වර්ෂ 1974 මැයි මස 15 වනදා වේදිකා ගත කළ සුබ සහ යස වේදිකා නාට්‍යය, සයිමන් නවගත්තේගම නිර්මාණවේදියා ගේ / සාහිත්‍යකරුවා ගේ විශිෂ්ට වේදිකා නාට්‍යයකි.

මංගල දර්ශන වාරයේ සිට මේ දක්වා දශක පහකට අධික කාලයක් ගතව ඇතත් අප රටේ සමාජ, දේශපාලන, සංස්කෘතික පැතිකඩ පිළිබඳ ඉතා පුළුල් හා ගැඹුරු දෘෂ්ටියක් මතුවන පරිදි මේ වේදිකා නාට්‍ය නිර්මාණය කර තිබෙන බැවින් තත්කාලීන සමාජයේ නාට්‍යලෝලියෙකුට / රසවතෙකුට වුවත් ‘සුබ සහ යස’ වේදිකා නාට්‍යය එහි පළමු ජවනිකාවේ සිට අවසාන ජවනිකාව තෙක් සිය රසවින්දනයට බාධාවක් නොවන පරිදි නරඹා රසවිඳිය හැකිය.
නිර්මාණයෙහි යාවත්කාලීන ගුණය

දශක කීපයක් පැරණි සහ යල් පැන ගිය නාට්‍යයක් නරඹන හැඟීම ප්‍රේක්ෂකයාට මෙහිදී නොදැනීම නාට්‍යයේ පවතින විශේෂ ගුණාංගයකි. එයට මූලික හා ප්‍රධානත ම හේතුව වන්නේ මෙම නාට්‍යයේ ඇති යාවත්කාලීන ගුණය යි. එකල අප රට තුළ පැවති රාජාණ්ඩු ක්‍රමයේ සහ මෙකල අප රට තුළ පවතින පාලන ක්‍රමයේ ස්වභාවයන් සන්සන්දනාත්මකව මෙන් ම විමර්ශනාත්මකව ද ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීමේ හැකියාව නාට්‍ය පුරා ම දැක ගන්නට ලැබෙන බව මාගේ හැගීමයි. මෙ දවස සේ ම එ දවස ද ලංකා රාජ්‍ය තන්ත්‍රය හා එහි පාලනය තුළ පැවති අඩුලුහුඬුකම්, දුර්වලකම්, අනුවණකම් සහ වගකීම් විරහිතව ක්‍රියා කිරීම්වල ස්වභාවයන්හි අංශුමාත්‍රයක් ප්‍රේක්ෂකයා වෙත සමීප කරවන්නටත් ඒ ඔස්සේ කිසියම් ප්‍රබල පණිවිඩයක් සමාජගත කරන්නටත් නාට්‍යකරුවා ගෙන ඇති උත්සාහය අගය කළ යුතු ය.
සුබ සහ යස නිර්මාණය කළේ ඇයි...?
නවගත්තේගම විසින් වේදිකා නාට්‍ය කීපයක් ම නිර්මාණය කර ඇති අතර ‘සුබ සහ යස’ ඔහු ගේ විශිෂ්ටතම සහ ජනප්‍රිය ම වේදිකා නාට්‍යය බව බොහෝ නාට්‍යකරුවෝ මෙන් ම විචාරකයෝ ද හඳුන්වති.

ඉතිහාස කතාවක් පාදක කර ගෙන ‘සුබ සහ යස’ නාට්‍ය තුළින් එකී ඉතිහාස කතාව ප්‍රතිනිර්මාණය කර ඇත. නාට්‍යකරුවා ඉතිහාස කතාවක් ප්‍රතිනිර්මාණය කරන්නේ සහේතුකව ය. එයට බලපෑ මූලික කාරණය පිළිබඳව ද විමසා බැලීම වටී. ‘පුස්ලෝඩං’ සයිමන් නවගත්තේගම ගේ තවත් නාට්‍යයකි. එය වේදිකා ගත වූයේ සුබ සහ යස ට පෙරාතුව ය. දර්ශන වාර දොළහක් පමණ යන විට එකී ‘පුස්ලෝඩං’ වේදිකා නාට්‍යය එදා තහනමට ලක් වී ඇත. නාට්‍ය රචකයා එය (පුස්ලෝඩං) සමාජවාදී තේමාවකින් යුත් නාට්‍යයක් ලෙස හඳුන්වා දී තිබුණ ද ඇතැම් විචාරකයන් විසින් එය දේශපාලනමය වශයෙන් ප්‍රතිගාමී නාට්‍යයක් ලෙස හුවා දැක්වීම එකී වාරණයට මූලිකව ම හේතු විය. එම නාට්‍යය වේදිකාගත වූ කාලසීමාවේ මෙරට පැවති දේශපාලනමය ව්‍යුහය ද එම නාට්‍යයට පැනවූ තහනම කෙරෙහි ඍජුව ම බලපාන්නට ඇත.

අනාගතයේ දී තමා නිර්මාණය කරන තවත් නාට්‍යයකට මෙවැනි වාරණයක් නැවත අපේක්ෂා නොකළ බැවින්, ඉතිහාස කතාවක් පාදක කර ගනිමින් එකී කතාවේ ප්‍රතිනිර්මාණයක් ලෙස ‘සුබ සහ යස’ නිර්මාණය කළ බව නවගත්තේගම ම සඳහන් කරන්නේ ය. අනාගත වාරණයකට ලක්වීම කෙසේ වෙතත් ‘සුබ සහ යස’ නාට්‍යයේ පවතින්නේ ද ප්‍රබල දේශපාලන තේමාවකි.
1971 කැරැල්ලෙන් පසු මෙරට ඇතිවූ දේශපාලන පසුබිම නිරූපණය කෙරෙන නාට්‍යය හරහා ධනපති හා නිර්ධන පන්ති අතර පවතින සැබෑ පරතරයේ ස්වභාවය ප්‍රශ්න කෙරෙයි. අද වන විට පාලකයා ගේ බලය තහවුරු වන්නේ ජනතා පරමාධිපත්‍ය තුළින් වුවත්, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව නොසලකමින් සහ එයට අභියෝග කරමින් ඇතැම් විටෙක කැරැල්ලකින් නොඑසේනම් අරගලයකින් බලය තහවුරු කළ අවස්ථා අපි දැක ඇත්තෙමු. පැවති පාලන ක්‍රමය විවේචනය කරමින් හා එය හෙලා දකිමින් ක්‍රියා කළ ද අලුතෙන් බලයට පත්වන්නාත් ක්‍රියා කරන්නේ පෙර පැවති ක්‍රමයට ම නම් එය ඛේදවාචකයකි. මේ තත්ත්වය ද සුබ සහ යස හරහා නිරූපණය කිරීමට නාට්‍යකරුවා උත්සාහ කරයි. විශේෂයෙන් ම අරගලයකින් හෝ කැරැල්ලකින් හෝ බලයට පත් වන සාමාන්‍ය මිනිසාට අපේක්ෂිත බලය ලැබුණු පසු ඇතිවන මනෝභාවයන්ගේ වෙනස මෙන් ම එම බලය හරහා ම මිනිසා වෙනස් වන ආකාරය ද නාට්‍යයේ දෙබස් හා ජවනිකා හරහා පිළිඹිබු කරයි.
