තමන්ගේ අතිශය පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්නට ගොස්, දශක එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ "ශ්‍රීලන්කන්" ගුවන් සේවයට රාජපක්ෂ ආණ්ඩුකරණය සහ රනිල් රාජපක්ෂ ආණ්ඩුකරණය විසින් 2009 සිට 2023 දක්වා සිදුකරන ලද සමස්ත පාඩුව රුපියල් කෝටි 53, 000 ඉක්මවා තිබේ.
මතු කියවෙන වර්ෂ 2008 දී අතිශය පෞද්ගලික කාරණයක් හේතුවෙන් "එමිරේට්ස්" සමාගම එළවා දමා තමන් ගේ මස්සිනාවූ "නිශාන්ත වික්‍රමසිංහ" සහ "කපිල චන්ද්‍රසේන"ලා සමග ඉහත පාඩුව සිදුකරමින් යන අතරතුර 2013 වනවිට පාඩුව රුපියල් කෝටි 27, 000 ඉක්මවා තිබුණි. එවැනි අතිශය අවදානම් අවස්ථාවක රුපියල් කෝටි 500 කට ආසන්න කොමිස් කුට්ටියක් වෙනුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක (එවකට විනිමය අනුපාතය අනුව රුපියල් කෝටි 35,280 ක) එයාර් බස් 10ක් මිලදී ගැනීමට රාජපක්ෂලා තීරණය කළේ ය.
එයාර් බස් ගනුදෙනුවේ කපිල චන්ද්‍රසේන, මහින්ද රාජපක්ෂ කතා පුවත සහ අතීතය
කපිල චන්ද්‍රසේන
පසුගිය සතියේ "කපිල චන්ද්‍රසේන" ආන්දෝලනාත්මක කතා පුවත දිග හැරෙන්නේ මේ අයථා ගනුදෙනුව සම්බන්ධයෙනි. මේ කතා පුවත ගණන් හිලව් සංඛ්‍යා දත්තවලින් පිරුණු ඉතා සංකීර්ණ එකක්වන අතර හැකි උපරිමයෙන් ඉතා සරලව ඉදිරිපත් කිරීමට උත්සුක වන්නෙමි.
"එයාර් ලංකා" ගුවන් සේවය 1994 වනවිට දිගින් දිගටම පාඩු ලබමින් පවත්වා ගෙන යෑමට නොහැකි තරමට රටට මහා ණය බරක්ව පැවැතියේ ය. එම හිසරදයෙන් රටේ භාණ්ඩාගාරය ගොඩ ගැනීම පිණිස 1998 දී "එයාර් ලංකා" සමාගමේ කොටස් සියයට 44ක් ප්‍රකට "එමිරේට්ස්" සමාගමට ලබා දීමට එවකට චන්ද්‍රිකා රජය තීරණය කළේ ය. එතැන් සිට "එයාර් ලංකා" සමාගම "ශ්‍රීලන්කන්" ගුවන් සේවය බවට පරිවර්තනය වුණි. වසර කිහිපයක් යනතුරු පැවති ණය බරින් අත්මිදීමට "එමිරේට්ස්" යටතේ "ශ්‍රීලන්කන්" ගුවන් සේවයට ද නොහැකිවූ අතර වර්ෂ 2003 වනවිට ක්‍රම ක්‍රමයෙන් පැවති පාඩුවෙන් ගොඩ ඒමට "ශ්‍රීලන්කන්" ගුවන් සේවයට හැකියාව ලැබුණි. එවකට එහි ප්‍රධාන විධායක නිලධාරීයා වූයේ බ්‍රිතාන්‍ය ජාතික පීටර් හීල් නමැත්තෙකි.

"යෝෂිත" පුතා ගේ විසිර යෑමේ උත්සවය සහ එමිරේට්ස් ගිවිසුම වහාම අහෝසි කිරීම
රටේ බදු ගෙවන ජනතාව ගේ බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වාර්ෂිකව වූ වැයබරින් 1998 සිට නිදහස් වුණි. එහෙත් එකී ණය බරින් නිදහස්ව සිටීමට අවස්ථාව ලැබුණේ වසර දහයක කාලයක් පමණි. චන්ද්‍රිකා ගෙන් පසුව මහින්ද රාජපක්ෂ බලයට පත්වූයේ 2005 වසරේදී ය. ඒ වනවිට ශ්‍රීලන්කන් ගුවන් සේවය නිසි කළමාකාරීත්වයක් යටතේ සැලකිය යුතු ලාභයක් ලබමින් එකී ලාභය මත රජයට වාර්ෂිකව ආදායම් බදු ගෙවමින් ඉදිරියට ගියේ ය.

