Language Switcher

V2025

කොටුවට හූවයි : විරෝධය හමාරයි !

"සිදුවීම් සිදුවන්නේ කොක් හඬලා සිනාසීමටවත්, හඬා වැලපීමටවත් නොවේ. සත්‍ය තේරුම් ගන්නටයි" යැයි පැවසුවේ වී.අයි. ලෙනින් ය. අද ශ්‍රී ලංකාවේ අරගලකරුවන් ලෙස පෙනී සිටින මොබ් කල්ලි කණ්ඩායම් හෝ පක්ෂ හෝ ලෙනින්ලාගේ මේ ඉගැන්වීම් ලේනෙක් තරමටවත් ගණන් ගන්නේ නැත. ඒ බව තේරුම් ගන්න හොඳම නිදර්ශනය නොවැම්බර් 02 විරෝධයේ අඩංගුවය.

නොවැම්බර් 01 වැනිදා සන්ධ්‍යාවේ ලයිව් පැමිණි හිටපු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රමුඛ සජබ කාන්තා ක්‍රියාකාරීන් පිරිසක් නොවැම්බර් 02 වැනිදා විරෝධයේ තම සටන් පාඨය වේලාසනින්ම නිවේදනය කළේ "හොක්කි හොක්කි හූ හූ - රනිල් රනිල් රනිල්" කියමින්ය. ඒත් එයින් පැය 24ක් ඉක්ම යන්න පෙර ටෙක්නිකල් හන්දිය පැත්තෙන් ඇසුණේ, "හොක්කි හොක්කි හූ හූ - සජිත් සජිත් සජිත් " කියාය. "අනාගත ජනාධිපතිට ජය වේවා !" කියමින් මරදානෙන් විරෝධතාවට එක්වූ සජබ ක්‍රියාකාරීන් හිස්ලූ අත දිව ගියේ නායකයා පලා යනු දුටු තැනය. විපක්ෂ නායක ලෙස සජිත් යළිත් වතාවක් ප්‍රසිද්ධියේ නින්දාවට සහ අවමානයට ලක් විය. මන්ත්‍රී චම්පික රණවක, දයාසිරි ජයසේකර ඇතුළු නොවැම්බර් 02 වැනිදා නාඩගමට එක්වූවන් මොබ් කල්ලි කණ්ඩායම් ඉදිරියේ අන්ත අසරණ වනු දක්නට ලැබිණි. ඔවුන්ගේ මුහුණුවල තිබුණේ පැහැදිලි භීතියක්ය; තැතිගැන්මක්ය. ඔවුන් එකිනෙකාගේ පෙනුම හයිනාවන් රැළක වටලෑමකට ලක්වූ වෘක්කයකුට දෙවැනි නොවීය. ඔවුන් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විරෝධතාවට ගොස් ඇඳිවත බේරගෙන ගෙදර ආවේ, ආණ්ඩුවම දුන් ආරක්ෂකයන්ට පින් සිදු වන්නය.

නොවැම්බර් 02 වැනිදා ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පාරට බැස්ස දේශපාලන නායකයන්, මොබ් කල්ලි කණ්ඩායම්වල මර්දනයට මුහුණ දුන්නේ එහෙමය. ඒ සමඟ සමාජ මාධ්‍ය තුළ පළවූ වීඩියෝවක තිබුණේ, ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විරෝධතාවේ සංවිධාන කටයුතු මෙන්ම මාධ්‍ය ආවරණ කටයුතු සිදු කළ පවුලක් වෙතින් පහරකෑමට ලක්වන තවත් මාධ්‍යවේදියකුය. එයත් සිදු වූයේ මාධ්‍ය ආවරණ කටයුත්ත නවත්වන ලෙස කෙරෙන තර්ජනයක් සමඟය. ඒ කියන්නේ නොවැම්බර් 02 වැනිදා ආණ්ඩුවේ මර්දනයට එරෙහි විරෝධය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් මර්දනයට එරෙහි වූවන් අතින්, මර්දනයටත්, හිංසනයටත් ගොදුරුව ඇති බව නොවේද?