මූලික අරමුණු දෙකක්
1974 මැයි මස 15 වන දින ‘සුබ සහ යස’ මුල් වරට වේදිකා ගත කිරීමෙන් පසුව බෙදා හරින ලද මංගල සමරුවේ, මෙම නාට්‍යය ප්‍රදර්ශනය කිරීමේ මූලික අරමුණු දෙකක් දක්වා ඇත. ඉන් පළමු වැන්න, ‘විප්ලවීය අවස්ථාවකින් තොරව විප්ලවයක් නොවන්නේ ය. සෑම විප්ලවීය අවස්ථාවක් ම විප්ලවයකින් කෙළවර වන්නේ ය.’ යන සිද්ධාන්තයේ නිරවද්‍යතාව විමසා බැලීමයි. ‘ඓතිහාසික අවස්ථාවේ සීමා හා පුද්ගල නිශ්‍රිත හේතු නිසා අසාර්ථක වූ විප්ලව ව්‍යාපාරයක් කලා නිර්මාණයකින් කෙසේ නිරූපණය කළ හැකි ද?’ යන්න විමසීම එහි දෙවැනි අරමුණයි. (උපුටා ගැනීම - සුබ සහ යස නාට්‍ය පිටපත, පෙරවදන)
නාට්‍යය හරහා ප්‍රතිනිර්මාණය වූ ඉතිහාස කතාව සැකෙවින් දැක්වීම මාගේ මෙම සටහන කියවන්නකුට වටින්නේ යැයි හැඟෙයි.

ලක්දිව රාජාවලියට අනුව ‘යසලාලකතිස්ස’ යනු ක්‍රි.ව. පළමුවන සියවසේ මෙරට පාලනය කළ පළමු සිංහල රාජවංශයේ අවසාන පාලකයා ය. මහාවංශයේ සඳහන් පරිදි එවක මෙරට රාජ්‍යත්වය ඉසිලූ චන්ද්‍රමුඛසිව රජු, සිය බාල සොහොයුරා වන යසලාලකතිස්ස කුමරු අතින් ඝාතනයට ලක්වන්නේ ය. යසලාලකතිස්ස රාජ්‍යයත්වයට පත්වන්නේ ඉන් පසුවයි. මහාවංශයට අනුව යසලාලකතිස්ස ගේ දොරටුපාල වන දත්තට රජු හා සමාන රූපයක් හිමි ‘සුබ’ නමින් ප්‍රසිද්ධ පුතෙකු සිට ඇත. මත්ලෝලියෙකු මෙන් ම ස්ත්‍රී ලෝලියෙකු වූ යසලාලකතිස්ස ස්වභාවයෙන් ම විහිළුවට බර තැනැත්තෙකි. මහින්දාගමනයෙන් පසුව බුදුදහම මුල්කොට ගත් රාජ්‍යයක් මෙරට තුළ ස්ථාපිත වුව ද, බෞද්ධත්වය එතරම් නොතැකූ යසලාලකතිස්ස ඊට අනුගතව සිය පාලනය ගෙන නොගිය හෙයින්, බෞද්ධ චර්යාව පිළිපැදීමට තරම් සුදුසු නොවූ අමුතු මානසික තත්වයයකින් පෙළෙන අනුවණ තැනැත්තෙකු ලෙස එදා අප පැරැන්නන් රජුව හඳුන්වන්නට ඇතැයි උපලක්පනය කළ හැකි ය. එසේ ම යසලාලකතිස්ස රාජ්‍ය සමය මෝරිය, ලම්බකර්ණ යනාදි විවිධ නායකයන් යටතේ කැරලි බහුල කාලයක් ද විය. රජ පදවිය විහිළුවක් සේ සැලකූ යසලාලකතිස්ස, සිය රූපයට සමාන රුවක් හිමි ‘සුබ’ නම් තරුණයාව රාජ ශ්‍රී විභූශිතව සිංහාසනාරූඪ කොට, පසුව තමා දොරටුපාලක වෙස් ගෙන එම තනතුර දරාඇත්තේ කවටකම් පිණිස ය.

රාජ වෙස් ගත් සුබට සිය අමාත්‍යවරුන් වඳිමින් ගෞරව කරනු දැක එකී ක්‍රියාව අවඥාවට ලක් කරමින් සිනාසුණු හෙයින් සුබ උදහසට පත්වූවේය. රතුමා ගේ දුර්වලකමින් උපරිම ප්‍රයෝජන ගන්නා සුබ පසුව අණ කරන්නේ යසලාලකතිස්ස ගේ ගෙල සිඳලීමට යි. සිය රජ පදවිය විහිළුවක් කොට සලකා කවටකමට ගොස් ගෙල සිඳ ගනු ලැබූ යසලාලකතිස්ස කතා පුවත ප්‍රතිනිර්මාණය කරමින් නාට්‍යකරුවා ‘සුබ සහ යස’ වේදිකා නාට්‍යය රචනා කර ඇත.
සුබ ගමන් කරන මාවත

නාට්‍යයට අනුව සුබ යනු ප්‍රත්‍යංක ජනපදයක සිය බිරිඳ සමග ජීවත් වන නිර්ධන පන්තියේ තරුණයෙකි. ඔහුට ඇත්තේ යසලාලක ගේ රූපයට සමාන රූපයකි. එයට හේතුව ද ඔහු වරක් රජු මුණගැසුණු අවස්ථාවක පවසන අතර සුබ ගේ පියා අතීතයේ රාජ සේවකයෙකු ලෙස රජ මාලිගයේ සේවය කර ඇති බව හෙළිවේ.
