දේශපාලන විවාදයක දී, සෑම දාර්ශනික විශ්ලේෂණයක් ම සැමවිට ම දිස්වන්නේ සහ දිස්විය යුත්තේ එක්තරා නිශ්චිත දේශපාලන ස්ථාවරයක් ලෙස පමණි. උදාහරණයක් ලෙස, දැඩි මතධාරී ජාතිකවාදියකු දන්නා පරිදි, යුද්ධයේ දී මියගිය දෙමළ සිවිල් වැසියන් පිළිබඳ සදාචාරාත්මක තර්කයක් සැමවිටම පෙනී යන්නේ දේශපාලන අරගලයේ දෙමළ පාර්ශවයට පක්ෂපාතී ස්ථාවරයක් ලෙස ය.
එබැවින්, දේශපාලනික මොහොතක් තුළ සිට බලන විට, දේශපාලන විවාදයෙන් ඔබ්බට ගිය හෝ මධ්‍යස්ථ වූ කිසිදු දර්ශනයක් නොමැත. පුද්ගලයකු ගන්නා තීරණය විසින් අනිවාර්යයෙන් ම ඔහුගේ සදාචාරාත්මක අහිංසකත්වය දූෂණය කරනු ලබයි.
ඔබේ 'සුපිරි අහම' (Super-ego) සමඟ විනෝද වන්න
මීට දින කිහිපයකට පෙර, කොළඹ වාමවාදී දාර්ශනික-දේශපාලන කවයන් ගැන හුරුපුරුදු අය දකින්නට ඇති, එම කවයන් තුළම සිටින කාන්තාවන් විසින් පිරිමි දාර්ශනික විවාද කරන්නෙකුගේ "ලිංගික චැට්" (Sex chat) පණිවිඩ කිහිපයක් ප්‍රසිද්ධ කරමින් ඔහුට දැඩි ලෙස පහර දෙන ආකාරය යි. මෙම මිනිසා දිගින් දිගටම කාන්තාවන්ට "හිංසා පීඩා" කිරීම ගැන ඔවුන් දැඩි පිළිකුල පළ කර තිබුණි. ඔවුන්ට අනුව, ඔහු තවමත් තම ස්වයං-ප්‍රකාශිත "මග වැරදීමට ඇති අයිතිය" (Right to go astray) පාවිච්චි කරමින්, කිසිදු බලපෑමකින් තොරව තම අතිමානයෙන් පිරුණු දාර්ශනික සංදර්ශනය පවත්වාගෙන යයි. ප්‍රකට "බැරෑරුම්" ඉතිහාස විද්වතෙකු පවා මෙම ක්‍රියාව අනුමත කිරීම ගැන විචාරකයෝ තවදුරටත් පිළිකුල පළ කළහ. එම පුද්ගලයා සමාව අයැද සිටිය ද, විචාරකයින් එය දුටුවේ තම අනුගාමිකයන්ට "සංදර්ශනය දිගටම පවතින බවට" දුන් සහතිකයක් ලෙස ය. එබැවින් ඔවුහු ඔහුට ප්‍රතිචාර දැක්වූයේ "නුඹේ ඔය සමාවට සාප වේවා!" (Fuck your apology!) යනුවෙනි. මේ සියල්ල සිදු වූයේ ෆේස්බුක් (Facebook) හරහා ය.
