‘මේකප්’ ප්‍රතික්ෂේප කළ දෙනවක හාමිනේ

‘මේකප්’ ප්‍රතික්ෂේප කළ දෙනවක හාමිනේ

දෙනවක හාමිනේ ගැන ලියන්නට ගොස් මම බොහෝ වෙලා කල්පනා කරමින් සිටියෙමි.

ඇය අපට හමුවන විට වයෝවෘද්ධ නිළියක වුව ද ඒ නිසාම දෙනවක හාමිනේ කා අතරත් ජනප්‍රිය වූවා ය. චරිත නිරූපණයේ දී අවශ්‍ය වන්නේ ඇයට දෙබස් ටික දීමත් චරිතය ගැන යම්තමින් මතක් කිරීමත් පමණි. ඉතිරි සියල්ල ඇය සියයට සියයකින් නොව සියයට දෙසියකින් ම සම්පූර්ණ කරන්නී ය. එමෙන්ම ඇය දර්ශන තලයේ දී ඉතා සුහදශීලී නිළියක වූවා ය. ඇය සමඟ වැඩ කරන්නට ආසා හිතෙයි.

'' අද මහන්සියි, හෙට ඉතුරු ටික කරමු ද...?'' ඇය එසේ නොවේ...

අතරමග නැවතුණු මගේ මුල්ම චිත්‍රපටය වූ “ශිල්ප දෙනු මැන” හි ඇය රඟපෑවේ වසන්ති චතුරාණිගේත්, සීවලී වික්‍රමආරච්චිගේත් මව ලෙස ය. අමරසිරි කලංසූරිය ඇගේ දියණිය වූ වසන්ති විවාහ කරගන්නට බලාපොරොත්තුවෙන් සිටි පෙම්වතා වූයේ ය. රූගත කිරීම් යොදාගෙන තිබුණේ බණ්ඩාරවෙල වැලිමඩට කිට්ටුව ගොවිපොළක් තිබූ නිවසකි. ඇයට ඒ කාලයෙ දී ද වයස හැත්තෑවකට වැඩි ය. කොළඹ සිට බණ්ඩාරවෙලට යන්නට ම පැය හය හතක් ගතවෙයි. ගමන වෙහෙසකර ය. අප නැවතී සිටියේ බණ්ඩාරවෙල ටවුමේ ය. රාත්‍රී දර්ශනවලින් පසු හීතලේ ගැහෙමින් වැලිමඩ සිට ආපසු අප බණ්ඩාරවෙලට එනවිට බොහෝ රෑ බෝ වෙයි. වියපත් නිළියක වුව ද ඇය කිසිම දිනෙක රූගත කිරීම්වල දී බැහැ යයි කීවේ නැත. අද මහන්සියි, හෙට ඉතුරු ටික කරමු ද යැයි කීවේ නැත. මහ රෑ පසුවන තුරු ද ඇය රූපගත කිරීම්වලට සූදානම් ය.
or
සිත රිදවන සිහින් රිදුම

ඊට පෙර චිත්‍රපට ගණනාවක දී ම වසන්ති සහ කලං සමඟ රඟපා ඇති දෙනවක හාමිනේ ඔවුන් සමග වඩාත් කුළුපග වූවා ය. සුප්‍රකට කැමරා ශිල්පි ඩොනල්ඩ් කරුණාරත්න සමග “ශිල්ප දෙනු මැන” පටන් ගත්ත ද බණ්ඩාරවෙල දර්ශන සඳහා ඔහු එවූයේ මර්සලින් එස්. පෙරේරා ය. ඩොනල්ඩ් මගේ චිත්‍රපටයට දින දුන් නමුදු ඔහු ඒ දිනවල ම තවත් වැඩක් භාරගෙන තිබිණ. ජව සම්පන්න නළුවකු වූ විල්සන්කරු අපගේ ආරක්ෂකයා මෙන් විය. ඔහු එහි රඟපෑවේ දේශපාලකයකුගේ චරිතයකි. එම ජවනිකා මැකී ගිය සිහිනයක් මෙනි. ඉතිරිව ඇත්තේ එම චිත්‍රපට දර්ශනවල නිශ්චල ඡායාරූප කිහිපයක් පමණකි. නෙගටිව් පොසිටිව් පට පමණක් නොව ශබ්දපට සියල්ල ද සරසවි චිත්‍රාගාරයේ දුර්වල පාලනය නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. ඒ ගැන සිහිපත් වනවිට තවමත් සිත සිහින් රිදුමකින් හිරවී යයි.