තත්ත්වය එසේ වෙද්දී, පාලකයා විසින් සිය රටවැසියා පීඩාවට පත් කරවමින්, තව දුරටත් ඔවුන් මත බදු බර පටවමින් ක්‍රියා කිරීම හේතුවෙන් පීඩිත පන්තිය වඩ වඩාත් තැළෙයි. එනිසා ම සුබ, ඔහු වැනිම තවත් පීඩිතයින් සමග එක්ව රජුට විරුද්ධව සටනක් / අරගලයක් දියත් කරයි. මේ අතර කුලමාන්නය කරපින්නා ගත් ලම්බකර්ණයෝ ද සුබ සමග එක්ව රජුට විරුද්ධව සටන් කිරීමට ඔවුන්ගේ කැමැත්ත පලකරති. එහෙත් ලම්බකර්ණයින් ගේ අරමුණ වන්නේ ඔවුන්ගේ පෙළපත ආරක්ෂා කර ගැනීම බවත්, එය සිය අරමුණ සමග නොපෑහෙන බවත් පවසන සුබ, පීඩිත රටවැසියා වෙනුවෙන් සිය සටන මෙහෙයවීමට ඉතා සූක්ෂම අන්දමට සැලසුම් සකස් කරයි. තම කණ්ඩායමට පිරිස එකතු කර ගැනීමට කටයුතු කරන සුබ ඔවුන් සමග එක්ව කැලෑ වැදී සැලසුම පිළිබඳව සාකච්ඡා කරයි. මෙම ජවනිකා හරහා පශ්චාත් කැරැල්ලෙහි (1971දී ඇති වූ) ස්වභාවය නිරූපණය කිරීමට නාට්‍යකරුවා උත්සාහ කරන බව පෙනී යයි. කැලෑ නීතියේ දී සෑම අයෙකු ම නායකයකු බව පවසන සුබ, යම් හෙයකින් තමා මරණයට පත් වුව ද සටන නොනවත්වා ඉදිරියට යා යුතු බව සපථ කරයි. ඔහු සිය සගයන් සමග එසේ පවසන්නේ තෙලිජ්ජ (රා) පානය කරමින් මත් වී සිටින මොහොතක ය. ඕනෑම දෙයක් කෙරෙහි මත්වී උමතුව සිටින තැනැත්තා ක්‍රියා කරන්නේ සිය අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමේ ඍජු අරමුණෙනි. හරි හෝ වේවා වැරදි හෝ වේවා සිය ඒකායන අරමුණට අභියෝගයක් වන ඕනෑම දෙයක් ක්ෂණයකින් නැති කර දැමීමට එම මත්භාවය ම එකී තැනැත්තාට අභිප්‍රේරණයක් සපයයි. සුබ ගමන් කරන්නේ ද එවැනි මාවතක ය.
සිනහව තුළින් ප්‍රේක්ෂක විඥානය සියුම් ව අවධි කිරීම

පුරා පැය දෙකකට ආසන්න කාලයක් වේදිකාගත වන නාට්‍යයේ ජවනිකා ගණන අටකි. ඒ ඒ ජවනිකාවට උචිත පරිදි වේදිකාව මත පසුතලය සකස් කෙරෙන අතර අවස්ථානුරූපීව රංගෝපකරණ මැනවින් භාවිත කරනු දක්නට ලැබිණ. වේදිකා ආලෝකය සහ ශබ්ද පරිපාලනය ද ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන පරිදි උපයෝගී කරගෙන තිබුණි. නාට්‍යයේ ජීවමය ගුණය රඳවා ගනු පිණිස නාට්‍යකරුවා, චරිත ගොඩනංවා තිබෙන බව නාට්‍යය නරඹන විට පෙනී ගිය දෙයකි. ඒ ඒ චරිත වලට ආවේණික වූ හැසිරීම් රටා දැක ගන්නට ලැබුණු අතර ඒ හරහා එක් එක් චරිතවල චරිත ස්වභාවය ද ඔවුන්ගේ මනෝභාවයන් ද නළු නිළියන් ගේ අභින හරහා ප්‍රේක්ෂකයා ඉදිරියේ මනා ලෙස ප්‍රක්ෂේපණය කිරීමට නාට්‍යකරුවා දරන උත්සාහය ප්‍රශස්ත මට්ටමක තිබූ බව ද කිව යුතු ය.
කිසියම් ප්‍රහසනාත්මක ගතියක් නාට්‍යය පුරා ම දැක ගත හැකි වුවත්, සිනහව තුළින් ප්‍රේක්ෂක විඥානය සියුම් ව අවධි කිරීමට දෙබස් භාවිතා කර ඇතැයි හැඟුණි. එනම් ජීවිතාවබෝධය පිණිස යමක් සිතන්නට ‘සුබ සහ යස’ ප්‍රේක්ෂකයාට බලපෑම් කරන්නේ ය. ගැඹුරු දේශපාලන සත්‍යයන් ද, සමාජ හා සංස්කෘතික කාරණා ද මතු කරමින් දිවෙන වේදිකා නාට්‍යයේ ගැඹුරු ජීවන දෘෂ්ටියක් පවතින බව කිව යුතුය. ඒ ඒ ජවනිකාව සහ නාට්‍යයේ දෙබස් දෙස සියුම් ව බලන විට ‘සුබ සහ යස’ ප්‍රහසනාත්මක ස්වරූපයෙන් වේදිකාව මත රඟ දක්වනු ලැබුව ද, මතු දැක්වෙන අංශ ඔස්සේ ප්‍රේක්ෂක විඥානයට ආමන්ත්‍රණය කර ඇති බව පෙනී යන්නේ ය.
ප්‍රශස්ති ගායනා ද හිසරදයකි

ඕනෑම ජන සමාජයක පරම්පරාවෙන් පරම්පරාවට සාම්ප්‍රදායිකව පැවතෙන සිරිත් විරිත් දක්නට ලැබේ. ඒවා කිසියම් අර්ථසම්පන්න බවකින් ආරම්භ වුවත් ඒවායෙහි නියම අරුත නොදැන පෙර පරම්පරාවෙන් ලද උරුමයක් හෝ දායාදයක් හෝ නිසා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව තව දුරටත් ඒවා පවත්වාගෙන යෑමට විටෙක අපි කටයුතු කරන්නෙමු. එසේ ම එකී සම්ප්‍රදා රැක ගැනීමේ දැඩි අවශ්‍යතාවක් නොවූවත් අපි ඒවා බැහැර කිරීමට ද මැලි වන්නෙමු. යහපත් දිවිපැවැත්මක් උදෙසා නින්ද යන කාරණය අත්‍යවශ්‍ය ම අංගයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. එහෙත් මධුපානයට දැඩි ලෙස ලොල් වූ යසලාලකතිස්ස ගේ සුවදායී නින්ද උදෑසන ම ඇසෙන ප්‍රශස්ති ගායනා නිසා බිඳී යන්නේ ය. රජුට එය හිසරදයකි; පීඩාවකි. අතීතයේ සිට පැවතෙන සම්ප්‍රදායක් හේතුවෙන් සෑම උදෑසනකම පාහේ යසලාලකතිස්ස පීඩාවට පත්වෙයි.
රජු ගේ එකම සහ ප්‍රමුඛත ම අවශ්‍යතාව
නාට්‍යකරුවා මෙහීදී අංශ දෙකක් විමසනු ලබයි.