ඇත්ත අරමුණ

පෙසප හිතවාදී වියතකු ''වචනවලින් කුමක් කීවද, නොවැම්බර් දෙවැනිදා ඒකාබද්ධ විරෝධයෙන් සංකේතවත් වන්නේ පෙරටුගාමී වාමාංශය හෙජමොනික දේශපාලනය තුළ තම පෙනී සිටීම කැපී පෙනෙන ලෙස සටහන් කිරීමක් මිස අන් යමක් නොවේ." කියා අමාරුවෙන් වචන ගැටගසා තිබිණ. ඒ, ජවිපෙ සංශෝධනවාදී බවත්, ධනපති පක්ෂ සමඟ සභාග දේශපාලනයට යෑම ගැනත්, දෑකැත්තේ, මිටියේ රතු විවේචන දුන් පෙසප, තවදුරටත් සජබ ෆොන්සේකා පාර්ශ්වය සමඟ හැර වෙනත් පාර්ශ්ව සමඟ දීග යන්න සූදානම් නැති බවට වන සටහන විය යුතුය. නැත්නම් සජිත්ට හූ කියා එළෙව්වාට නොවැම්බර් 02 වැනිදා විරෝධතා පාගමන ආරම්භ වන අවස්ථාවේම එතැනින් පිටව ගිය ෆොන්සේකාට හූ නොකිව්වේ ඇයිද? යන්න හෙළි කළ යුතුව ඇත.

කෙසේ හෝ වේවා සිදු වූ සිදුවීම හාස්‍යයට ලක් කළ, වෘත්තීය සමිති නායක ජෝශප් ස්ටාලින්ගේ සගයකු සිනාසෙමින් කියා සිටියේ, " අපේ ජෝසා තමයි හොඳටම කළේ. සජබයි පෙසපයි එකට අන්දලා රෙද්ද ලිහුවා" කියාය.

ඇත්ත අරමුණ කුමක් වුවත්, කප්පරකට පක්ෂ සංවිධාන සහ සිවිල් චරිත එක්කරගෙන නොවැම්බර් 02 වැනිදා නාඩගම දියත් කළේ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව කියමින්ය. විශේෂ අවධානයක් යොමු කර තිබුණේ ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ සිදු කර ඇති අත්අඩංගුවට ගැනීම සම්බන්ධවය. ප්‍රශ්නය ඇත්තේ නොවැම්බර් 02 වැනිදා විරෝධයේ ප්‍රකාශිත අරමුණ එහි අඩංගුවේ නොතිබීමය. සටන් පාඨයේ ප්‍රතිවිරෝධය බවට මේ පිරිසම පත්ව සිටීමය.

නිදර්ශනයක් ලෙස ත්‍රස්ත මර්දන පනත (PTA) සංශෝධනය කර ගැනීමට හෝ අහෝසි කර දැමීමක් වෙනුවෙන් හෝ විපක්ෂ නායක ලෙස පමණක් නොව, සජිත් ප්‍රේමදාස සිය දේශපාලන ජීවිතය තුළ අවංක කැපවීමක් හෝ මැදිහත් වීමක් සිදු කර නැත. ඒ කියන්නේ ඔහු එය එතරම් බරපතළ ලෙස නොතකන බව නොවේද? චම්පික රණවක මන්ත්‍රීවරයා ගත් කල, දශක දෙකක ඉතිහාසයේ මුල් භාගය ඇත්තේ ත්‍රස්ත මර්දන නීති දැඩි කිරීමටය. ඇතැම් අවස්ථාවල එය ජාතිකත්ව පදනමින් සිදු කිරීමට තරම් දුරදිග ගොස් ඇත. පෙසප කියා අද සිටියත්, ජවිපෙ දේශපාලනය තුළ ඔවුන්ද දශක දෙකකට පෙර වාමාංශික න්‍යාය පවා විකෘති කරමින් පෙනී සිටියේ, ත්‍රස්ත මර්දන අණපනත් තවත් ශක්තිමත් කරන්නටය. එහි ඔවුන් කොතරම් දුරක් ගියාද කියතොත්, යුද මුක්ත කලාපයට බර අවිවලින් පහර දෙනු කියා පෝස්ටර් ගහන තැනට පත් විය.

මොබ් කල්ලි කණ්ඩායම් !

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සැලකිල්ලට ගතහොත්, ඔහු යුද්ධයේ වීරයා සහ ෆීල්ඩ් මාර්ෂල් වන්නේ ත්‍රස්ත මර්දන පනත නිසා මිස, රෝස මල් විකිණීම නිසා නොවේ. ඔහුද හමුදාපති ලෙස කටයුතු කරන සමයේ කිසිම අවස්ථාවක ත්‍රස්ත මර්දන පනත අහෝසි කරන්න යෝජනා කරනු අසන්නට ලැබී නැත. මේ සියලු දෙනා එක පෙළට තැබුවොත්, මෑත දේශපාලන ඉතිහාසය තුළ රාජපක්ෂවරුන් නිසා මෙරට සිවිල් යුද්ධයේ ලකුණු අහිමි වූ පිරිසක් ලෙස පොදු කුලකයට දැමීමටත් දුෂ්කර නැත. වඩාත් හාස්‍යජනක සිදුවීම නම්, බලය තිබෙන සමයේ කළු ඩිපෙන්ඩර් රථයකින් තරුණයෙක් පැහැර ගැනීම සම්බන්ධව චෝදනා ලැබූ හිරුණිකා වැනි හිටපු මන්ත්‍රීවරියද මර්දනයට විරුද්ධයි කියා පාරට බැසීමය.