511310352 1271943164325834 9159137151171078145 n

දේශපාලකයින් ගේ ඔඩොක්කුවට වැටුණු කලාකරුවෝ

සිනමාව ගැන බෙරිහන් දෙන බොහෝ කලාකරුවෝ සරසවි චිත්‍රාගාරයේ වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා නොකිරීම නිසා නෙගටිව් පට පොසිටිව් පට විනාශ වී යන බව දැන කරබාගෙන සිටියහ. තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් නොදන්නාක් මෙන් සිටියහ. ශබ්දපට හා පොසිටිව් පට දමා තිබුණු වානේ අල්මාරි තිබෙන තැන වැස්සට තෙමෙන බව චිත්‍රපට සංස්ථා බලධාරින් නොදැන සිටියා ද? වැස්සට තෙමුණු වානේ අල්මාරියෙන් වතුර කාන්දු වී සියල්ල ම විනාශ වී ගියේ හද කම්පා කරවමිනි.

එහෙත් ගිය ගිය තැන මේ ඇතැම් කලාකරුවන් කතා කළේ සිනමාව නග්ගන්ටය. ඒ කාලයට විවිධ දේශපාලකයින් ගේ ඔඩොක්කුවට වැටී තාන්න මාන්න වරප්‍රසාද තනතුරු පමණක් නොව වැටුප් ද ලබාගත් ඇතැම් කලාකරුවෝ මේ ගැන ඇහැක් ඇර නොබැලූහ. මෙවැනි බොරු සෝබන කලාකරුවන් මැද සිනමාව මේ තරමින් වත් රැකී තිබීම දෙවියන්ගේ ආශිර්වාදයකි. අද සිදුවෙමින් පවතින්නේ ද එය යි.


පුතේ මගේ පිටට තට්ටු කරන්න

ආර්ථික දුෂ්කරතා නිසා වරින් වර රූගත කිරීම් කර අවසාන වූ පසු දෙබස් පටිගත කිරීම් යොදාගෙන තිබිණ. ඒ කාලය වන විට දෙනවක හාමිනේගේ දෙනෙත් බොහෝ දුර්වල වී ගොස් තිබිණ.

“පුතේ මට මොකුත් පේන්නේ නෑ. මට දෙබස් කියන්න ඕනෑ තැනට එනකොට පිටට ඇඟිල්ලෙන් තට්ටු කරන්න” ඇය කීවා ය.

රූපයෙන් රූපය චිත්‍රාගාරයේ දී ලූපයක් මේන් කැරකෙයි. කැරකෙන අතරවාරයේ නියමිත තැනට ආ පසු තොල් චලනයට ගැළපෙන සේ දෙබස් කිවිය යුතු ය. එය කෙරුණේ ද සරසවි චිත්‍රාගාරයේ දී ය.

ලූපය කැරකැවෙයි (එයට පාවිච්චි කළ නම වූයේ ලූපයයි) දෙබස කලින් කියන අපි, අවශ්‍ය ම තැනට රූපය එද්දී දෙනවක හාමිනේගේ පිටට හෙමිහිට තට්ටු කරමු.

දෙනෙත් නොපෙනුණද ඇගේ හඬ ඒ රූපයේ තොල් චලනයට හරියටම හරිය. ඒ වන විට ද ඇය අවුරුදු අසූවකට ළං වී සිටියා ය. එහෙත් දෙබස් හරියටම මතක තිබිණ.

එතරම් දුෂ්කරතා මැද “ශිල්ප දෙනු මැන” චිත්‍රපටය අවසන් කර ගත්ත ද එකල බලධාරීන්ගේ “හොඳකමට” ඒ සියල්ල විනාශ වී ගියේය.

දෙනවක හාමිනේ නොහොත් අප හැම දෙනාම ඇය අමතන ආදරණීය නාමය වන දෙනවක ඇන්ටි මතක් වනවිට ඒ සියල්ල සිතුවම් පටක් මෙන් සිහිපත් වන්නේ සිහින් රිදුමක් ද සමග ය.


514059299 1271943204325830 1061142267654456662 n

නිවසින් කොටසක් මාර්ග සංවර්ධනයට බිලිව

හැත්තෑ ගණන්වල අසූ ගණන්වල දෙනවක ඇන්ටි පදිංචිව සිටියේ මරදානේ ටවර් රඟහලට ඉහළින් පිහිටා තිබූ කුඩා නිවසකය. එයට පහසුවෙන් ම ළඟා විය හැකි මාර්ගය වූයේ ටවර් රඟහලට යාබදව තිබූ සිමෙන්ති පඩිපෙළ නැග යාමෙනි. වාහනයකින් යනවා නම් පැරැණි සෙන්ට්‍රල් සිනමාහල පැත්තට ගොස් ටික දුරක් යා යුතුය.