රජු යනු රටේ ප්‍රධානියා ය. ඔහු ජනතාව ගේ නායකයා ය. ස්ත්‍රී ලෝලියකු මෙන් ම මධුපානයට ද ලොල් වී සිටින නායකයෙකු ගෙන් රටට ඇති වන සෙත කුමක් ද යන්න පිබඳව ප්‍රේක්ෂක සිතෙහි පැනයක් මතු කිරීම එක් අංශයකි. නායකත්වයක් දැරීමට නම් අදාළ පුද්ගලයා ඒ සඳහා වන කුසලතා ප්‍රගුණ කර තිබිය යුතු ය. බුද්ධිමත් නායකයා ඉවසීමෙන් යුතුව කටයුතු කරයි; විචක්ෂණශීලීව ක්‍රියා කරයි; හැකියාව සහ නොහැකියාව පිළිබඳව යම් අවබෝධයකින් යුතු වෙයි; අන් මත සවන් දෙයි; වගකීම්සහගත නායකයාට පැහැදිලි අරමුණක් තිබේ. ඔහුගේ අනුගාමිකයන්ට ද මග පෙන්වයි. එහෙත් යසලාලකතිස්ස රජු කෙරෙන් ඉහත කී කිසිදු ගුණාංගයක් හෝ ලක්ෂණයක් පෙන්නුම් නොකෙරෙයි. නින්ද, මධුවිත සහ ස්ත්‍රී සැප රජු ගේ එකම සහ ප්‍රමුඛත ම අවශ්‍යතාව බව හුවාදක්වමින් යසලාලකතිස්ස දුර්වල නායකයකු ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියේ තැබීමට නාට්‍යකරුවා ක්‍රියා කරයි. මහාවංශයේ සඳහන් කතාවක් අනුව ප්‍රතිනිර්මාණය වූ මෙහි යාවත්කාලීන ගුණය පිළිඹිබු කෙරෙන අවස්ථාවක් ලෙස මේ කාරණය සැලකිය හැකිය. එනම් වර්තමානයට ද මෙය පොදු වූ සත්‍යයකි. නායකයා / පාලකයා සිය රටවැසියා කෙරෙහි සංවේදීව හා සහකම්පනයෙන් යුතුව බැලීමට නම් සිහිබුද්ධියෙන් යුතුව ක්‍රියා කළ යුතුය. නායකත්වයට නුසුදුසු දෑ බැහැර කළ යුතුය. නාට්‍යය හරහා මෙම පණිවිඩය ප්‍රේක්ෂකයාට ලබා දීමට නිර්මාණකරුවා උත්සාහ කර තිබෙන බව පැහැදිලිවම පෙනෙන දෙයකි.
පොතට අනුව රට කරමු ද...?
ප්‍රශස්ති ගායනය නිසා රජුගේ උදෑසන නින්ද බිඳී යන බව පැවසීමෙන් නාට්‍ය කරුවා ප්‍රේක්ෂක විඥානය වෙත තවත් අංශයකින් ආමන්ත්‍රණය කරයි. එනම් පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන සාම්ප්‍රදායික සිරිත් හේතු විරහිතව තව දුරටත් පවත්වාගෙන යෑමේ සැබෑ අවශ්‍යතාවය කුමක් ද? යන්න ප්‍රශ්න කිරීමයි. රජු තමා ගේ නින්දට පීඩා කරන එකී සම්ප්‍රදාය දෙස හෙලන්නේ අවඥාසහගත බැල්මකි. ඔහු වන්දිභට්ටයන්ට මෙසේ කියයි.
“මම රජවෙච්ච දා ඉඳල ඇහෙන්නෙ ඔච්චරයි. අපේ කිරිකිත්තලගෙ කාලෙත් කිව්වෙ ඔය සිංදුවම යි. අඩුගානෙ මුංට අලුත් කවියක් වත් හදාගෙන කියන්ට බැරිද?”
නැවත ප්‍රශස්තිය ඇසේ.
“මොකද යකෝ බෙරිහන් දෙන්නෙ? නවත්තපල්ලා උඹලගෙ ඔය හැකර සිංදුව” - (සුබ සහ යස පිටුව 10)
ගැයෙන ප්‍රශස්තිවල නියම අරුත රජු හෝ වන්දිභට්ටයෝ නොදනිති. මෙම ගායනා චිරාත් කාලයක් තිස්සේ පැවත එන්නාක් බැවින් දිනපතා උදෑසන තව දුරටත් රජ මාළිගාවේ ප්‍රශස්ති ගායනය සිදුවේ. රජුගේ මතය බැහැර කරමින් වන්දිභට්ටයකු පවසන්නේ මෙවැන්නකි.
“පස්වාන් දසසක් බුදුවන්ඩ දේවයන් වහන්ස.. අපි කරන්නේ හත්මුතු පරම්පරාවක් තිස්සේ අපට පැවරිලා තියෙන රාජකාරියක්. සූර්ය දිව්‍ය රාජයා ගේ පළමු වන රැස් මාලාවෙන් රාජ මාළිගාවේ චන්ද ප්‍රසාදය මුදුනේ මාණික්‍ය බැබළෙන්ට පටන් ගත්තාම අපට අපේ ස්තෝත්‍ර ගායනාව ආරම්භ කරන්නට කියලා ඉර්ෂි භාෂිතයේ හෙවත් පොතේ නියම කරලා තියනවා” - (සුබ සහ යස පිටුව 10)
එවිට රජ ප්‍රශ්න කරනුයේ, “තොපි වැඩ කරන්නේ මගේ අණ හැටියට ද පොතේ හැටියට ද?” - (සුබ සහ යස පිටුව 10) කියා ය.
අවංක චේතනාවෙන් දුර දක්නා නුවණක් සහිතව රට කරන නායකයකුගේ අණ පසෙකලා ක්‍රියා කිරීම සාමාන්‍යයෙන් සිදු නොවිය යුත්තකි. එසේම රාජ්‍ය පාලනය ප්‍රායෝගිකව කළ යුත්තකි. සම්ප්‍රදායන්ට ගරු කළ යුතු වුවත් පමණ ඉක්මවා පොතේ පවතින නීති රීති හා රෙගුලාසි වලට පමණක් යටත් ව රට කිරීම කෙතරම් ප්‍රායෝගිකදැයි නාට්‍යකරුවා මෙහි දී විමසයි. රජුගේ අකාර්යක්ෂම හා කවට පාලනය නිසා ඔහුගේ අණ පිළිපැදීමට වඩා පොතේ ඇති පරිදි රට පාලනය කිරීම එක අතකින් රටවැසියාගේ යහපතට හේතු වනු ඇතැයි යන්න රසිකයාට ඒත්තු ගැන්වීමට නිර්මාණකරුවා ක්‍රියා කොට ඇති ආකාරය ද ප්‍රශස්ථ ය. අඩුම තරමේ ඒ තුළින් රට වත් ඉතුරු වී තිබෙනු ඇත. මෙය තත්කාලීන සමාජයේ කුමන රාජ්‍යයකට වුවත් ගැළපෙන පොදු සත්‍යතාවයකි. එනිසා ම දශක පහකට එහා වේදිකා ගත වූ පැරණි නාට්‍යයක් දෙස බලන දෘෂ්ටියෙන් මිදී යාවත්කාලීන ගුණයෙන් යුතු නව නාට්‍යයක් නරඹන්නා සේ රසිකයාට ‘සුබ සහ යස’ නැරඹිය හැකි ය.
