දෙනවක හාමිනේ ගැන ලියන්නට ගොස් මම බොහෝ වෙලා කල්පනා කරමින් සිටියෙමි.
ඇය අපට හමුවන විට වයෝවෘද්ධ නිළියක වුව ද ඒ නිසාම දෙනවක හාමිනේ කා අතරත් ජනප්‍රිය වූවා ය. චරිත නිරූපණයේ දී අවශ්‍ය වන්නේ ඇයට දෙබස් ටික දීමත් චරිතය ගැන යම්තමින් මතක් කිරීමත් පමණි. ඉතිරි සියල්ල ඇය සියයට සියයකින් නොව සියයට දෙසියකින් ම සම්පූර්ණ කරන්නී ය. එමෙන්ම ඇය දර්ශන තලයේ දී ඉතා සුහදශීලී නිළියක වූවා ය. ඇය සමඟ වැඩ කරන්නට ආසා හිතෙයි.
'' අද මහන්සියි, හෙට ඉතුරු ටික කරමු ද...?'' ඇය එසේ නොවේ...
අතරමග නැවතුණු මගේ මුල්ම චිත්‍රපටය වූ “ශිල්ප දෙනු මැන” හි ඇය රඟපෑවේ වසන්ති චතුරාණිගේත්, සීවලී වික්‍රමආරච්චිගේත් මව ලෙස ය. අමරසිරි කලංසූරිය ඇගේ දියණිය වූ වසන්ති විවාහ කරගන්නට බලාපොරොත්තුවෙන් සිටි පෙම්වතා වූයේ ය. රූගත කිරීම් යොදාගෙන තිබුණේ බණ්ඩාරවෙල වැලිමඩට කිට්ටුව ගොවිපොළක් තිබූ නිවසකි. ඇයට ඒ කාලයෙ දී ද වයස හැත්තෑවකට වැඩි ය. කොළඹ සිට බණ්ඩාරවෙලට යන්නට ම පැය හය හතක් ගතවෙයි. ගමන වෙහෙසකර ය. අප නැවතී සිටියේ බණ්ඩාරවෙල ටවුමේ ය. රාත්‍රී දර්ශනවලින් පසු හීතලේ ගැහෙමින් වැලිමඩ සිට ආපසු අප බණ්ඩාරවෙලට එනවිට බොහෝ රෑ බෝ වෙයි. වියපත් නිළියක වුව ද ඇය කිසිම දිනෙක රූගත කිරීම්වල දී බැහැ යයි කීවේ නැත. අද මහන්සියි, හෙට ඉතුරු ටික කරමු ද යැයි කීවේ නැත. මහ රෑ පසුවන තුරු ද ඇය රූපගත කිරීම්වලට සූදානම් ය.
සිත රිදවන සිහින් රිදුම
ඊට පෙර චිත්‍රපට ගණනාවක දී ම වසන්ති සහ කලං සමඟ රඟපා ඇති දෙනවක හාමිනේ ඔවුන් සමග වඩාත් කුළුපග වූවා ය. සුප්‍රකට කැමරා ශිල්පි ඩොනල්ඩ් කරුණාරත්න සමග “ශිල්ප දෙනු මැන” පටන් ගත්ත ද බණ්ඩාරවෙල දර්ශන සඳහා ඔහු එවූයේ මර්සලින් එස්. පෙරේරා ය. ඩොනල්ඩ් මගේ චිත්‍රපටයට දින දුන් නමුදු ඔහු ඒ දිනවල ම තවත් වැඩක් භාරගෙන තිබිණ. ජව සම්පන්න නළුවකු වූ විල්සන්කරු අපගේ ආරක්ෂකයා මෙන් විය. ඔහු එහි රඟපෑවේ දේශපාලකයකුගේ චරිතයකි. එම ජවනිකා මැකී ගිය සිහිනයක් මෙනි. ඉතිරිව ඇත්තේ එම චිත්‍රපට දර්ශනවල නිශ්චල ඡායාරූප කිහිපයක් පමණකි. නෙගටිව් පොසිටිව් පට පමණක් නොව ශබ්දපට සියල්ල ද සරසවි චිත්‍රාගාරයේ දුර්වල පාලනය නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. ඒ ගැන සිහිපත් වනවිට තවමත් සිත සිහින් රිදුමකින් හිරවී යයි.