මේ ආකාරයට නොවැම්බර් 02 වැනිදා විරෝධයේ ‘අඩංගුව’ තුළ ඇත්තේ, මර්දනය විශ්වාසය කළ පිරිසක් මිස, මර්දනය, හිංසනය ප්‍රතික්ෂේප කළ පිරිසක් නොවේ. මනුෂ්‍යත්වයට නිගා දෙන දරුණු අණපනත්වලට විරුද්ධ ශිෂ්ට සමාජ නියෝජනයක් එතැන තිබුණේ නැත. සැබැවින්ම වසන්ත මුදලිගේ රඳවාගෙන තිබීම ආශීර්වාදයක් කරගෙන, හුදු ආණ්ඩු විරෝධය රනිල් විරෝධය යළි යළිත් සමාජගත කිරීමට සජිත්ගේ අපේක්ෂාව විය. එසේම, ෆොනී - කුමාර් දේශපාලන දීගය කොහොම වුණත්, දරුවගේ නම ‘ජනාධිපති සජිත් ප්‍රේමදාස’ විය යුතුය යන්න මතක් කර දෙන්නය. අනෙක් අතට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් විපක්ෂ නායකට ඇති ෆොබියා තත්ත්වයය.

එසේම මන්ත්‍රී ෆොන්සේකා සහ කුමාර් ගුණරත්නම්ගේ නොනිල සන්ධානයේ අපේක්ෂාවද මේ වන විට නිරීක්ෂණය කිරීම දුෂ්කර නැත. මේ මොහොතේ ඔවුන් ගෙන ඇති උපායමාර්ගික ප්‍රවේශය වන්නේ, මොබ් කල්ලි කණ්ඩායම් වැඩි වැඩියෙන් ආරක්ෂක අංශ සමඟ ගැටෙන්න සැලැස්සවීම සහ එය මෙරට දෛනික අංගයක් බවට පත් කිරීමය. සාමකාමී නිර්පාක්ෂික අරගලයේ අවසන් කාල සීමාව තුළ මුදා හැරුණු ත්‍රාඩ ප්‍රචණ්ඩත්වය සහ ඒ ඔස්සේ රටේ මතුවූ දේශපාලන අස්ථාවරත්වය යළිත් ඇති කර ගැනීමේ පැහැදිලි උපායමාර්ගික උත්සාහයක් ඒ තුළ පවතී. පොලිස් බැරිකේඩය හමුවේ තවදුරටත් ඉදිරියට යෑම වෙනුවට, ඒ ඉදිරිපිට සිට විරෝධතාව දැක්වීමට අනෙක් දේශපාලන නායකයන් යෝජනා කරන විට, ඔවුන් කුපිත වුණේ ඒ නිසාය.

කැපී පේන්න ගොස් ගුටි නොකා බේරීම !

සරල ආණ්ඩු විරෝධය සහ කැපී පේන්න ගිහින් ගුටි නොකා බේරී පැමිණ, දැන් සිදු වූ නින්දාව ගැන හිතමින් අඬන උදවිය, මේ ගැන මීට වඩා බරපතළ ලෙස සිතිය යුතුව ඇත. නිර්පාක්ෂික සාමකාමී අරගලයට නායකයන් නැතුව තිබුණේ , අරගලයට සංවිධානයක් නැතුව තිබුණේ, එය ප්‍රචණ්ඩ වනතුරු පමණය. මැයි 09 රාජපක්ෂවරුන් සිදු කරගත් ඓතිහාසික වරද හේතුවෙන් මේ වන විට මොබ් කල්ලි කණ්ඩායම් ආණ්ඩු පිහිටුවීමේ සහ හැසිරවීමේ තීරණාත්මක බලය තමන් බවට සිහිනයක පසුවෙයි. කොහොමටත් එතරම් පහසුවෙන් රාජපක්ෂවරුන් බලය අත්හරිනු ඇතැයි ඔය කවුරුත් සිතුවේ නැත. ඒත්, මැයි 09ට පසුව ආණ්ඩුව බාර ගැනීමට තරම් ධෛර්යයක් විපක්ෂ නායක ලෙස සජිත්ට නොතිබීමත්, එම නිසා දින කිහිපයක් මෙරට අග්‍රාමාත්‍යවරයෙක් හෝ කැබිනට් මණ්ඩලයක් හෝ නොමැතිව අරාජිකව පැවතීමත් නිසා, මොබ්වරුන්ගේ සිහිනය මානසික රෝගයක් කීමටත් නොහැකිය. තවත් පිරිසක් මොබ් කල්ලි කණ්ඩායම් ලෙස දිගටම පැවතීමේ අවස්ථා වෙනුවෙන් ක්‍රියා කරන බවක්ද පෙනෙන්නට ඇත.