පෙහෙවස් සමාදම සහ ගැබ් ගැනීම
සාමාන්‍ය ජන විඥානයේ පවතින හා ස්වභාවිකරණයට ලක්ව ඇති මතවාද දෙස යථාර්ථවාදීව බැලීම ද, ප්‍රේමය සහ ආදරය සම්බන්ධයෙන් වන සම්මත මත ප්‍රශ්න කිරීම ද සුබ සහ යස නාට්‍යය තුළින් සිදු වෙයි. මිනිස් විඥානයේ කිඳාබැස තිබෙන ස්වභාවිකරණයට ලක්ව ඇති ඇතැම් මත සියයට සියයක් ම නිවැරදි ඒවා නොවන බව නාට්‍යකරුවා සිය නිර්මාණය ඔස්සේ විමසයි. කාලාන්තරයක් තිස්සේ ඒවා සමාජගත වී ඇත්තේ යථාර්ථය ද අභියෝගයට නංවමිනි. ස්ත්‍රියක ගැබ් ගැනීමට නම් විය යුත්තේ ඒ සඳහා සුදුසු දින වකවානු බලා පිරිමියෙකු සහ ගැහැණියක ලිංගිකව එකතු වීමය. පෙහෙවස් සමාදන් වීමෙන් හෝ යහපත් ජීවිතයක් ගතකිරීමෙන් හෝ පමණක් කාන්තාවක ගැබ්බර නොවෙයි. එසේ නොකරන්නෝ ද ලිංගිකව එකතුවීමෙන් ගැබ්ගනිති. රජුගේ අගමෙහෙසිය දරුවකු පිළිසිඳ ගැනීම සම්බන්ධයෙන් දක්වන්නේ එවැනි මතයකි. ඇය පින්වත් කුමාරයකු ප්‍රාර්ථනා කරන්නී මහාමායා සුද්ධෝදන දෙපළ කළාක් මෙන් පෙහෙවස් සමාදන්ව පවිත්‍ර වෘතයක සිට කටයුතු කළ යුතු බව මහරජට දන්වන්නී ය. ඒ සඳහා පෙහෙවස් සමාදන්ව සිහියෙන් යුතුව සිරියහන් ගබඩාවට පැමිණෙන ලෙසට ද රජුට ආයාචනා කරන්නී ය. එහෙත් යසලාලකතිස්ස ඇගේ බස් තඹයකට හෝ මායිම් නොකරමින් පිළිතුරු බඳින්නේ මෙසේ ය.
“හොඳයි හොඳයි අග බිසව හෙට ඉඳලා පෙහෙවස් අටසිල් සමාදන් වෙලා තමන් ගේ ගබඩාවේ වැඩ වාසය කරන්ට - කවුරුහරි දෙවියෙක් දෙව්ලොවින් චුත වෙලා වඩීවි” - (සුබ සහ යස පිටුව 13)
අනාගත පරපුරක ඉරණම
මත්ලෝලියෙකු ලෙස අසිහියෙන් හැසිරුණ ද, දරුගැබක් පිහිටුවීම සම්බන්ධයෙන් කාරණා කටයුතු මනාව දන්නා තැනැත්තෙකු ගේ ස්වභාවය රජු හරහා පිළිඹිබු කිරීමෙන් නිර්මාණකරුවා උත්සාහ කරන්නේ ස්වභාවීකරණයට ලක්ව ඇති අතාර්තික මත බැහැර කළ යුතු යැයි වන පණිවිඩය සමාජගත කිරීමට විය යුතු ය. එහි දී පෙහෙවස් සමාදන්වීම හෝ ධාර්මිකව ජීවත්වීම හෝ යහපත්ව ජීවිතය ගත කිරීම හෝ නාට්‍යකරුවා ප්‍රතික්ෂේප නොකරයි. ඵලයක් ලබා ගැනීම උදෙසා ක්‍රියා කළ යුත්තේ යථාර්ථවාදී ස්වරූපයෙන් පමණකැයි යන්න පමණක් නාට්‍ය තුළින් මතු කරයි. පින්වන්ත කුමාරයෙකු ලැබීමට මව්පියන් පෙහෙවස් සමාදන් විය යුතු ද? උපදින දරුවා යහපත් පුද්ගලයෙකු කිරීමේ පළමු වගකීම පැවරෙන්නේ දෙමාපියන්ට ය. ඔවුන් සිය මව්පිය භූමිකා මැනවින් ඉටු කරන්නේ නම් යහපත් ව වැඩෙන දරුවාගේ පෞරුෂය ද වර්ධනය වේ. යහපත් පවුල් පසුබිමත්, හැදී වැඩෙන සමාජ හා සංස්කෘතික පරිසරයත් දරුවාගේ සදාචාර සම්පන්න වර්ධනය උදෙසා හේතු නොවන්නේ ද? නාට්‍යයේ ඒ කුඩා ජවනිකාව තුළ ප්‍රේක්ෂකයාට හිතන්නට බොහෝ දෑ ඉතිරි කරයි. යසලාලකතිස්ස වැනි වගකීම් විරහිත, නින්ද ප්‍රියකරන, මතට ම ඇබ්බැහි වූ කෙනෙකු යටතේ පෝෂණය වන දරුවකු ගේ ඉරණම කවරාකාරයකින් විසඳේවි ද යන පැනය ද අප ඉදිරියේ මතුවෙයි.
සුබ, බැහැර කළ රාජ මතය
අන්තපුරයකට උරුමකම් කියමින් රාජාණ්ඩු පාලනයක් තිබූ අප රටේ අද ක්‍රියාත්මක වන්නේ ඒකභාර්යයා සංකල්පය යි. එය පවුල් සංස්ථාවක් රැක ගැනීමට, සමාජ සාධාරණත්වයට හා සදාචාරයට උපකාරී වන ප්‍රධාන සංකල්පයකි. ඇතැම් ආගමක බහුභාර්යයා සංකල්පය ක්‍රියාත්මක වුවත් බුදු දහම එය ප්‍රතික්ෂේප කරයි. සමාජය තුළ අඹුසැමි විශ්වාසය සහ පවුල් ඒකකයේ ස්ථාවරත්වය තහවුරු කෙරෙන මෙම සංකල්පයට අනුව සුබ ජීවත් වන්නේ ය. ඔහුගේ බිරිඳ නිර්මලා ය. නිර්මලා යන නාමය ඇයට දීම තුළින් ම සුබ සහ ඔහු ගේ බිරිඳ අතර පවතින නිර්මල සහ අචල ප්‍රේමය සංකේතවත් කෙරේ. අනපේක්ෂිත අයුරින් රජු ගේ දොරටුපාලක තනතුර හිමිවන සුබ එක වරයක් ප්‍රාර්ථනා කරන්නේ ය. සිය ප්‍රත්‍යංක ජනපදයට ගොස් ආදරණීය බිරිඳ හමුවී ඇය ද කැටුව ඒමට දින තුනක් ලබා දෙන ලෙස සුබ යසලාලකතිස්ස රජු ගෙන් ඉල්ලා සිටින්නේ ය. සුබ විවාහකයකු බවත්, ඔහුගේ පවුල් ජීවිතය ස්ථාවරව ගෙවෙන බවත් රජු දැන ගන්නේ මේ අවස්ථාවේ දී ය. ස්ත්‍රී ලෝලියෙකු වූ යසලාලකතිස්ස සුබගේ බස් ඇසීමෙන් පුදුම වන අතර රජු පවසන්නේ නා නා මාදිලියේ ස්ත්‍රීන් ගෙන් ගහන සිය පුරවරයේදී රිසි සේ කම්සැප විඳිය හැකි බවයි. එහෙත් සුබ රජු ගේ මතය එක හෙලාම බැහැර කරන්නේ මෙසේ ය.
