Image

ජනතාව ගේ සෞඛ්‍යයට වඩා ඉහළ කිසිදු ලාභයක් නැහැ - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජනතාව ගේ සෞඛ්‍යයට වඩා ඉහළ කිසිදු ලාභයක් නැහැ - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රජය කිසිදු ආර්ථික ලාභයක් හෝ කර්මාන්තමය වාසියක් ජනතාව ගේ සෞඛ්‍යයට වඩා ඉහළින් නොතබන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.

ඔහු මෙම අදහස් පැවසුවේ ඊයේ (27) කොළඹ NH Collection හෝටලයේ දී පැවති මෙරට මද්‍යසාර භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය, සමාජීය හා ආර්ථික බලපෑම් අවම කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය සඳහා වන ආයෝජන වාර්තාව සහ මද්‍යසාර භාවිතය නිසා සිදුවන හානිය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන උපාය මාර්ග ඇතුළත් තාක්ෂණික උපදේශන ගොනුව “Release of the Investment Case on Alcohol Control and Launch of the WHO SAFER Technical Package in Sri Lanka" නිල වශයෙන් එළිදැක්වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav)  ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ දී ය.

WhatsApp Image 2026 07 28 at 9.46.10 AM

ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර භාවිතය පාලනය කිරීම, මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සහ ආර්ථිකමය බලපෑම් අවම කිරීම අරමුණු කරගත් සුවිශේෂී ජාතික වැඩසටහනක් වූ මෙම වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), මද්‍යසාර වැළැක්වීම මගින් මානව සහ සමාජ සංවර්ධනය ඇති කිරීම සඳහා කැප වූ ලොව විශාලතම ස්වාධීන ගෝලීය සංවිධානය වන Movendi International සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ බෝනොවන රෝග පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර්-නියෝජිත කාර්ය සාධක බලකාය (UN Interagency Task Force on NCDs) යන ආයතනවල සහයෝගයෙන් සංවිධානය කරන ලදී.

WhatsApp Image 2026 07 28 at 9.46.10 AM 1

මෙහිදී "ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර පාලනයේ සෞඛ්‍යමය සහ ආර්ථිකමය බලපෑම: ආයෝජනය සඳහා වන සාධක" (The Health and Economic Impacts of Alcohol Control in Sri Lanka: The case for investment) යන නිල ආයෝජන වාර්තාව ජනගත කිරීම ද සිදුකළ අතර, මද්‍යසාර "මත්පැන් ආශ්‍රිත හානිවලින් තොර ලෝකයක්" බිහිකිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති 'SAFER' ප්‍රධාන උපායමාර්ග තාක්ෂණික උපදේශන ගොනුව මෙරටට හඳුන්වා දීම ද නිල වශයෙන් සිදු කෙරිණි.

WhatsApp Image 2026 07 28 at 9.46.08 AM 2

 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අදහස් දක්වමින් මෙය තාක්ෂණික ලේඛනයක් හෝ වාර්තාවක් එළිදැක්වීමක් පමණක් නොවන බවත් ශ්‍රී ලාංකික ජනතාව ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කරන වැදගත් පියවරක් බව ද අවධාරණය කළේ ය. ජනතාව ගේ යහපැවැත්ම රට සතු වටිනාම සම්පත බව අවධාරණය කළ අමාත්‍යවරයා, මද්‍යසාර භාවිතය නිසා දශක ගණනාවක් පුරා පවුල්, රෝහල් සහ මාර්ග ආරක්ෂාවට එල්ල වී ඇති බරපතළ බලපෑම් අවසන් කිරීම සඳහා රජය දැඩි සහ ක්‍රියාකාරී ප්‍රවේශයක් අනුගමනය කරන බව ද සඳහන් කළේය.