ඔවුන් මේ සියලු දේ අත්දැකීමෙන් උගත්තේ ගෝල්ෆේස් අරගලයෙනි. මේ වන විට අනාවරණය වී ඇති ආකාරයට බිලියන ගණනක මුදලක් අරගලය තුළ සංසරණය වූ බව ප්‍රසිද්ධ රහසක්ය. අන්තර්ජාතික බලවේග ඇතැම් අරගල වෙස්ගත් ඒජන්තයන්ව නිවැරදිව හඳුනාගෙන වැටුප් ගෙවා නඩත්තු කර ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරවමින් ඇති බව ප්‍රසිද්ධ රහසක්ය. දින සිය ගණනක් දහස් ගණනකට කන්න - බොන්න, ඉන්න - හිටින්න පමණක් නොව, ඇතැමුන්ට තරු පහේ හෝටල්වල නවාතැන් ලැබුණේ කෙසේ ද? යන්නත් රහසක් වුවත්, එයද තේරුම් ගැනීමට නොහැකි දෙයක් නොවේය. අරගලයේ නායිකාවක වූ දමිතා අබේරත්න තමන්ගේ ගිණුම්වලට ලක්ෂ ගණන් මුදල් පැමිණි බවත්, ඒවා අරගලයට වියදම් කළ බවත් පැවසුවේ ප්‍රසිද්ධියේය. අරගලය අස්සේ කොහොම වෙස් බැන්දත්, අද වන විට ඇය නටන්නේ සජබ වේදිකාවේය. ආරක්ෂක අංශ අරගලය ගෝල්ෆේස් බිමෙන් ඉවත් කළත් ඔවුන්ට කොළඹ මාධ්‍ය මධ්‍යස්ථානයක් අටවා දුන්නේද සජබ නායකත්වය විසින්ය.

සාමකාමී නිර්පාක්ෂික අරගලය පළමුව ත්‍රාඩ ප්‍රචණ්ඩත්වයක් වෙත ඇද දැමීමෙන් නැවතුණේ නැත. එය අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ලෙස රටේ මර්මස්ථානද අත්කර ගන්නා තැනට පත් විය. ඒ අවස්ථාවේ, ‘නායකයෙක් නෑ, සංවිධානයක් නෑ කියා මුලින් කියූ වාරම්’ අමතක විය. හදිසියේ එළියට පැමිණි පෙසප නායක කුමාර් සඳහන් කළේ, අරගලය යනු රටේ අලුත්ම නීතිය හා සම්මුති කියාය. ව්‍යවස්ථාව දේව වාක්‍යක් නොවේ කියාය. එසේම දියවන්නාවෙන් එළියේ ජනතා බලය ස්ථාපිත කළ යුතුමයි කියාත් ඔහු කීවේය.

සත්‍ය තේරුම් ගැනීම !

අනතුරුව ෆොන්සේකා මන්ත්‍රීවරයා දිගින් දිගටම ආරක්ෂක අංශ වෙත තර්ජනය කර සිටියේ, අරගලයට අත නොතබන ලෙසය. ඇතැම් නීතිඥයන් ප්‍රසිද්ධියේ පැවසුවේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ නිවාසවල ලිපින ගැන ජනතාව දැනුම්වත් බවය. අනතුරුව රට ලේ විලක් වීම ඉක්මනින් සිදුවෙනු ඇති බව කිව්වේ සජබ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලය. ජනතාව අවි ගනී මම සහය දෙනවා කිව්වේ යළිත් ෆොන්සේකා මන්ත්‍රීවරයාය. එසේම ඔහු ඡන්දයෙන් පරාද කළ නොහැකි ආණ්ඩුව ගෙදර යවන හැටි කියන විට විපක්ෂ නායකද කිව්වේ ජනතා නැඟිටීමක් අත ළඟ කියාය.