ද්විත්ව චරිතය සහ නරුමත්වය (Cynicism)

විචාරකයින් පවසන දේ කෙටියෙන් නැවත විමසා බලමු. පළමුවෙන්ම, අපේ සහෝදරවරුන්ට අනුව මෙය කිසිවිටෙකත් "ලිංගික චැට්" එකක් නොවීය. මන්ද එම පුද්ගලයා ගේ අනවශ්‍ය බලපෑම්වලට කිසිදු පාර්ශවයකින් අන්‍යෝන්‍ය ප්‍රතිචාරයක් ලැබී නොතිබුණි. අපේ වැනි තුන්වන ලෝකයේ රටවල, හුදු ස්වයං වින්දනාත්මක පරිකල්පනයන් ඉලක්ක කරගත් ලිංගික ඉඟි සහිත අශිෂ්ට පණිවිඩ කාන්තාවන්ට යැවීම ඉතා සාමාන්‍ය දෙයක් වුව ද, එය අපේ කාලයේ පිරිහීමේ ලකුණක් බව මෙය කියවන බොහෝ දෙනෙකුට වැටහෙනු ඇත. මෙය තමන්ගේ බලය තහවුරු කරගැනීමේ සූක්ෂම ක්‍රමයකි. තමන් විසින්ම ඒකපාර්ශවිකව අත්හැර දැමූ පැරණි පෙම්වතියකට වසර දෙකකට පසු හදිසියේම දුරකතනයෙන් අමතා සමාව අයදින පිරිමින් ගැන සිතන්න. වැරදි වටහා නොගන්න, මෙය පසුතැවීමක් ලෙස වෙස්ගන්වා ඇති සූක්ෂම ප්‍රචණ්ඩත්වයකි. එබැවින්, අපේ සහෝදරවරුන්ට අනුව, අපේ මෙම "ඩයෝජිනීස්" (Diogenes) ගේ ක්‍රියාව හිංසනයක් වන්නේ එය අනවශ්‍ය සහ අන්‍යෝන්‍ය එකඟතාවයකින් තොරව සිදු වූවක් බැවිනි.
මෙම පුද්ගලයාට එල්ල වන දෙවන ප්‍රහාරය පදනම් වන්නේ ඔහුගේ ''ද්විත්ව චරිතය සහ නරුමත්වය ''(Cynicism) මතය: එනම් ඔහු දේශනා කරන දේ ඔහුම කඩ කිරීමයි. හෘද සාක්ෂියක් ඇති බොහෝ වාමවාදීන්ට හැඟෙන්නේ, මෙම මිනිසා මියන්මාරයේ හිටපු අපේ තානාපතිවරයා වැනි දැඩි මතධාරීන්ගේ මතිමතාන්තරවලට එරෙහිව කතා කළ ද, සෘජුව සිටීමට උත්සාහ කරන කාන්තාවන් සමග "මග වැරදීමට ඇති තම මතිමතාන්තරවාදී අයිතිය" ඔහු කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව වැලඳගෙන සිටින බවයි. අපේ මෙම "ඩයෝජිනීස්" අපෙන් ඉල්ලා සිටින්නේ ඔහු ගේ ක්‍රියා දෙස නොව, අදහස් දෙස පමණක් අවධානය යොමු කරන ලෙසයි.
නලින් ද සිල්වා ෆැසිස්ට්වාදියෙකි
නලින් ද සිල්වා
මගේ අරමුණ ඇත්ත වශයෙන්ම ඔහුගේ පාර්ශවය ගැනීමයි; එනම් ඔහුගේ අදහස් දෙස පමණක් අවධානය යොමු කිරීමයි. ඔහුගේ මූලික තර්කය ශ්‍රී ලංකාවේ "ජාතික චින්තන" ෆැසිස්ට්වාදී ගුරුකුලයට එරෙහි උපාය මාර්ගයක් ලෙස සරල කළ හැකිය. සෑම වාස්තවික යථාර්ථයක්ම කිසියම් ආත්මීය (මානසික) ව්‍යුහයක කොටසක් බව මෙම ගුරුකුලය පවසන බැවින් (නලින් ද සිල්වාගේ ප්‍රසිද්ධ ප්‍රශ්නය මතකයට නගන්න: "මනස පාවිච්චි නොකර මනසින් බාහිර යථාර්ථයක් ඇති බව පෙන්වන්න"), අපේ වීරයා ප්‍රංශ දාර්ශනික ප්‍රවණතාවයක් වෙත යොමු වේ. එහි දැක්වෙන්නේ මුළු නූතන දර්ශනයම පදනම් වී ඇත්තේ "සහ-සම්බන්ධවාදය" (Correlationism - එනම් සෑම සිතුවිල්ලක්ම සැමවිටම සිතුවිල්ලෙන් බාහිර වස්තුවක් පිළිබඳ සිතුවිල්ලක් වන අතර මනස සහ ලෝකය සැමවිටම බැඳී පවතී යන අදහස) මත බවයි. මිනිසා බිහිවීමට පෙර පැවති යථාර්ථයක්, උදාහරණයක් ලෙස ෆොසිල නිර්මාණය වූ කාලය (පාරිභාෂිකව "පුරා-ෆොසිල" හෙවත් Arche-fossils), එනම් විෂය-විෂයී සහ-සම්බන්ධතාවයෙන් බාහිර යථාර්ථයක් පෙන්වීමෙන් නලින් ද සිල්වා වැරදි බව මහජනයාට ඒත්තු ගැන්විය හැකි බව ඔහු විශ්වාස කරයි. (නලින් ද සිල්වා ෆැසිස්ට්වාදියෙකු බව අපි සෑමදාම දැන සිටියෙමු).