දැන් ඒ සියල්ල හඳුනාගත නොහැකි තරමට වෙනස් වී ඇත. සෙන්ට්‍රල් සිනමා හල දැන් නැත. එකල ද දෙනවක ඇන්ටිගේ ගෙයි කොටසක් පාර විශාල කිරීම නිසා කැඩී ගියේය. ගේ තවත් කුඩා විය.

තම දියණිය පන්නිපිටියේ පදිංචිව සිටිය ද කලා කටයුතුවලට යෑම් ඊම් පහසුවීම නිසා ඇය මෙම නිවසේ පදිංචිව සිටියා ය. ඇය එකල කඩා දැමුණු නිවස දෙමහල් නිවසකට පරිවර්තනය කිරීමට උත්සාහ දරමින් සිටියා ය. 1978 ජුනි මාසයේ මා ඇය හමුවීමට යනවිට ඇය කීවේ ඇගේ වයස අවුරුදු 70ක් බව ය.


රැලෙක්ස් දුන් නම

ඇගේ මුල් නම දෝන ජෝර්ජියානා මෙරායා ගුණතිලක ය. එහෙත් දෙනවක හාමිනේ කියා නම දැම්මේ රැලෙක්ස් රණසිංහය. එනම් ටෝනි රණසිංහගේ අයියා ය. ඔහු ඉතා දක්ෂ කැමරා ශිල්පියෙකි.

“අපි හිටිය පරණ ගෙයි විශාල කොටසක් මේ පාරට කැඩිලා ගියා. දරුවො ඉතින් ආපහු සැරයක් ගේ හදන්න සිද්ධ වුණා. අපිට තියෙන්නෙ සීමිත ඉඩකඩක්. ඒක නිසා තට්ටු දෙකට හදන්නයි ඉන්නෙ” ඇය එදා කීවා ය.

“මම කිසිම රඟපෑමකදී මේකප් දාන්න දෙන්නෙ නෑ. මට මේකප් දැම්මම එම්බාම් කරල වගේ. මම රඟපාන්නෙ මගෙ වයසට හරියන චරිත. ඉතින් අමුතුවෙන් වෙස් ගැන්නුවම හරිම අස්වාභාවිකයි” ඇය තවත් වරෙක කීවාය. දෙනවක හාමිනේ චිත්‍රපට හෝ නාට්‍ය නැරැඹුවේ කලාතුරකිනි.


2023 08 18 17 30 31.107639862 973212013110803 3394125745006506463 n
පොත් පත් කියවන්න ආසයි

“සමහර වෙලාවට මම රඟපෑ චිත්‍රපටයක්වත් බලන්න මට වෙලාවක් ලැබෙන්නෙ නෑ. වෙන එකක් තියා පත්තරයක්වත් බලන්න වෙලාවක් නෑ. මේ නිසා විවේකයෙ දී පොත්පත් කියවනව කියල කියන්න මට බෑ. හැබැයි මට පොත් පත් කියවන්න ලොකු ආසාවක් තියෙනවා.

එකල ඇගේ නිවස අලුතින් හදාගෙන යන නිසා එහි පිළිවෙළක් තිබුණේ නැත. සිමෙන්ති කොට්ට, බ්ලොක් ගල් ගොඩවල්, වැලි ආදිය තැනින් තැන දමා තිබිණ. ඇය වරින්වර වැඩ කරන පිරිසට තේ හදා දුන්නා ය. උදව් උපකාර කළාය.


බිත්තියේ දුටු නිහඬ චිත්‍රපට

“මම පුංචි කාලෙ බයිස්කෝප් බලලම නෑ. අපිව ගෙදරින් බයිස්කෝප් බලන්න යැව්වෙ නෑ. අපේ මම්මල බයිස්කෝප් විතරක් නෙමෙයි ඒවට සම්බන්ධ අය ගැනත් අමුතු විදියටයි හිතුවේ.

