Image

'අපේ ගෙදර ගිනි තියයි ද' - පවුලේ කතාවක් ම පමණි

'අපේ ගෙදර ගිනි තියයි ද' - පවුලේ කතාවක් ම පමණි

ප්‍රවීණ නාට්‍යයවේදියකු වූ රාජිත දිසානායක අධ්‍යක්ෂණය කළ ‘අපේ ගෙදර ගිනි තියයි ද’ නාට්‍යය මේ දිනවල රඟ දැක්වේ. මෙය රාජිත දිසානායක ගේ එකළොස්වන නාට්‍යය යි.

කතා සාරාංශය

apegedraginiwi7766

නිළියන් සතර දෙනෙක් ද නළුවන් තිදෙනෙක් ද රඟපාන මෙම නාට්‍යයේ ආරම්භ වන්නේ සුදානම් කර තිබූ සමු ගැනීමේ සාදයකට මිතුරියන් සතර දෙනා රැස්වෙන මොහොතේ දී ය. මොවුහු ඉතා මිහිරි ගීතයක් ගායනා කර සතුට බෙදා ගනිති.  සාදයේ නිමිත්ත වන්නේ නිවාඩුවකට පැමිණි නයනි ගේ සමු ගැනීම යි. ඇය ආපසු එංගලන්තයට යයි. එහෙත් නිවස හිමි නිරෝෂි සහ තරුෂි මිතුරිය, අන් අය ‘විස්මයෙන් අවුළුවීම’ පිණිස සාදයට ජනප්‍රිය ගායකයකුට ද ආරාධනා කර තිබිණි. ඇත්තට ම ගායකයාට ආරාධනා කර තිබුණේ ඔහු සමඟ රහස් සම්බන්ධතාවක් පවත්වා ගෙන තිබු තරුෂි ය. තව ද නිරෝෂා ගේ සැමියා වූ විජිත් ද ඔවුන්ට රිසි සේ සතුටු වන්නට ඉඩ දී, එදින ඔහු ගේ මිතුරකු වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස් අධිකාරි සුනිමල් ගේ නිවසට ගොස් තිබිණි.

මිතුරියෝ ඕපාදූප කතා කරමින් ද උසුළු විසුළු කරමින්  සිටින විට දී, ගමේ සෙනඟ ගේට්ටුව අසල රැස්වී, නිවසට ගල් ගසන්නට වූහ. මෙය සොයා බැලීමේ දී, ආරාධනාව කර තිබු ජනප්‍රිය ගායකයා, ගේට්ටුව අසල දී ම, වාහනය තුළ දී ම, බෙල්ල හිර කර මරා දමා තිබිණි.

පසුව මේ මරණය දැනගත් පිරිමින් ද නිවසට රැස් වූ හ. ඒ අතර: විජිත් ද, පොලිස් අධිකාරි සුනිමල් ද, තරුෂි ගේ සැමියා වූ හෙෂාන් ද වේ. මොවුහු මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේ දැයි සාකච්ඡා කරන්නට වූහ. කාන්තාවන් අතරේ ද බිරිඳැවරුන් හා ඔවුන්ගේ සැමියන් අතරේ බහින්බස් වීම් බොහෝ සේ සිදු වේ. එනමුදු අත්දැකිම් බහුල විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා ගේ නිගමනය වූයේ ගායකයා ගේ ජංගම දුරකථනය සොයා ගත හැකි නම් මිනීමරුවා අල්ලා ගත හැකි බව යි.

rajithaapegedaraginithiyayidawi

මේ කරදරය හමාර කර මාස හය හතකට පසුව, සතුටු සාදයකට, එංගලන්තයට ගිය නයනි හැර, අනෙක් මිතුරු මිතුරියන් තරුෂිගේ නිවසේ දී හමුවෙති. ඉන් මොහොතකට පෙර, තරුෂි සහ ඇගේ සැමියා අතරේ වන සංවාදය නාට්‍යයේ අපූරු මොහොතකි.