“සමාවුව මැනව මහරජතුමනි, මා සරණ බන්ධනයට පත් බිරින්දෑ හැර වෙනත් කාන්තාවන් රුචි නොකරමි මහරජ”
“හුං.. බිරින්දෑ හැර වෙනත් කාන්තාවන් ප්‍රිය නොකරමි. තොප ගේ මහරජු නම් ඔහු ගේ බිරින්දෑ හැර අන් සියලුම කාන්තාවෝ ප්‍රිය කරන්නෝ ය. සියයකින් බුද්ධිමත් මිනිහෙකු වුවත් එකකින් හෝ මෝඩයි. හා කම් නැහැ - සිව්වන දිනයේ දී තොප වාසල නියමිත රාජකාරියෙහි නියුක්තව සිටිනු දකිනා කැමැත්තෙමි” – (සුබ සහ යස පිටුව 29)
අවංක, අචල හෝ නිර්මල ආදරය යනු තවක් එක් දෘෂ්ටිවාදයක් පමණක් ද...?

සුබ, සිය බිරිඳ කෙරෙහි වූ නිර්මල හා අචල ආදරයෙන් පසු වුව ද, නිර්මලා එසේ නොවන බව ඔහු යම් තැනකදී දැනගනියි. සිය බිරිඳ ළදරු තරුණියක ලෙස හැඳින්වූ සුබ මේ හේතුව නිසා දැඩි ලෙස කම්පාවට පත් වේ. යථාර්ථය දැනගත් පසු එතෙක් තමා දැරූ අන්ධ විශ්වාසය සුබ විසින් බැහැර කරනු ලබයි. ඒ වන විටත් ඔහු ප්‍රමාද ය. ඒක භාර්යයා, ඒක පුරුෂ සංකල්පය මත හිඳිමින් ඉතා සෞඛ්‍යසම්පන්නව පවුල් ජීවිත ගත කරන අය ඕනෑ තරම් මේ සමාජයේ වෙසෙති. එසේ නොවන්නන් ද නැතුවා ම නොවේ. සුබ දැරූ මතයට ඉඳුරාම වෙනස් මතයක් නිර්මලා ගේ මෙම හැසිරීමෙන් පෙන්නුම් කිරීම හරහා නාට්‍යකරුවා උත්සාහ කරන්නේ අවංක, අචල හෝ නිර්මල ආදරය යනු තවක් එක දෘෂ්ටිවාදයක් පමණක් බව ඒත්තු ගැන්වීමටය. ආදරය කරන දෙදෙනකු අතර පවතින විශ්වාසය දෙකඩ වීම මහත් කම්පනයක් ගෙන දෙන්නකි. නිර්මලා ගේ ගති ස්වභාවය සුබට අනුව වැරදි සහගත වුවත් පුරුෂයා ගේ කෝණයෙන් පමණක් ස්ත්‍රිය දෙස බලා ස්ත්‍රී චරිත ස්වභාවය ගැන නිගමනයකට ඒම යුක්ති සහගත නොවන බව මාගේ හැඟීමයි.
නාට්‍ය තුළින් යසලාලකතිස්ස ස්ත්‍රී ලෝලියකු ලෙස හුවා දැක්වීම හරහා පෙන්නුම් කරන්නේ ඉහත කී කාරණයට ප්‍රතිවිරුද්ධ අදහසයි. එනම් පුරුෂයා ද විටෙක එකම ස්‍ත්‍රිය නොපතන බවයි. යසලාලකතිස්ස ස්ත්‍රී ස්වභාවය අවබෝධ කරගෙන ඇත්තේ ප්‍රායෝගික අත් හදා බැලීමෙනි. උපතින් ම ලිංගික සත්වයෙකු වන මානවයා අතිශය ස්වභාවික වූ කාමාශාවලින් පසුවන බව නිර්මලා හරහාත් යසලාලකතිස්ස හරහාත්, පෙන්නුම් කිරීමට නාට්‍යකරුවා උත්සාහ කර තිබෙන බව පෙනී යන කරුණකි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය ම අචල සහ පිවිතුරු ආදරයක් සහිතව එකිනෙකා කෙරෙහි වූ සදාකාලික සහ ස්ථීරසාර ප්‍රේමයකින් යුතුව ජීවත් වන්නේ යැයි කීම තවත් එක දෘෂ්ටිවාදයක් පමණක් නොවේදැයි ප්‍රශ්න කරනු කැමැත්තෙමි. ආදරය, ප්‍රේමය සහ ලිංගික ආශාව ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වනු ඇත. නාට්‍යය හරහා ලබා දෙන පණිවිඩය වන්නේ පුද්ගලානුබද්ධව විවිධ ස්වරූප උසුලන මෙම කාරණා කෙරෙහි යථාවබෝධය ලබාදීම ය. දෙදෙනකු අතර හටගන්නා ආදරය හෝ ප්‍රේමය, නිර්මල හෝ අචල දෙයක් ද නොඑසේ නම් ශුන්‍ය හෝ නිශ්ඵල දෙයක් ද එසේත් නැති නම් උක්ත කාරණා අතර පවතින මැද මාවතේ දෙයක් ද යන්න පිළිබඳව විනිශ්චය කිරීම, තීරණ ගැනීම සහ නිගමනයකට එළඹීම පිළිබඳ පූර්ණ අයිතිය ප්‍රේක්ෂකාගාරයට යොමු කිරීමට නාට්‍යකරුවා වගබලා ගන්නේ මධ්‍යස්ථභාවයෙන් යුතුව ය.
මාක්ස්වාදී දේශපාලන සංකල්පයේ පිළිඹිබුව
මෙම නාට්‍යය දේශපාලන ම ය වශයෙන් ඉතා ප්‍රබල තැනක පිහිටුවිය හැකි නාට්‍යයකි. දක්ෂිණාංශික සහ වාමාංශික දේශපාලනය මෙන් ම පශ්චාත් විප්ලවීය අවස්ථාවල සැබෑ ස්වභාවය ද නාට්‍ය හරහා පිළිඹිබු වේ. දක්ෂිණවාදී දේශපාලන මත දරන යසලාලකතිස්ස හරහා ධනපති පන්තියත්, වාමාංශික මත දරන සුබ හරහා නිර්ධන පන්තියත් නිරූපණය වේ. ධනවාදී රාජ්‍ය තන්ත්‍රයේ ඉතිහාසය ක්‍රි.ව. 15 වන සියවස දක්වා තරම් අතීතයකට දිවෙයි. එය වාණිජවාදය, කාර්මික විප්ලවය සහ නවීන වෙළඳපළ ක්‍රමය හරහා ගොඩනැගුණු ක්‍රමික විකාශනයකි. මේ හරහා ධනපති පන්තියත්, නිර්ධන පන්තියත් බිහිවූ අතර ඉන් මෙම පන්ති අතර අරගලය ද නිර්මාණය විය. එවන් ධනපති පාලන තන්ත්‍රකයට එරෙහිව ඇරඹූ විප්ලවයක් තුළින් බලය තහවුරු කර ගැනීමට අරගලය මෙහෙයවන්නේ සුබ ය. ඔහු කැලෑ අරගලයක පිහිටා මෙය සංවිධානය කරයි. ජනතාවාදී සැබෑ අරගලයක ස්වභාවය වන්නේ පිඩීතයාගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම ය. සුබ කරන්නේ ද එවැන්නක් වෙනුවෙන් ඉතා සූක්ෂම අයුරින් පිරිස බලගැන්වීම ය. නාට්‍යයේ දෙබස් තුළින් මාක්ස්වාදී දේශපාලන ධාරාවත්, එහි පශ්චාත් විකාශනයත් මනා ලෙස නිරූපිත ය. ධනවාදය තුළ පවතින පන්ති විෂමතා සහ ශ්‍රමය සූරාකෑම විවේචනය කරන සුබ සිය සගයින් සමග එක්ව කොමියුනිස්ට් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිය අරගලය දියත් කරයි. සුබ සිය සගයන්ට පවසන මතු දෙබස හා ඊට පිළිතුරු ලෙස දීඝ නම් සුබ ගේ අනුගාමිකයා දක්වන ප්‍රතිචාරය මාක්ස්වාදී දේශපාලන සංකල්පයේ පිළිඹිබුවකි.