“මම දවසක් පප්පට කරදර කෙරුව බයිස්කෝප් බලන්න. පප්පා කීවා පස්සෙන්දා අපේ ගෙදර බයිස්කෝප් පෙන්නනව කියලා. මම යාළුවෝ හැමෝටම කිව්වා. හරියට ම කිව්ව දවසෙ හැන්දෑවෙ කොළඹින් මැජික්කාරයෙක් මොනවද ආම්පන්න වගයක් පටවගෙන ගොන් කරත්තෙන් ආවා චිත්‍රපටය පෙන්නුවෙ අපේ ගෙදර බිත්තියෙ. සද්ද මොකුත් නෑ. ඒ චිත්‍රපටයෙ සුද්දො ගහ ගත්තා. වෙඩි තියා ගත්තා. ලේ පෙරි පෙරි තුවාල කර ගත්තා.”

“එදා පප්ප ඇහුවා චිත්‍රපටය හොඳද කියලා. මට නම් ගහගන්න ඒව දැකල බයිස්කෝප් එපා වුණා. මට එතකොට අවුරුදු 14ක් විතර ඇති” ඇය තවත් දිනෙක මා සමඟ කීවාය.

දෙනවක හාමිනේ උපන්නේ 1906 පෙබරවාරි 20දා ගම්පහ ඉඹුල්ගොඩදීය. අප අතරින් වෙන්වූයේ 2002 දෙසැම්බර් 9වෙනි දා ය. එවිට ඇයගේ වයස අවුරුදු 96කි.


පත්තරෙ නම පළ වෙනවට ලැජ්ජයි

“අපි නැති බැරි මිනිස්සු නෙමෙයි. රස්සාවට කළේ ගුරුකම. අපිව බලන්න ගෝලයෝ ගෙදරට එන්නෙ එක පැත්තක කෙහෙල් කැනක් අනෙක් පැත්තෙන් කැවුම්, අතිරහ අරගෙන.

මම රඟපාන්න පටන් ගත්තෙ අවුරුදු 55දි. මම ජී.ඩී.එල්. පෙරේරාගේ නාට්‍යවල රඟපාන කොට මම කියනවා අනේ වඳින්නම් මගේ නම නම් පත්තරේ දාන්න එපැයි කියල. මට හරි ලැජ්ජාවක් තිබුණ නිළියක් හැටියට නම පත්තරේ යනවට...”


රුක්මණිය ගේ ඇගයුම
 
 
Rukmani Devi 1923 1978
“දැන් මම චිත්‍රපටවල රඟපාන්න පටන් අරගෙන අවුරුදු 13ක් වෙනවා. (මේ බව ඇය මට පැවැසුයේ 1979 වසරේදීය) ඒ කාලෙ රඟපෑම් ගැන අගයක් නොතිබුණු නිසා මට සැලකිලි ලැබුණෙ නෑ. දවසක් රුක්මණි දේවිත් ඇවිත් මට කිව්වා 'ඔයා ඔයාගෙ අගේ තාම තේරුම් අරගෙන නෑ' කියල.”

“මම ‘සාමා’ චිත්‍රපටයේ රඟපානව දැකල මම හරියට සතුටු වුණා. අනේ මම කොයිතරම් හොඳට රඟපානවද කියල හිතුණා. මගේ නම තිරයෙ වැටෙනකොට මට සතුට වැඩිකමට ඇඬුණා. දැන්නම් මේව මතක් වෙන කොටත් හිනායි.”

බොහෝ විටෙක එකල මම මරදානේ ටවර් රඟහල පැත්තට යන විට සිමෙන්ති පඩිපෙළ නැග දෙනවක ඇන්ටිගේ ගෙදරට යෑමට අමතක නොකරමි. ඇය ගෙදර සිටියොත් බොහෝ දෑ කතා කළ හැකි ය. ඇය සමග පිළිසඳරේ යෙදීම සතුටකි.


මුනුබුරන් ද සිනමාවට

ඇගේ මුනුබුරන් සිනමාවට සම්බන්ධ බව ඇය කීවේ මහත් ආඩම්බරයෙනි. පාලිත සෙනරත් යාපා: දෑස නිසා, කොළඹ සන්නිය ඇතුළු චිත්‍රපටවල රඟපෑ අතර පසුව ජාතික රූපවාහිනියේ ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂ ලෙස පත්විය. ඔහු පසුගියදා අප අතරින් සමුගත්තේය. උදය “දඬු මොනරය” චිත්‍රපටයේ රඟපෑවේ ය.

මුනුබුරන්ට දෙනවක ඇන්ටි කොතරම් ආදරය කළා ද යත් රූපගත කිරීම් සඳහා ගිය ගමනක දී වූ සිදුවීමක් ඇය එකල මා සමඟ කීවේ සිනහවෙමිනි.


