රාජ්‍ය පද්ධතියේ සහ ආරක්ෂක අංශවල සිටින දුෂිත හෝ කුමන්ත‍්‍රණකාරී පිරිස් වහාම ඉවත් කර පද්ධතිය පිරිසිදු නොකළහොත් වත්මන් රජයට ඉදිරියට යාමට නොහැකි වනු ඇත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා තමන්ට හිතකර දක්ෂ නිලධාරීන් යොදාගත් ආකාරය සලකා බලා ලංකාවේ ජනාධිපතිවරයා ද සිය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට තමන්ට අවශ්‍ය සුදුසු නිලධාරීන් සෑම තැනකට ම පත් කරගත යුතු ය. තව ද බන්ධනාගාර තුළ සිටින රැඳවියන්ගේ සුභසාධනය ඉතා පහත් මට්ටමක පවතින අතර රැඳවියන් ගේ ආහාර එනම් හාල්, මාළු, මස් ඇතුළු දේවල පවා ඉහළ නිලධාරීන්ගේ සිට පහළට මහා පරිමාණ දුෂණ සිදුවන බව නිරික්ෂණය වී තිබේ.

තව ද පොලිස් දෙපාර්තමේන්තුව තුළ ද දැඩි අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර නිලධාරීන්ට දරාගත නොහැකි ලෙස රාජකාරී පැවරීම නිසා ඔවුන් දැඩි මානසික ආතතියකට ලක්ව සේවය අතහැර යන තත්ත්වයකට ද පත්ව ඇති බව පෙනේ. මෙම ආතතිය අවසානයේ මුදා හැරෙන්නේ මහජනතාව වෙත බැවින් එය භයානක තත්ත්වයක් බව කිව යුතුය. තව ද රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවල සිටින ඇතැම් පිරිස් තවමත් පැරණි දේශපාලන කණ්ඩායම් එනම් රාජපක්ෂවරුන් නැවත බලයට එනතුරු බලා සිටිමින් වත්මන් රජය අපහසුතාවයට පත් කිරීමට ක‍්‍රියා කරමින් සිටින බව පෙනී යන නිසා වත්මන් රජය මේවා ගැන කඩිනම් අවධානය යොමු කළ යුතුව ඇත.

මූලාශ්‍ර - Cyber News LK

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න