“තේරුමක් නැති පාලනයක් - මොළේ ඇබින්දක් නැති ඇමති මණ්ඩලයක් - උහුලන්ඩ බැරි බදු - බදු බරින් මිරිකුන ජනතාවක් - ඒ අය වෙනුවෙන් අපි හටන් කරන්නෙ” – (සුබ සහ යස පිටුව 37)
“ඒ අය වෙනුවෙන් තමයි අපි බලය අල්ලන්න යන්නෙ මේ පාර මාළිගාව ඇතුළෙන්” - (සුබ සහ යස පිටුව 37)
පාලකයා/පාලකයෝ වහල් මිනිස්සු බිහි කරන්නේ ඇයි...?
මාක්ස්වාදී ලක්ෂණ මෙන් ම පශ්චාත් මාක්ස්වාදී ලක්ෂණ ද නාට්‍ය තුළින් මතු කර දක්වා ඇත. සාම්ප්‍රදායික මාක්ස්වාදයේ මූලික සංකල්ප විවේචන කරන මෙම දේශපාලන ධාරාව වර්තමාන සංකීර්ණ සමාජයට ගැළපෙන සේ යාවත්කාලීන වූවකි. එහි මූලික පදනමක් වන්නේ පවතින සමාජයේ බලය, මර්දනය සහ වෙනස නිර්ධන පන්තිය මත පමණක් ම තීරණය නොවීමයි. සුබ සහ ඔහුගේ සගයින් අතර සිදුවන සංවාදයක දී පැවසෙන්නේ කුල මානයෙන් උදම් වූ ලම්බකර්ණයන් ද සුබ සමග එකතු වීමට කැමැත්ත පළ කර ඇති බවකි. මෙරට රාජාවලියට අනුව ලම්බකර්ණ වංශිකයින් ද අප රට පාලනය කර ඇත. සුබගෙන් පසු වසර ගණනාවක් මෙරට රාජ්‍යත්වය දැරූ වසභ රජු ලම්බකර්ණවංශිකයෙකි. එනම් බලය වෙනුවෙන් සටන් වදින්නේ පීඩිත පන්තිය ම පමණක් නොවන බව මින් හැඟෙයි. සාම්ප්‍රදායික මාක්ස්වාදීහු, පාලකයා සිය බලය රැක ගැනීම උදෙසා භෞතික උපක්‍රම (පොලීසිය, හමුදාව) භාවිතා කරන බව පවසති.
එහෙත් පශ්චාත් මාක්ස්වාදීන් දරන්නේ ඊට වෙනස් මතයකි. එනම්, මහජනයා එලෙස මර්දනය කරනු වෙනුවට, සංස්කෘතිය, මතවාද සහ සංකේතමය භාවිත ඔස්සේ මිනිස් මනස පාලනය කළ හැකි බවයි. එවිට ඔවුන් මර්දනය කළ යුතු නොවේ; ඉබේ ම පාලනය වෙයි. මෙය පශ්චාත් මාක්ස්වාදයේ දැක්වේ. රජුගේ වෙස් ගත් සුබ, ඇමති මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු වෙනුවට පිළිගැනීම අත්වන්නේ රාජකීය ඔටුන්න, ඇඳුම් ආයිත්තම් යනාදි සංස්කෘතිකමය සංකේත නිසා ය. ඔවුහු ඒවාට හිස නමති. මිනිසුන් ගේ මනස වහල්භාවයට පත් කරන සංස්කෘතික ආධිපත්‍යයන් සහිත මෙවැනි මතවාද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම දේශපාලන පොර පිටියේ අදටත් එකසේ දැක ගත හැකිය. පාලකයා ආගමානුකූල ජීවිතයක් ගතකිරීම තුළින් ඔහු නියත වශයෙන් ම දැහැමි ලෙස රට පාලනය කරන අයකු ලෙස සැලකීමට නොහැකි වුවත්, සමාජයේ බහුතරයක් පිරිස පුරුදුව සිටින්නේ යථෝක්ත මතය තහවුරු වන පරිදි ඔවුන් ගේ මනස සාදා ගැනීම ය. පාලකයා කවරකු වුවත් වන්දිබභකම් කරන පිරිසක් සිටීමෙන් සිය අසුන ආරක්ෂා කරගත හැකි බව අවබෝධකර ගැනීමෙන් පාලකයා තව දුරටත් වහල් මිනිසුන් නිර්මාණය කරයි.
ක්‍රමය වෙනස් නොකර පුද්ගලයා පමණක් වෙනස් කිරීම නිශ්ඵල ක්‍රියාව
සුබ සහ යස නාට්‍ය තුළින් ට්‍රොට්ස්කිවාදී දේශපාලන මත ද පෙන්නුම් කෙරෙයි. රාජ්‍යය පාලනය කරන, තමන් ගේ ම පැවැත්ම, අභිවෘද්ධිය සහ වරප්‍රසාද වෙනුවෙන් පමණක් පෙනී සිටින නිලධාරී තන්ත්‍රය විවේචනය කිරීම ට්‍රොට්ස්කිවාදයේ ප්‍රධානතම ලක්ෂණයකි. නාට්‍යයේ එන මහ ඇමති ඇතුළු මුළු අමාත්‍ය මණ්ඩලයෙන් ම නිරූපණය වන්නේ සිය සුඛවිහරණය සඳහා පමණක් කැපවූ මෙම ස්ථාවර නිලධාරී තන්ත්‍රය යි. දෙවැනි ජවනිකාවේ අවසාන දෙබස ඉදිරිපත් කරන තුන් වන ඇමති හරහා ට්‍රොට්ස්කිවාදී සංකල්පවල සැබෑ ස්වභාවය ප්‍රේක්ෂකයා වෙත ප්‍රක්ෂේපණය කරයි.
