ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට ද "සායනිකව මිය ගොස්" අවසන් ය

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට ද "සායනිකව මිය ගොස්" අවසන් ය

අපි ඉන්නේ ICU එකේද? නෑ... ශ්‍රී ලංකා ක්‍රිකට් දැනටමත් "සායනිකව මියගිහින්" ඉවරයි! (The Clinical Death of SL Cricket)

ජරාවාස වූ ව්‍යුහය
අපි අදටත් ක්‍රිකට් මැච් එකක් පරාජය වුණාම බනින්නේ ක්‍රීඩකයින්ට, නායකයාට හෝ පුහුණුකරුවාට පමණයි. නමුත් අපි කවුරුත් අත නොතබන, කතා කිරීමට බිය වන, එහෙත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිකාවක් මෙන් ඇතුළතින් කා දමන සැබෑ මිනීමරුවා සැඟවී සිටින්නේ ක්‍රීඩා පිටියෙන් පිටත තිබෙන ජරාවාස වූ ව්‍යුහය ඇතුලෙයි. අපි අවුරුදු ගණනාවක් තිස්සේ "පරිවර්තන යුගයක්" ගැන කතා කරමින් අපවම රවටා ගනිමින් සිටිනවා.


image 9b21f45998
නමුත් විද්‍යාත්මක සහ තාර්කික ඇසකින් බලන ඕනෑම අයෙකුට පෙනී යන සත්‍යය නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විටත් සායනිකව මිය ගොස් ඇති බවත්, අප දැන් කරන්නේ මියගිය දේහයකට විදුලි සැර අල්ලමින් එය නැවත නැගිටියි කියා බලා සිටීම වැනි නිෂ්ඵල ක්‍රියාවක් බවත් ය. අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා මදිකම හෙවත් "Skill Gap" එක අහසින් කඩා වැටුණු දෙයක් නොවෙයි. එය අපේ දේශීය ක්‍රිකට් ව්‍යුහය සහ පාසල් පද්ධතිය විසින් දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණය කරන ලද අවාසනාවන්ත ප්‍රතිඵලයක්.

Best vs Best හෙවත් හොඳ ම අය හොඳ ම අයට එරෙහිව

මේ ඛේදවාචකයේ මූලාරම්භය සොයා යද්දී අපට හමුවන ප්‍රධානතම සහ භයානකම සාධකය වන්නේ අපේ පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහයේ ඇති වරදයි. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ අංක එකට සිටින ඕස්ට්‍රේලියාව දෙස බලන්න.

මිලියන 26ක ජනගහනයක් සිටින ඕස්ට්‍රේලියාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ෂෙෆීල්ඩ් පළිහ (Sheffield Shield) සඳහා තරග වදින්නේ කණ්ඩායම් 6ක් පමණයි.

මෙහි තිබෙන විද්‍යාත්මක තර්කය ඉතා සරලයි. මුළු ඕස්ට්‍රේලියානු මහද්වීපයේම සිටින දක්ෂතම වේග පන්දු යවන්නන් 20 දෙනා සහ දක්ෂතම පිතිකරුවන් 30 දෙනා බෙදී යන්නේ මෙම කණ්ඩායම් 6ට පමණයි. එහි ප්‍රතිඵලය වන්නේ "Best vs Best" හෙවත් හොඳ ම අය හොඳ ම අයට එරෙහිව තරග වැදීම යි.


as

Talent Dilution හෙවත් දක්ෂතාව දිය වී යෑම

නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය කුමක්ද? මිලියන 22ක් සිටින අපේ රටේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම් 24ක් හෝ 26ක් තිබෙනවා. මෙය විහිළුවක් නොව මහා අපරාධයක්. අප සතුව සිටින සීමිත දක්ෂතා ඇති ක්‍රීඩකයින් පිරිස මේ කණ්ඩායම් 26 අතරේ බෙදී ගිය විට සිදුවන්නේ "Talent Dilution" හෙවත් දක්ෂතාව දිය වී යෑමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ අපේ ජාතික මට්ටමේ සිටින සුපිරි පිතිකරුවාට දේශීය තරගවල දී මුහුණ දීමට සිදුවන්නේ සාමාන්‍ය, ගමේ මට්ටමේ පන්දු යවන්නෙකුටයි.

