දැනට මෙරට වාහන ආනයනය කිරීම අඩුවෙමින් පවතින බවත්, වාහන ඇතුළු වෙනත් ආනයන සඳහා ලබන වසර සාමාන්‍ය අවුරුද්දක් බවට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇති වූ ඉහළ ඉල්ලුමේ අඩුවීමක් මේ වන දක්නට ඇති බව ය.
2025 වසර සඳහා වන අවසන් මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනය සම්බන්ධයෙන් ඊයේ ( 26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"වාහන ආනයනය විවෘත කළාට පස්සේ ජූලි මාසයේ එකවර ම ණයවර ලිපි (LC) විවෘත කිරීම වැඩි වෙලා වාහන ආනයනය වැඩි වුණා. නමුත් දැන් දකිනවා, LC විවෘත කරපු දත්ත ශීඝ්‍රයෙන් පහළ වැටීගෙන එන්නේ."
ජූලි, අගොස්තු, සැප්තැම්බර් මාසවල දත්ත සමග සැසඳීමේදී නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වාහන ආනයනයේ ශීඝ්‍රයෙන් අඩු වීමක් දක්නට ඇතැයි, මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ය.
"වාහන ආනයන මිලත්, යම් කිසි ආකාරයකට නොවැම්බර්, දෙසැම්බර් මාසවල අඩු වේගන යනවා."
"එතකොට අපි දකිනවා ඒක වෙළෙඳපොළ සමනය වෙන්න, එක් හේතුවක් යම්කිසි ස්ථාවරයකට පත් වෙන්න. ඉදිරියට යනකොටත් අපි දකින්නේ, Pent-up demand එකෙන් ගෙනල්ලා ඉවර යි, දැන් ස්ථාවර වෙලා, වාහන මිලත් අඩු වෙලා තියෙනවා."
"වාහන ආනයන දැන් තුලනය වෙමින් තිබෙනවා, අපි හිතුවට වඩා වැඩි වුණා වසර මුල, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්වල. අපි හිතනවා වාහන ආනනය අඩුවීමක් ඉදිරිමාස දෙක තුළ දකින්න පුළුවන්." ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ ය.
"මෝටර් වාහන ආනයනය දැන් ස්ථාවර වෙමින් පවතිනවා. එය වසර ආරම්භයේදී අප සිතූ ප්‍රමාණයට වඩා ටිකක් වැඩි වුණා. ජූලි මාසයේ ඇති වූ ඉල්ලුම නිසා, LC විශාල සංඛ්‍යාවක් විවෘත කෙරුණා ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල" දැන් LC සංඛ්‍යාව පහත වැටෙමින් තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ එය පිළිබිඹු වේවි.
ආනයන සඳහා ඉල්ලුම, විශේෂයෙන් මෝටර් වාහන ආනයනය පහත වැටෙනු ඇති," ඔහු වැඩිදුරටත් පැවසීය.
මාධ්‍යවේදීන් මෙහිදී වීමසා සිටියේ, ලබන වසරේ වාහන ආනයනය ගැන පුරෝකථනයක් කර තිබේ ද යන්න පිළිබඳව යි.
"ලබන අවුරුද්ද ගැන අපි පුරෝකථන කරලා නැහැ. මීළඟ සමාලෝචනයේදී අපි පුරෝකථනය කරනවා, දැනට අපි හිතන්නේ මේ තියෙන pent up demand එක අවිල්ලා ඉවරයි දැන්. දැන් මේක අඩු වේගෙන යන්නේ, සාමාන්‍ය මට්ටමට…ලබන අවුරුද්දේ සාමාන්‍ය අවුරුද්දක් වෙයි, වාහන සහ අනෙකුත් ආනයන සඳහා. ඒක කොච්චර ද කියන පුරෝකථනය කරන්න තවමත් කල් වැඩි යි. මූල්‍ය ප්‍රතිපත්ති වැඩවලට අපිට යම්කිසි පුරෝකථනයක් තියෙනවා. නමුත් ඒක මේ වසර අවසාන වුණා ම කොහොම ද තියෙන්නේ කියලා බැලුව ම වඩා හොඳ අදහසක් ගන්න පුළුවන්."