“දෙන්න සහෝදරයෝ - සහෝදරයෝ විතරක් නොවෙයි - රාජ ලේ ගෑවිලාවත් නැති දෙන්නෙක් - සුබ ගේ නළලේ කොටල තියනව නම් රජ වෙනව කියල ඒක වළක්වන්න පුළුවන් කාටද? මට කමක් නැහැ මොකා රජ වුනත්, ඔය මහ ඇමතියා හැර - සුබ නෙමේ අසුබ රජ වුණත් මට තියෙන්නෙ වාසනා චක්‍රයක ඇඳිල මගෙ ඇමතිකම ආරක්ෂා කර ගන්න එක” – (සුබ සහ යස පිටුව 32)
පාලකයා කවුරු වුවත් සැබෑ පාලනය මෙහෙයවන්නේ සුපුරුදු දූෂිත ව්‍යූහය ම බව පෙන්වා දීම ට්‍රොට්ස්කිවාදී විවේචනයේ පිළිඹිඹුවකි. පුද්ගල මාරුව වෙනුවට ධනේෂ්වර රාමුව පවතින මුළු ක්‍රමයේ ම වෙනසක් ඉල්ලා සිටීම ද ට්‍රොට්ස්කිවාදී සංකල්පයකි. එහෙත් පීඩිත පන්තියේ කර මතින් රාජ්‍යත්වයට පත් වූ සුබ තවත් යසලාලකතිස්ස කෙනකු ගේ වේශය ගන්නේ ය. ක්‍රමය වෙනස් නොකර පුද්ගලයා පමණක් වෙනස් කිරීම නිශ්ඵල ක්‍රියාවකැයි යන ට්‍රොට්ස්කිවාදී දේශපාලන මතය තහවුරු කිරීම උදෙසා නාට්‍යකරුවා මෙහි දී උත්සාහ කර ඇත.
දේශපාලනයේ දී පාලකයා ද වහලකු වන්නේ ය

කම්කරු පන්තිය තුළ සවිඥානිකව සිදුවන මැදිහත් වීමකින් හෝ විප්ලවයකින් බලය අල්ලා ගැනීමට සුබ ඇතුළු කණ්ඩායම උත්සාහ කළ ද අවසානයේ සුබ රජ බවට පත් වන්නේ එසේ නොවේ. සිංහාසනාරූඪ රජු විසින් ම සිය ඔටුන්න බන්දේසියක් මත තබා සුබ අත තැබීමෙනි. නාට්‍යයේ පෙන්වන පරිදි යසලාලකතිස්ස ම සුබ ගේ හිස මත ඔටුන්න පලඳවයි. අදූරදර්ශී රජෙකු ගේ කවට ක්‍රියාවක් නිසා අවසානයේ සුබ රජ වන අතර යසලාලකතිස්සට මරණය හිමි වේ. සැබෑ කතාවට අනුව යසලාලකතිස්සට මරණ දණ්ඩනය පනවන්නේ සුබ විසිනි. නාට්‍යයට අනුව එකී මරණය රාජසභාව තුළ දී ම මහ ඇමති ගේ අතින් සිදුවේ. මෙය ද කිසියම් ආකාරයකට විමසීම වටින්නේ ය. එයින් පෙනී යන්නේ රජු සහ සුබ අතර සිදුවන තනතුරු මාරුකර ගැනීමේ සෙල්ලම තම වාසියට හරවා ගන්නා මහ ඇමති, 'දේශපාලන ක්‍රමය තුළ පාලකයාව ද වහලුන් ගේ ගොඩට තල්ලු කර දැමිය හැකිය' යන න්‍යායයේ සත්‍යතාවයයි. රජුගේ ළදරු දේශපාලන හැසිරීම සහ මහ ඇමතිගේ පරිණත කුමන්ත්‍රණකාරී ක්‍රියා පිළිවෙත තුළින් ගැඹුරු පණිවිඩයක් නාට්‍යකරුවා ලබා දෙයි.
පශ්චාත් විප්ලවීය අවස්ථාවල සැබෑ ස්වභාවය

රාජ්‍ය බලය සාමාන්‍ය පුරවැසියකුට හිමි වූ විට බලය ලබා ගැනීමේ සැබෑ අරමුණ පසෙකලමින් ඔහු ගේ මනස තුළ සිදුවන වෙනස එනම් ඇතැම් පශ්චාත් විප්ලවීය අවස්ථාවල සැබෑ ස්වභාවය ද නාට්‍ය හරහා පිළිබිඹු වේ. එනම් පීඩිතයා පාලකයා බවට පත්වීමේ දේශපාලන මායාවෙහි පවතින සැබෑ ස්වරූපය යි. බලය ලබා ගත් පසු පීඩිතයා සිය දුක්බර හා පීඩිත අතීතය අමතක කරන්නේ, රාජ්‍ය බලය තවදුරටත් තබා ගැනීම සිය එකම අරමුණ කරගනිමිනි. යසලාලකතිස්ස ගේ පාලනයට අභියෝග කළ සුබ අවසානයේ තවත් යසලාලකතිස්ස කෙනකු ලෙස ම ක්‍රියා කිරීමට පෙලඹෙයි.
නාට්‍යය අවසන් වන්නේ ජනතාවාදී නායකයෙකුගේ භූමිකාව ඉඳුරාම ප්‍රතික්ෂේප කරන බවට ඇඟවෙන සහ ඊට උචිත අවස්ථාවකිනි. එතෙක් මධුපානය නොකළ සුබ අවසානයේ සිය දාසිය අමතා මෙසේ කියයි.
“දාසිය, මට මධු බඳුනක් ගෙනව” – (සුබ සහ යස පිටුව 91)
මේ අනුව බලන කල සුබ සහ යස වේදිකා නාට්‍ය යාවත්කාලීන ගුණයෙන් යුතු සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික මෙන් ම ආගමික වශයෙන් ද පැතිරී තිබෙන දෘෂ්ටිවාදයන් දෙස සියුම්ව ද, ප්‍රශ්නාර්ථ නංවමින් ද විමසුමකට ලක් කරන අග්‍රගන්‍ය නාට්‍යයකි.
අවසන් නිගමනය
සුබ රජ පෙළපතට අයත් නොවී තම බුද්ධිය මෙන් ම කපටි සහ අවස්ථාවාදී ස්වභාවය උපයෝගී කරගෙන සිංහාසනයට පත් වූ පාලකයකු ලෙස ඉතිහාසයට එක් වී ඇත. සිංහල රාජාවලියට අනුව ‘සුබරාජ’, වසර හතක් පුරාවට ලම්බකර්ණ රාජ වංශයට අයත් වසභ රජු සිහසුනට පත්වන තෙක් රාජ්‍ය පාලකයා වශයෙන් ලංකාවේ රජකම් කර ඇත. ඔහුගෙන් සිදු වූ සේවය පිළිබඳව කිසිදු මූලාශ්‍රයක් සාක්ෂි නොසපය යි.
මේ අනුව බලන කල නාට්‍ය හරහා විමසුමට ලක් කරන සියුම් කාරණා ඔස්සේ ප්‍රේක්ෂකයාට උසස් රසවින්දනයක් මෙන්ම පුළුල් සහ ගැඹුරු ජීවිතාවබෝධයක් ලබා දෙන බව අවසාන වශයෙන් කිව යුතු ය.

චතුරංග වර්ණකුලසූරිය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