හෙෂාන් (සැමියා) තරුෂිගෙන් අනියම් ලෙස ප්‍රශ්න කරයි. ඔවුහු එකිනෙකා මුහුණ බලා ගනිමින් ‘නිහඬව නිමේෂයක්’ බලා සිටිති. මෙය අපූර්ව වේදිකා ප්‍රයෝගයකි: තරුෂිට කල්පනා කිරීමට ඉඩ හරියි: ඊට පසු තරුෂිගේ ජංගම දුරකතනය නාද වෙයි: ඇය දුරකතනයෙන් දකින්නේ ගායකයාගේ (රහසිගත පෙම්වතාගේ) දුරකතන අංකය යි: නමුත් දුරකතන ඇමතුම දී ඇත්තේ ඇගේ සැමියා යි. ගායකයා ගේ දුරතකනය හෙෂාන් අතට පත්ව ඇත. ගායකයා ගේ මිනීමරුවා තම සැමියා බව ඇය තේරුම් ගනියි: හෙෂාන් දර්ශනයෙන් ඉවත් වේ; නිරෝෂි පැමිණේ; තරුෂි සහ නිරෝෂි (සැකකටයුතු) මිනීමරුවා පිළිබඳ සැරෙන් අදහස් හුවමාරු වේ; නාට්‍ය අවසන් වන්නේ නැවත පැමිණෙන තරුෂිගේ සැමියා වූ හෙෂාන් සමග තරුෂි මුහුණට මුහුණලා සිටගෙන ‘නිහඬව නිමේෂයක්’ බලා සිටීමෙනි. ඔවුන්ගේ ‘හෘද සාක්ෂිය’ ආත්මිය ලෙස එකිනෙකාට අමතයි. ඒ අතරේ සාදයට එක්වීමට ගෙය තුළට යන නිරෝෂි ද දකින්නට ලැබේ. මෙකී ජවනිකාවේ දී මේ තිදෙනා මත විහිදුවන ආලෝකය ඔවුන්ගේ රංගනයට මහත් පිටුබලයක් ලබා දෙනවා මෙන් ම, (හරියට ප්‍රේක්ෂකයින් මිනීමරුවා කවුරුන් දැයි දැන ගත්තා සේ), ප්‍රේක්ෂකයාට ප්‍රීතිමත් වින්දනයක් ලබා දෙමින් නාට්‍ය අවසාන කෙරේ.   

 

නළු නිළියන් හට රඟපෑමක් තිබුණා ද…?

apegedraginithiyaidawi

මේ තතු තුළ පවා, නාට්‍යයේ තිර පිටපතෙහි ගැටලු ගණනාවක් ම දකින්නට පුළුවන. ඔවුහු නැවත තරුෂිගේ නිවසේ දී හමුවීමේ දී විජිත් මාස හයක් රිමාන්ඩ් සිට පැමිණියේ යැයි පවසන විට, ඊට පෙර ඔවුන් ගේ දෙබස් තුළ, ඔහුට එවැනි අකරතැබ්බයක් වේ යැයි ඉඟියක් වී නො තිබිණි. එහෙනම් එවැනි දෙබසක් අත්වැරැද්දක් ද? මෙම නාට්‍යයේ ප්‍රධාන ම දුබලතාව වන්නේ ‘මධ්‍යම පන්තික පවුලේ කතාවක්’ වශයෙන් නාට්‍යය අවසන්වීම යි. මෙය සමාජයයේ ඇති සුලභ සිදුවීමකි. ලංකාවේ සල්ලිකාරයින් ඝාතනය කිරීමේ නවතම ක්‍රමය වන්නේ බෙල්ල තොණ්ඩුවකින් හිර කිරීම වේ. පසුගිය කලක එවැන්නක් සිදු විය. රාජිත දිසානායක ඒ තොණ්ඩුව ජනප්‍රිය ගායකකයකු බෙල්ලට දමා ඇත. ජංගම දුරකතනය පැහැර ගැනීමත් එවැන්නකි. ඇත්තට ම නම් නළු නිළියන්ට ‘කතා කිරීම’ හැර රඟපෑමක් කිරීමට පිටපතෙන් අවකාශය සලසා නැත. සැබවින් ම ප්‍රේක්ෂකයාට දැනෙන රඟපෑමක් ඇත්තේ ම නැත.

මනුෂ්‍ය ජීවිතය යනු අහසේ පාවෙන යමක් ද…?

464922093 8967644759932733 3829550394973128407 nරාජිත දිසානායක

මෙසේ වීමට හේතු කිම…? අපි පළමුවෙන් ම රාජිත දිසානායක ජුනි 21 දා ‘සිළුමිණ’ පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවේ කොටසක් වෙත යොමු වෙමු.

“... මගේ හැම නාට්‍යයක ම සාකච්ඡා වෙන්නේ සමකාලීන අපේ සමාජය හා ජීවිතය යි. එය නොතකා හැර අපට කිසිදු නිර්මාණයක් කරන්න බැහැ. මනුෂ්‍ය ජීවිතය තරම් තවත් වැදගත් දෙයක් නිර්මාණකරුවෙකුට නැහැ. ...”

මෙය හරියට ම හරි.