ඉතින් අපේ පිතිකරුවන් දේශීය තරගවල දී ලකුණු දහස් ගණන් රැස් කරනවා. නමුත් මේ බොරු සංඛ්‍යාලේඛන පොදි බැඳගෙන ජාත්‍යන්තරයට යන අපේ ක්‍රීඩකයාට, ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් හෝ ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා මුණ ගැසුණු විට අර දේශීය පිටියේ තිබූ පහසුව ලැබෙන්නේ නෑ. අපේ සිස්ටම් එකෙන් බිහි කරන්නේ "මරුටි" කාර් රේස් පදින රියදුරන් වුණාට, ඔවුන්ට තරග කිරීමට සිදුව ඇත්තේ "ෆෝමියුලා වන්" රේස්වල ය.


Half-baked හෙවත් අඩක් පිසූ කෑම

මෙතනින් නොනැවතී අපි පාසල් ක්‍රිකට් පද්ධතිය දෙසට හැරෙමු. "ලෝකයේ හොඳම පාසල් ක්‍රිකට් ව්‍යුහය ඇත්තේ ලංකාවේ" යැයි පවසමින් අපි ආඩම්බර වෙනවා. මෙය තවත් එක් මුළාවක් පමණයි. ඔව්, අපට පාසල් තරග දහස් ගණනක් තිබෙනවා. නමුත් ප්‍රශ්නය වන්නේ ඉන් බිහිවන නිමවුමේ ගුණාත්මක භාවය යි (Quality of the Product). වර්තමාන පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ එකම අරමුණ වන්නේ කෙසේ හෝ පාසලට කුසලානයක් දිනා දීමයි. ඔවුන්ට අනාගත ජාතික ක්‍රීඩකයෙක් බිහි කිරීමේ වුවමනාවක් නෑ. මේ නිසා ඔවුන් කරන්නේ තාක්ෂණය (Technique) පැත්තක දමා, ලකුණු ගහන ඕනෑම ක්‍රීඩකයෙක්ව තරගයට දාන එකයි. අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෙක් එළියට එද්දී ඔහු "Half-baked" හෙවත් අඩක් පිසූ කෑමක් වගේ. සංගක්කාරලා, මහේලලා බිහි වුණේ තාක්ෂණය මුල් කරගත් යුගයක. අද බිහිවන්නේ ජයග්‍රහණය පමණක් මුල් කරගත් "Result-oriented" යුගයක ඵල ය.

d7179987714cdef5886d99ed2e03f171 XL

ශාරීරික යෝග්‍යතාව (Fitness) සහ ජෛව යාන්ත්‍රික (Biomechanics) දැනුම

මේ කුණු වුණු ක්‍රමවේදය හරහා බිහිවන ක්‍රීඩකයාගේ ශාරීරික සහ තාක්ෂණික දුර්වලතා ගැන ඊළඟට කතා කරමු. නූතන ක්‍රිකට් කියන්නේ විද්‍යාවක්. අද ලෝකයේ ක්‍රිකට් පාලනය කරන්නේ "Power" සහ "Data" විසින්. නමුත් අපේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව (Fitness) සහ ජෛව යාන්ත්‍රික (Biomechanics) දැනුම තිබෙන්නේ ඉතාම පහළ මට්ටමක. මේ නිසා අපේ ක්‍රීඩකයින් ජාත්‍යන්තරයට එන්නේ "Skinny Fat" හෙවත් බැලූ බැල්මට කෙට්ටු වුණාට ශරීරයේ මේදය වැඩි, මාංශපේශී ශක්තිය අඩු ශරීර ස්වභාවයක් එක්ක. හෙන්රික් ක්ලාසන්ලා, රෝහිත් ෂර්මාලා වගේ ලෝක පූජිත ක්‍රීඩකයින්ගේ "Bat Speed" එක සහ පන්දුවට පහර දෙන බලය (Power Hitting) එන්නේ ඔවුන්ගේ වර්ධනය කරගත් මාංශපේශී පද්ධතියෙන්.