කෙසේ වෙතත්, අපේ මෙම අපකීර්තිමත් වීරයා වැරදි තැනකින් අල්ලාගෙන ඇත. මෙම අවුල ලිහා ගැනීමට ඇති යතුර මෙයයි: ජාතික චින්තන ගුරුකුලය සහ අපේ මිතුරා යන දෙදෙනාම "මානුෂීය ආත්මය " (Human subject) ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එකඟ වෙති. ජාතික චින්තනය විසින් '' ආත්මය '' (Subject) යන්න මායාවක් ලෙස හුවා දක්වන අතර, අපේ මිතුරා එය මතිමතාන්තරවල (Dogmatism) එල්ලී සිටීමට පදනමක් ලෙස භාවිතා කරයි. අප වැනි හේගල්වාදීන් සහ වාමවාදීන් දන්නා පරිදි, ඔබ මෙම පියවර ගත් සැණින් ඔබට 'නිදහස' සහ 'වගකීම' යන කරුණු මග හැරේ. මන්ද නිදහස් කැමැත්තක් තිබීමට සහ වගකීමක් දැරීමට නම් "ආත්මයක් " (Subject) අවශ්‍ය වේ.
මෙම වැරදිකරු අපරාධකරුවෙකි

පුදුමයකට මෙන්, අපේ මෙම වැරදිකරු ගේ අදහස් දෙස බලන විට, අපට පෙනී යන්නේ නිදහස් කැමැත්ත සහ වගකීම පිළිකුල් කරන දර්ශනයකි. ඔහුගේ අදහස් සහ ක්‍රියා එකිනෙකට වෙනස් බව ඔහු අපට දේශනා කිරීම පුදුමයක් නොවේ! ෆික්ටේ (Fichte - ජර්මන් දාර්ශනිකයා) සැමවිටම කියා සිටියේ පුද්ගලයකු අනුගමනය කරන දර්ශනය තීරණය වන්නේ ඔහු කෙබඳු පුද්ගලයෙකු ද යන්න මත බවයි. රිචඩ් වැග්නර් නාසිවාදියෙකු වුවද ඔහුගේ සංගීතය උත්කෘෂ්ට විය. අපේ මෙම වැරදිකරු අපරාධකරුවෙකි, ඔහුගේ දර්ශනය ද කුණු කූඩයට දැමිය යුතු එකකි.
නැවත ආරම්භ කළ තැනටම යමු: ලිංගික සබඳතා සහ අපේ සමාජයේ කාන්තාව පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධ දේශපාලන විවාදයකදී, "ආත්මය " (Subject) සහ එමගින් උපදින "නිදහස" යන අදහස ප්‍රතික්ෂේප කරන දාර්ශනික විශ්ලේෂණයක් සැමවිටම ගණන් ගැනෙන්නේ "මගේ ක්‍රියාවන් මගේ අදහස්වලින් වෙනස්" යැයි කියන පාලක දෘෂ්ටිවාදයේ පාර්ශවය ගැනීමක් ලෙසයි. පුද්ගලයකු නිදහස් නොවේ නම් ඔහුට වගකීමක් පැවරිය නොහැක. එබැවින් මම කියමි, නුඹේ ඔය සමාවට සාප වේවා!
දිල්ෂාන් ප්‍රනාන්දු - කොළඹ
සටහන: Colombo Telegraph යනු ශ්‍රී ලාංකීය කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කරන පොදු උනන්දුවක් සහිත වෙබ් අඩවියකි. ලිබරල් 'කොළඹ ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවිය මෙම ලිපිය පළ කිරීමට අපොහොසත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