වී කුරුල්ලකු වූ ලේන් පැටියා
 
2023 08 18 17 30 31.363982073 296104979662720 8910019430380879199 n

“අපි අනුරාධපුරේ ෂූටින් ගියා (චිත්‍රපටයේ නම මට දැන් මතක නැත) එහෙදී පුංචි ලේන් පැටියෙක් වැටිල ඉඳල අහුවුණා. මගෙ මුණුබුරෝ හරි ආසයි ලේන් පැටවුන්ට. මම ඔය ලේන් පැටියව කාඩ්බෝඩ් පෙට්ටියක දාලා දවස් කීපයක්ම කිරි පොව පොව තියාගත්තා කොළඹ ගෙනත් මුනුබුරාලට දෙන්න. ෂූටින් ඉවරවෙලා ගෙදර එන දවසෙත් උදේ ලේන් පැටියට කිරි පොවල සපත්තු පෙට්ටියේ දාගෙන ගෙදර ගෙනාවා.

ගෙදර ගෙනල්ල පෙට්ටිය ඇරල බැලුව විතරයි මෙන්න පෙට්ටිය ඇතුළෙ ඉඳල වී කුරුල්ලෙක් ඉගිළිලා ගියා. ලේන් පැටියා වී කුරුල්ලෙක් වෙලා. මට හරි කේන්තියි. කවුරු හරි ලේන් පැටියාව අයින් කරල මට හොරෙන් ඒකට වී කුරුල්ලෙක් දාල. හොයාගෙන යනකොට ෆ්‍රෙඩී සිල්ව තමයි ඒක කරල තියෙන්නෙ. වැඩේ කියන්නෙ පස්සෙන්ද මම ගේ ළඟ කඩේට යනකොට පත්තර කඩේ ළමයා අහනවා හරි වැඩේ නේද ඇන්ටි වුණේ. ඇන්ටි අනුරාධපුරෙන් ගෙනා ලේන් පැටියා වී කුරුල්ලෙක් වෙලාලු නේද...” කියල

''මට හරිම පුදුමයි... මම ඇහුවා කොහොමද දන්නෙ කියල. පත්තර ළමය කියාපි ''ඔය පත්තරේ දාල තියෙන්නෙ' කියල.''

“ලේන් පැටිය අයින් කරල වී කුරුල්ලා දැම්ම මදිවට ඒක පත්තරේටත් දීලා. ෆ්‍රෙඩීගෙ වැඩ ඔය වගේ තමයි” කියමින් ඇය මහ හඬින් සිනාසුණා ය.

ටෝනි ගෙන් ලණුවක්

“අනෙක් එක්කෙනා තමයි ටෝනි. චිත්‍රපටය ‘පෙති ගෝමර’ උදෙන්ම ටෝනි මට කතා කළා. අපේ ගෙදරට දැන් ෂූටින්වලට එක්ක යන්න කට්ටිය ඇවිල්ලා ඉන්නෙ ඔයා ලෑස්ති ද?” කියල.

“එනව කිව්වෙ දවාලටනෙ” මම කිව්වා

“ටිකක් වෙලාසන යනව, කියල මට කියන්න කිව්වා” ටෝනි එහෙම කිව්වම මම ඉක්මනට ඇඳගෙන ඇඳුම් බෑග් එකත් ලෑස්ති කරගෙන ඉන්නවා. පැය ගාණක් ගත වුණා. ඒත් කට්ටිය නෑ. මට හොඳටම කේන්තියි. මම ඇඳුම් ගලවල දැම්මා. ඔන්න එතකොටම කට්ටිය වෑන් එකෙන් ආවා. ටෝනි දෙන ලණු ඔය වගේ තමයි”

එකල දෙනවක ආන්ටි මුණ ගැසුණ විට කියන කතා ඕවාය. අද දෙනවක හාමිනේ මතකයක් පමණකි. ඇයට ලණු දුන් ටෝනි හා ෆ්‍රෙඩී ද අප අතර නැත. එහෙත් ඔවුන්ගේ මතක තවමත් සොඳුරුය.
 

(රොඩ්නි විදානපතිරණ විසින් " ලංකාදීප " පුවත්පතට ලියු ලිපියකි)

උපුටා ගත්තේ සිනමා රූ සේයා පිටුවෙනි
ඡායාරූපය දයාන් විතාරණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න