F9M85BZa0AAQ6Wsහෙන්රික් ක්ලාසන්
පන්දු යවන්නන් ගත්තම මේ තත්ත්වය වඩාත් භයානකයි. පැයට කිලෝමීටර් 145ක වේගයෙන් පන්දු යැවීමට අවශ්‍ය කරන "Fast Twitch Muscle Fibers" කුඩා කාලයේ සිටම පුහුණු කළ යුතු දෙයක්. අපේ පාසල් සහ ක්ලබ් මට්ටමේ දී එවැනි විද්‍යාත්මක පුහුණුවක් ලැබෙන්නේ නෑ. ඉතින් අපේ වේග පන්දු යවන්නෙක් මැච් එකක් පටන් ගද්දි 135ට දාලා, ඕවර් 4ක් යද්දි 125ට බහිනවා. මේක "Skill Issue" එකක් තමයි, හැබැයි ඒ ස්කිල් එක නැති වුණේ අපේ සිස්ටම් එක ඇතුළෙ ඒක වර්ධනය කරන්න ඉඩක් නැති නිසා.

අපි මැච් පරදින ඇත්ත ම දවස

මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය තමයි "The Mismatch" හෙවත් නොගැලපීම. අපි අද අපේ ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ අංක 1 කණ්ඩායම් එක්ක සංසන්දනය කරන්න හදනවා. ඒක හරියට කොටළුවෙක් සහ අශ්වයෙක් රේස් යවනවා වගේ වැඩක්. අපි මැච් එක පරදින්නේ ග්‍රවුන්ඩ් එකේ දි නෙවෙයි. අපි මැච් එක පරදින්නේ අපේ ක්ලබ් ටූනමන්ට් එක පටන් ගන්න දවසෙමයි.

අනාගතය දෙස බැලුවොත් පෙනෙන්නේ ඉතාම අඳුරු චිත්‍රයක්. සිම්බාබ්වේ වගේ රටවල් පවා අද අපිට අභියෝග කරනවා නෙවෙයි, අපේ මූණට ම දමලා ගහනවා. අපි තාම ඉස්සර දිනපු වර්ල්ඩ් කප් එකේ වීඩියෝ බල බල, 'අපිට හෙණ ටැලන්ට් එකක් තියෙනවා' කියලා අපිවම රවට්ට ගන්නවා. ඒත් ලෝකේ අනිත් උන් අපිට හිනාවෙනවා කියලා අපි දන්නේ නෑ.

G0Lfb zWAAAB5u

දැන්වත් මේ ඇත්ත පිළිගෙන, මුළු සිස්ටම් එකම ගලවලා විසි කරලා අලුතින් හැදුවේ නැත්නම්, ඊළඟ පරම්පරාවට "ශ්‍රී ලංකා ක්‍රිකට්" කියන්නේ ඉතිහාස පොතේ තියෙන පාඩමක් විතරක් වේවි. මේක තිත්ත ඇත්තක්. හැබැයි බොරු බලාපොරොත්තු දීලා තවත් රැවටෙනවට වඩා, මේ ඇත්ත දැනගෙන මැරෙන එක සැපයි.

කශේරුකාව ශක්තිමත් පාලකයින් වෙත...

මේ වැටිලා තියෙන පාතාලෙන් ගොඩ එන්න "ෂෝට් කට්" නෑ. හැබැයි කරන්න ඕන දේ පැහැදිලියි. කොන්ද පණ තියෙන පාලකයෝ ඉන්නවා නම් මෙන්න මේ ටික හෙට ඉඳන් ක්‍රියාත්මක කරන්න.

1. ක්ලබ් 26 කතාව නවත්තලා "Provincial" ගහමු: කැත නැතුව කියනවා නම්, අර ක්ලබ් 26ට බෙදෙන සල්ලි ටික එකතු කරලා, පළාත් මට්ටමින් ප්‍රධාන ටීම් 5ක් හෝ 6ක් හදන්න. (උදා: කලම්බු, කැන්ඩි, ගෝල්, දඹුල්ල, ජැෆ්නා). මුළු ලංකාවෙම ඉන්න හොඳම ක්‍රීඩකයෝ 70 දෙනා මේ ටීම් 5ට දාලා, එකෙක්ට එකෙක් මරාගන්න මැච් ගහන්න ඕන. එතකොට බිහිවෙන්නේ "ක්ලබ් ප්ලේයර්ස්ලා" නෙවෙයි, "ඉන්ටර්නැෂනල් කොලිටි" ප්ලේයර්ස්ලා. ක්ලබ් වල ඡන්ද ටික නැති වෙයි කියලා බය නායකයෝ ඉන්නකන් මේක කරන්න බෑ.