දේශපාලකයින් ගේ ඔඩොක්කුවට වැටුණු කලාකරුවෝ
සිනමාව ගැන බෙරිහන් දෙන බොහෝ කලාකරුවෝ සරසවි චිත්‍රාගාරයේ වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා නොකිරීම නිසා නෙගටිව් පට පොසිටිව් පට විනාශ වී යන බව දැන කරබාගෙන සිටියහ. තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් නොදන්නාක් මෙන් සිටියහ. ශබ්දපට හා පොසිටිව් පට දමා තිබුණු වානේ අල්මාරි තිබෙන තැන වැස්සට තෙමෙන බව චිත්‍රපට සංස්ථා බලධාරින් නොදැන සිටියා ද? වැස්සට තෙමුණු වානේ අල්මාරියෙන් වතුර කාන්දු වී සියල්ල ම විනාශ වී ගියේ හද කම්පා කරවමිනි.
එහෙත් ගිය ගිය තැන මේ ඇතැම් කලාකරුවන් කතා කළේ සිනමාව නග්ගන්ටය. ඒ කාලයට විවිධ දේශපාලකයින් ගේ ඔඩොක්කුවට වැටී තාන්න මාන්න වරප්‍රසාද තනතුරු පමණක් නොව වැටුප් ද ලබාගත් ඇතැම් කලාකරුවෝ මේ ගැන ඇහැක් ඇර නොබැලූහ. මෙවැනි බොරු සෝබන කලාකරුවන් මැද සිනමාව මේ තරමින් වත් රැකී තිබීම දෙවියන්ගේ ආශිර්වාදයකි. අද සිදුවෙමින් පවතින්නේ ද එය යි.
පුතේ මගේ පිටට තට්ටු කරන්න
ආර්ථික දුෂ්කරතා නිසා වරින් වර රූගත කිරීම් කර අවසාන වූ පසු දෙබස් පටිගත කිරීම් යොදාගෙන තිබිණ. ඒ කාලය වන විට දෙනවක හාමිනේගේ දෙනෙත් බොහෝ දුර්වල වී ගොස් තිබිණ.
“පුතේ මට මොකුත් පේන්නේ නෑ. මට දෙබස් කියන්න ඕනෑ තැනට එනකොට පිටට ඇඟිල්ලෙන් තට්ටු කරන්න” ඇය කීවා ය.
රූපයෙන් රූපය චිත්‍රාගාරයේ දී ලූපයක් මේන් කැරකෙයි. කැරකෙන අතරවාරයේ නියමිත තැනට ආ පසු තොල් චලනයට ගැළපෙන සේ දෙබස් කිවිය යුතු ය. එය කෙරුණේ ද සරසවි චිත්‍රාගාරයේ දී ය.
ලූපය කැරකැවෙයි (එයට පාවිච්චි කළ නම වූයේ ලූපයයි) දෙබස කලින් කියන අපි, අවශ්‍ය ම තැනට රූපය එද්දී දෙනවක හාමිනේගේ පිටට හෙමිහිට තට්ටු කරමු.
දෙනෙත් නොපෙනුණද ඇගේ හඬ ඒ රූපයේ තොල් චලනයට හරියටම හරිය. ඒ වන විට ද ඇය අවුරුදු අසූවකට ළං වී සිටියා ය. එහෙත් දෙබස් හරියටම මතක තිබිණ.
එතරම් දුෂ්කරතා මැද “ශිල්ප දෙනු මැන” චිත්‍රපටය අවසන් කර ගත්ත ද එකල බලධාරීන්ගේ “හොඳකමට” ඒ සියල්ල විනාශ වී ගියේය.