නමුත් මනුෂ්‍ය ජීවිතය අහසේ පාවෙන දෙයක් ද? නැහැ. නාට්‍යයේ දී නිරූපණය වන්නේ තනි, තනි හුදකලා පුද්ගලයෝ නො වේ. බැලු බැල්මට තනි, තනි පුද්ගලයින් සේ පෙනෙන බව ඇත්ත. නමුත් ඔවුහු නිශ්චිත සමාජවලින්, සමාජ පන්ති තුළින් බිහිව, ඒවා තුළ හැදීවැඩී පැමිණි පුද්ගලයෝ ය. ඒ නිසා නාට්‍යයේ රඟපාන චරිත, එකී චරිත අයත් වන සමාජවල හා පන්තිවල (නැතිනම් ජන කණ්ඩායම්වල) නියෝජිතයන් වේ. එහෙයින් ම ඔවුන් මගින් ද ඔවුන් හරහා ද නිරූපණය වන්නේ ඔවුන් අයත් වන සමාජ සහ ජන කණ්ඩායම් ඇතුළාන්තය යි. එහෙත් එවැන්නක් රාජිත දිසානායකගේ නාට්‍යය තුළින් දකින්නට නො ලැබේ.

 

මනුෂ්‍ය ජීවිතය හෝ සමාජය පිළිබඳ බරපතළ කියවීම…?

apegedaraginithiyayidawi885

මෙහි දී අප ගේ නාට්‍යකරුවා පැහැදිලි ව ම රැඳී සිටින්නේ දෘශ්‍යමානය මත ය. සැමවිට ම දෘශ්‍යමානයේ ඇත්තේ සත්‍යයේ අංශුවක් පමණ යි. මේ දෘශ්‍යමාන ස්වාභාවය අතික්‍රමණය කර, කිමිදී, දෘශ්‍යමානය ආවරණයවී ඇති සමාජ ආර්ථික බලවේග පිළිබඳ යථාර්ථය ඉස්මතු කළ යුතු ය. එවිට ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ, ප්‍රේක්ෂකයාගේ යථාර්ථාවබෝධය වඩාත් ගැඹුරු කරන අත්දැකීමක් සහිත නිර්මාණයකි.

ශ්‍රී ලංකාවේ පසුගිය කාල වකවානුව සැලකිල්ලට ගත් විට දී නාට්‍යකරුවන් පෙළඹී ඇත්තේ දේශපාලන තලයේ මිනිසුන් කතාබහ වන සිදුවීමක් තේමා කොට ගෙන, ඊට දෙබස් හා සංගීතය යොදා නාට්‍යයක් වශයෙන් වේදිකා ගත කිරීම යි. ඒ නාට්‍යවල ‘නම්’ දෙස උඩින්පල්ලෙන් බැලුවහොත් එය දැක ගන්නට පුළුවන. මේ නාට්‍ය මගින් මනුෂ්‍ය ජීවිතය හෝ සමාජය පිළිබඳ බරපතළ කියවීමක් නොමැත. මේ නාට්‍ය තුළ රාජිත දිසානායක දක්වන දේශපාලන ඉඟිය පවා වත්මන් දේශපාලනය ගැඹුරෙන් විශ්ලේෂණය කර පෙරා එකක් නො ව, සමාජයේ පවතින ජනප්‍රිය ‘සාමාන්‍ය අදහසක්’ වේ. එහෙම නැතිනම් දෘශ්‍යමානයේ පවතින මතයකි. 

ආරම්භය, අවසානය සහ ප්‍රේක්ෂක අවධානය

rajithadramai8856

නාට්‍ය රචනයේ කවර දුබලතා තිබුණේ වූවත් නිරෝෂිගේ රඟපෑම කදිම ය. එමෙන් ම සංගීතය සහ ආලෝක පරිපාලනය ද ප්‍රේක්ෂකයාගේ අවධානය ලබා ගැනීමට සමත් වේ. නාට්‍යයේ ආරම්භයත්, අවසානයත් ප්‍රේක්ෂක අවධානය එක එල්ලේ ම ලබා ගනියි.

මෙම නාට්‍යයේ ගැටුම් දෘශ්‍යමානය ඉක්මවා ගමන් නො කරයි. නාට්‍යයේ නිර්මිත අවස්ථාව මෙන් ම නළුවන්ගේ සහ නිළියන්ගේ දෙබස් ද දෘශ්‍යමානයෙන් ඔබ්බට අප ගෙන යෑමට සමත් නො වේ. ඒ නිසා නාට්‍ය නරඹා අවසානයේ ගැඹුරු අත්දැකීමක් ලැබීමෙන් ජනිත වන කම්පනය හෝ ජීවිතය පිළිබඳ අලුත් අවබෝධයක් මා තුළ නම් හට ගත්තේ නැත.

එහෙත් ප්‍රවීණ නාට්‍යකරු රාජිත දිසානායකට තම ලෝක දෘෂ්ටිය පිරිපහදු කර ගැනීමෙන්, ප්‍රේක්ෂයින් තුළ යථාර්ථාවබෝධය ඇති කළ හැකි නාට්‍යයක් නිර්මාණය කළ හැකි බව අපි දනිමු.  අපි ඔහු ගැන තවමත් බලාපොරොත්තු තබා ගෙන සිටිමු. 

 

439441873 846812910602353 1980747783014634691 n

 

 

 

 

 මනෝ ප්‍රනාන්දු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න