363967748 670202575144862 3086605493054981853 n 1080x675
2. කුඹුරු වගේ පිච් හදන එක නවත්තමු: අපේ ස්පින් බෝලර්ලාට විකට් ගන්න ලේසි වෙන්න හදන දූවිලි පිච් ටික ගලවලා දාන්න. ලංකාවේ ඩොමෙස්ටික් මැච් ගහන්න ඕන තණකොළ තියෙන, බෝලේ වේගෙන් එන (Bouncy & Green) පිච්වල. එතකොට තමයි අපේ බැටාලා බය නැතුව ෆාස්ට් බෝලර්ලාට ගහන්න පුරුදු වෙන්නේ.

3. Mandatory Science & Fitness Standards: "යෝ-යෝ ටෙස්ට්" (Yo-Yo Test) එක පාස් වෙන්නේ නැති එකා කොච්චර දක්ෂ වුණත් ටීම් එකට ගන්න හොඳ නෑ. ඒක අනිවාර්ය කරන්න ඕන. හැම පළාත් ටීම් එකකට ම Biomechanics ලැබ් එකක්, ඩයලීසිස් කරනවා වගේ ඇඟවල් හදන Trainer කෙනෙක් ඉන්න ඕන. ක්‍රීඩකයින්ගේ ආහාර පාලනය (Diet Plan) අනිවාර්ය කරන්න ඕන.


image bb07e8a488
4. පාසල් ක්‍රිකට් "Re-engineering": පාසල් පුහුණුකරුවන්ට "මැච් දිනනවාට" වඩා "හොඳ ම තාක්ෂණය සහිත ක්‍රීඩකයෙක් බිහි කිරීමට" මුදල් සහ ප්‍රසාද දීමනා දෙන ක්‍රමයක් හදන්න ඕන. අවුරුදු 15න් පහළ දරුවන්ට T20 මානසිකත්වයෙන් ක්‍රීඩා කිරීම සහ ඒ ආශ්‍රිත කෙටි තරග මුළුමනින් ම තහනම් කරලා, ඔවුන්ට දවස් දෙකේ (2-Day Matches) ටෙස්ට් ආරේ තරග වැඩිපුර ක්‍රීඩා කිරීමට සැලැස්විය යුතුයි.

5. ඡන්ද මාෆියාව සහ ව්‍යවස්ථාව වෙනස් කිරීම : දැන් ආණ්ඩුවෙන් ක්‍රිකට් එකට අත දාන්නේ නෑ කියල අපි දන්නවා. ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බෝඩ් එක ඇතුළෙ ම යි. ලෝකේ කිසිම රටක නැති විදියට අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය පත් වෙන්නේ "ඡන්ද" වලින්. පුංචි පුංචි ක්‍රීඩා සමාජ (Clubs) සිය ගණනකට සල්ලි බෙදලා, ඒ ඡන්ද ටික අරගෙන බලයට එන "නිලධාරි මාෆියාවක්" තාම ඇතුළෙ ඉන්නවා. මේක නවත්තන්න නම් කළ යුත්තේ එකම දෙයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව (Constitution) සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම. අර පෙට්ටි කඩ වගේ තියෙන ක්ලබ්වල ඡන්දවලින් සභාපතිලා පත් වෙන ක්‍රමය අහෝසි කරන්න ඕන. ඒ වෙනුවට, ස්වාධීන, වෘත්තීය මට්ටමේ අධ්‍යක්ෂක මණ්ඩලයක් (Independent Board of Directors) පත් කරගන්නා ක්‍රමයක් හදන්න ඕන.


මේ ටික නොකර, අපි තව අවුරුදු 100ක් කෝච්ලා මාරු කර කර හිටියත් වෙන්නේ එකම දෙයයි. ලෙඩාට ඕන පැනඩෝල් නෙවෙයි, ලෙඩාට ඕන බයිපාස් එකක්; ඒක කරන්න බැරි නම්, දැන්ම කඩේ වහලා දාමු.

(උපුටා ගත්තේ නොකී කතා – Untold Stories පිටුවෙන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න