මද්‍යසාර භාවිතයෙන් ඇතිවන හානි රටේ සංවර්ධනයට බරපතළ බාධාවක්

මද්‍යසාර භාවිතයෙන් ඇතිවන හානි සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී සමාජීය හා ආර්ථික වශයෙන් ද රටට දැඩි බලපෑමක් එල්ල කරන බව ද රටේ සංවර්ධනයට බරපතළ බාධාවක් බව ද පැවසීය. රජය කිසිදු ආර්ථික ලාභයක් හෝ කර්මාන්තමය වාසියක් ජනතාව ගේ සෞඛ්‍යයට වඩා ඉහළින් නොතබන බව අවධාරණය කළ අමාත්‍යවරයා, ජනතාවගේ ජීවිත හා සෞඛ්‍යය ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතම වගකීම බවද ප්‍රකාශ කළේ ය. විශේෂයෙන් තරුණ පරපුරේ ආරක්ෂාව පිළිබඳ රජය වැඩි අවධානයක් යොමු කරන බවත් ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි නියාමන ක්‍රමවේද ශක්තිමත් කිරීම සහ හානිකර පුරුදු සාමාන්‍යකරණය කිරීමට දරන උත්සාහයන් වැළැක්වීම සඳහා නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

මද්‍යසාර භාවිතයෙන් සිදුවන හානි අවම කිරීම දේශපාලන සීමා ඉක්මවා යන ජාතික වගකීමක්

මෙම නව මාර්ග ක්‍රමවේදය මගින් ප්‍රජා මට්ටමින් වැළැක්වීමේ වැඩසටහන්, මුල් අවධියේ හඳුනා ගැනීම, ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් සෞඛ්‍ය පද්ධතිය තුළ තවදුරටත් ඒකාබද්ධ කරන බවද එය නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොව, සහයෝගය, සංවේදීත්වය සහ කාලෝචිත මැදිහත්වීම් මත පදනම් වූ ප්‍රවේශයක් බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය. මේ සඳහා රාජ්‍ය ආයතන, සෞඛ්‍ය අංශය, සිවිල් සමාජ සංවිධාන සහ සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මද්‍යසාර භාවිතයෙන් සිදුවන හානි අවම කිරීම දේශපාලන සීමාවන් ඉක්මවා යන ජාතික වගකීමක් බවද සඳහන් කළේ ය. අවසාන වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ජනතාව ගේ සෞඛ්‍යයට හානි සිදුකරමින් ලාභ ලබන පාර්ශ්වයන්ගේ බලපෑම් හමුවේ රජය කිසිදු අවස්ථාවක පසුබට නොවන බවයි. සියලුම පුරවැසියන්ට වැළැක්විය හැකි මත්ද්‍රව්‍ය හා මද්‍යසාර ආශ්‍රිත හානිවලින් තොර, සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත සහ ඵලදායී ජීවිතයක් ගත කළ හැකි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම රජයේ අරමුණ බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

SAFER  මඟින් රටවල්වලට මද්‍යසාර භාවිතය නිසා ඇතිවන රෝග, මරණ සහ සමාජීය හානි අවම කිරීම සඳහා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ප්‍රධාන උපායමාර්ග 05 ක් හඳුන්වා දෙන අතර, ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලන ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීමට මෙය ඉතා වැදගත් පියවරක් ලෙස සැලකේ. මෙහිදී WHO ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේෂ් පණ්ඩව් මහතා ශ්‍රී ලංකාවේ SAFER Technical Package ක්‍රියාත්මක කිරීම පිළිබඳ අදහස් දක්වන ලද අතර,  WHO SEARO කලාපීය උපදේශක වෛද්‍ය ඇන්ඩ්‍රියා බෲනි Dr. Andrea Burni (WHO SEARO) WHO SAFER පැකේජය පිළිබඳ කලාපීය දෘෂ්ටිකෝණය මෙහිදි පැහැදිලි කළා ය. එමෙන් ම මෙහි දී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ නදීකා චන්ද්‍රරත්න ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය පිළිබඳ Alcohol Investment Case වාර්තාව ඉදිරිපත් කළේය.

"Strengthening Alcohol Control in Sri Lanka: From Investment Case to Implementation" තේමාව යටතේ තාක්ෂණික සැසිවාරයක් ද මෙහිදි පැවැත්විණි.

WhatsApp Image 2026 07 28 at 9.46.08 AM 1

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එරංගා රාජපක්ෂ, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක, Movendi International සංවිධානයේ උප සභාපති පුබුදු සුමනසේකර යන මහත්ම මහත්මින් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ හවුල්කාර අමාත්‍යාංශවල නිලධාරීන්, UNDP නියෝජිතයින්, කොළඹ විශ්ව විද්‍යාලයේ සහ අනෙකුත් විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් ඇතුළු වෛද්‍ය පීඨයේ සහ වෘත්තීය සංගම් කීර්තිමත් සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

WhatsApp Image 2026 07 28 at 9.46.09 AM

 

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම් 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න