දෙනවක හාමිනේ නොහොත් අප හැම දෙනාම ඇය අමතන ආදරණීය නාමය වන දෙනවක ඇන්ටි මතක් වනවිට ඒ සියල්ල සිතුවම් පටක් මෙන් සිහිපත් වන්නේ සිහින් රිදුමක් ද සමග ය.

නිවසින් කොටසක් මාර්ග සංවර්ධනයට බිලිව
හැත්තෑ ගණන්වල අසූ ගණන්වල දෙනවක ඇන්ටි පදිංචිව සිටියේ මරදානේ ටවර් රඟහලට ඉහළින් පිහිටා තිබූ කුඩා නිවසකය. එයට පහසුවෙන් ම ළඟා විය හැකි මාර්ගය වූයේ ටවර් රඟහලට යාබදව තිබූ සිමෙන්ති පඩිපෙළ නැග යාමෙනි. වාහනයකින් යනවා නම් පැරැණි සෙන්ට්‍රල් සිනමාහල පැත්තට ගොස් ටික දුරක් යා යුතුය.
දැන් ඒ සියල්ල හඳුනාගත නොහැකි තරමට වෙනස් වී ඇත. සෙන්ට්‍රල් සිනමා හල දැන් නැත. එකල ද දෙනවක ඇන්ටිගේ ගෙයි කොටසක් පාර විශාල කිරීම නිසා කැඩී ගියේය. ගේ තවත් කුඩා විය.
තම දියණිය පන්නිපිටියේ පදිංචිව සිටිය ද කලා කටයුතුවලට යෑම් ඊම් පහසුවීම නිසා ඇය මෙම නිවසේ පදිංචිව සිටියා ය. ඇය එකල කඩා දැමුණු නිවස දෙමහල් නිවසකට පරිවර්තනය කිරීමට උත්සාහ දරමින් සිටියා ය. 1978 ජුනි මාසයේ මා ඇය හමුවීමට යනවිට ඇය කීවේ ඇගේ වයස අවුරුදු 70ක් බව ය.
රැලෙක්ස් දුන් නම
ඇගේ මුල් නම දෝන ජෝර්ජියානා මෙරායා ගුණතිලක ය. එහෙත් දෙනවක හාමිනේ කියා නම දැම්මේ රැලෙක්ස් රණසිංහය. එනම් ටෝනි රණසිංහගේ අයියා ය. ඔහු ඉතා දක්ෂ කැමරා ශිල්පියෙකි.
“අපි හිටිය පරණ ගෙයි විශාල කොටසක් මේ පාරට කැඩිලා ගියා. දරුවො ඉතින් ආපහු සැරයක් ගේ හදන්න සිද්ධ වුණා. අපිට තියෙන්නෙ සීමිත ඉඩකඩක්. ඒක නිසා තට්ටු දෙකට හදන්නයි ඉන්නෙ” ඇය එදා කීවා ය.
“මම කිසිම රඟපෑමකදී මේකප් දාන්න දෙන්නෙ නෑ. මට මේකප් දැම්මම එම්බාම් කරල වගේ. මම රඟපාන්නෙ මගෙ වයසට හරියන චරිත. ඉතින් අමුතුවෙන් වෙස් ගැන්නුවම හරිම අස්වාභාවිකයි” ඇය තවත් වරෙක කීවාය. දෙනවක හාමිනේ චිත්‍රපට හෝ නාට්‍ය නැරැඹුවේ කලාතුරකිනි.


“මම ‘සාමා’ චිත්‍රපටයේ රඟපානව දැකල මම හරියට සතුටු වුණා. අනේ මම කොයිතරම් හොඳට රඟපානවද කියල හිතුණා. මගේ නම තිරයෙ වැටෙනකොට මට සතුට වැඩිකමට ඇඬුණා. දැන්නම් මේව මතක් වෙන කොටත් හිනායි.”

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