මේ සියලු දෙනා මේ සියලු සෙල්ලම් දමන්නේ ලංකා ආර්ථිකය ඉතිහාසයේ දරුණුම අර්බුදයට මුහුණදී ඇති පසුබිමකය. වැටුණු ආගාධයෙන් රටත්, ජනතාවත් ගොඩදැමීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවා රෑ වෙහෙසෙමින් තම ආණ්ඩුව මෙහෙයවමින් සිටිනා පසුබිමකය. රටේ බහුතරයේ ඉල්ලීම වන්නේද එයය. ඔවුන් නිහඬ නමුත්, පිරිසෙන් අතිමහත්ය. ඒ බව විපක්ෂ නායකයා ප්‍රමුඛ මේ මොබ් කල්ලි කණ්ඩායම් නොදන්නවා නොවේ. ඔවුන්ට ඇති ප්‍රධාන ගැටලුව වන්නේම, වත්මන් අර්බුදය විසඳිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපති බව හොඳින්ම දැන සිටීමය. රාජපක්ෂවරුනුත්, අරගලයත් විසින් එකතුව වැනසූ සියල්ල, ජනාධිපති රනිල් එකින් එක ගොඩනඟමින් ඇත. මේ වන විටත් ජනාධිපති රනිල් සිදු කර ඇති වැඩ කොටස හේතුවෙන්, අත්පිට මුදලට වැඩ කරන මොබ් කල්ලි මිස විරෝධතාවකට කියා හදිස්සියට පාක්ෂිකයෙක් ගෙන්වා ගන්නත් බැරි තත්ත්වයක් මතුව ඇත. ඒ තුළ ඊළඟ ජන වරම නිහඬ බහුතරය දෙන්නේ රනිල් ජනාධිපතිට බව රහසක් නොවේය. ඒ හමුවේ ෆොන්සේකලා කුමාර්ලා වැනි අශුද්ධ සන්ධාන වියරු වැටීම සාධාරණය. සජිත් වැනි දුර්වලයකු ඒ අශුද්ධ සන්ධානවල පිහිට පැතීමත් ඒ වෙනුවෙන් ඕන වන්දියක් ගෙවීමේ සූදානමත් සාධාරණය. පුදුම විය යුතුව ඇත්තේ, 2015 දී රනිල්ව පරාජය කරන්න කියා සිතා තිස්සව රාජපක්ෂවරුන් අතට යැවූ සජිත්, 2020 දී රනිල්ව මට්ටු කරන්න එජාපය කඩාගෙන ගිය සජිත්, ඔය වැනි වැඩකට එකතු නොවුණා නම්ය.

සැබැවින්ම තනි මන්ත්‍රීවරයකු ලෙස බලය ගත්ත රනිල්, පළමු මොහොතේම පෙන්වා දුන්නේ තමන් ඊනියා අරගලයට මට්ටු කළ නොහැකි බවය. ගේ ගිනි තිබ්බත් මොබ්වරුන්ට ඕන ලෙස රනිල් දමනය වුණේ නැත. ඒ වෙනුවට ඔහු නීතිය සහ සමාජ පිළිවෙළ රකින්න රාජ්‍යය මෙහෙයවූ අතර, ඊනියා අරගලකරුවන්ට සිදු වුණේ ගෙදර යන්නය. දැන් දරුණු ආර්ථික අර්බුදය පසෙක තබා, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන සටන් පාඨය පෙරට ගෙනවිත් ඇත්තේ අන්න ඒ අරගලයට හීලෑ නැති රනිල් මට්ටු කරන අවිය ලෙසය. සේරම පිටුපස ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදයෙන් ලබා ගත නොහැකි බලය, හිංසනය, ප්‍රචණ්ඩත්වය, අරාජිකත්වය ඔස්සේ අත්පත් කර ගැනීමේ උත්සාහයය. නොවැම්බර් 2 නඩේ අඩුවෙන්ම විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වන අතර, වැඩියෙන්ම විශ්වාස කරන්නේ මර්දනයය. ඒ සන්ධානය ඇති වුණෙත්, කොටුවට හූවක් තියෙද්දී වූ සිද්ධියත් අපට උගන්වන්නේ ඒ පාඩමය. ඒ ගැන ලෙනින් පැවසුවේ, “සිදුවීම් සිදු වන්නේ කොක් හඬලා සිනාසීමටවත්, හඬා වැලපීමටවත් නොවේ. සත්‍ය තේරුම් ගන්නයි." යනුවෙනි.

 කුලසිරි ලියනගේ (දිනමිණ )