2008 වසරේ දී රාජපක්ෂ කනිටු පුත් යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ නාවුක හමුදා පුහුණුවකට ගොස් එකී පුහුණුවෙන් පසු , විසිර යාමේ උත්සවයක් පැවැත්විණි. එම උත්සවයට සහභාගි වූ මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සැලකිය යුතු පිරිසකට ආපසු ශ්‍රී ලංකාවට පැමිණීම සදහා වෙනම ම ගුවන් යානයක් අවශ්‍ය විය. එවකට රාජපක්ෂ බලවතකු වූ සජින් වාස් ගුණවර්ධන "ශ්‍රීලන්කන්" ප්‍රධාන විධායක පීටර් හීල් ඇමතුව ද, එම ඉල්ලීම ඉටුකිරීමට ඔහු පියවර නොත්තේ ය. හේතුව ලෙස සඳහන් කර ඇත්තේ ක්ෂණිකව නිශ්චිත මගීන්ගේ ආසන අවලංගු කර වෙනම ම ගුවන් යානයක් එවීමට නොහැකි බවයි.
සජින් වාස් ගුණවර්ධන
මේ පිළිතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ කෝපාවිෂ්ට කරවීමට හේතු විය. කෙසේ හෝ වෙනත් ගුවන් යානයකින් ලංකාවට පැමිණි වහාම ඔහු ගේ පළමු රාජකාරිය වූයේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් හීලූගේ වීසා අවලංගු කර රටින් පිටකර යැවීම යි. දෙවැන්න එමිරේට්ස් සමග වූ ගිවිසුම අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම යි. මෙලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය සම්පූර්ණයෙන් රජයට පවරා ගන්නා විට එම වසරේ ලැබූ ලාබය රුපියල් මිලියන 4899 ක් රුපියල් කෝටි 489 කි.
2009 සිට 2023 දක්වා රුපියල් මිලියන 537,430,000.00ක පාඩුවක්
රටට මහා හිස රදයක්ව පැවති සහ ඉන්පසුව 1998 සිට 2008 දක්වා කිසිදු හිසරදයකින් තොරව රටට කෝටි ගණනක බදු ආදායමක්ද ලබා දෙමින් සිටි "ශ්‍රීලන්කන්" ගුවන් සේවය ඉහත සඳහන් අතිශය පෞද්ගලික "කෝන්තරයක්" පිරිමසා ගන්නට ගොස් වසර 15 ක් තුළ ලැබූ අලාභයේ තරම රුපියල් කෝටිවලින් 53,74,30,000 කි. 2024 සහ 2025 දී ලැබූ පාඩුව කොතරම් ද නොදනිමි. කෙසේ වෙතත් 2025 සහ 2026 වාර්ෂික අය වැය ලේඛනයෙන් රුපියල් කෝටි ගණනක විශාල ධනස්කන්දයක් වෙන්කර ඇති අතර එහි නිශ්චිත ප්‍රමාණය දන්නා කෙනකු මෙහි සදහන් සදහන් කිරීම වටී.
වත්මන් ආණ්ඩුව ද තවදුරටත් මහා භාණ්ඩාගාරයයේ ඇති මහජන බදු මුදල් මුදල් යොදවමින් ශ්‍රීලන්කන් ගුවන් සේවය පවත්වා ගෙන යන්නේ කවර "කෙං ගෙඩියකට" දැයි නොදනිමි.
බැංකුවෙන් බැංකුවට, ගිණුමෙන් ගිණුමට පියඹා ගිය කපිලලා ගේ කොමිස් කුට්ටිය
වර්ෂ 2013 වනවිට රුපියල් මිලියන 26, 857 ක පාඩුවක් සිදුවී තිබිය දී, තවත් රුපියල් කෝටි 35,280ක ගුවන් බස් 10 ක් මිලට ගැනීම ශ්‍රීලන්කන් ගුවන් සේවය තව තවත් වළ පල්ලට ඇද දැමීමට හේතු විය. A -330 එයාර් බස් 06 ක් සහ A - 350 එයාර් බස් 04 වශයෙන් එයාර් බස් 10 ක් ඩොලර් බිලියන 2.8 ක් එවකට ඩොලරයේ මිනිමය අනුපාතයට අනුව රුපියල් කෝටි 35,280කි. ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් මෙකී ගුවන් බස් මිලට ගැනීම නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්කර නොතිබුණි.
මෙකී ගනුදෙනුවේ ප්‍රධානියා වූයේ කපිල චන්ද්‍රසේන යි. ගනුදෙනුවට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පවත්වා ඇත්තේ ද එවකට කතානායක චමල් රාජපක්ෂගේ නිල නිවසේ දී ය. එහි එක් අධ්‍යක්ෂවරයෙකු වූයේ චමල් රාජපක්ෂ ගේ දෙටු පුත් ශමින්ද්‍ර රාජපක්ෂ ය. ගනුදෙනුව අනුමත කර ඇත්තේ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර යි.
පී.බී.ජයසුන්දර
ප්‍රංශ එයාර් බස් සමාගමේ කොමිස් ගෙවීමේ ගනුදෙනු පිළිබඳ බ්‍රිතාන්‍යයේ මූල්‍ය විමර්ශනය
ප්‍රංශයේ එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය එයාර් බස් අලෙවි කිරීමේ දී ඒ ඒ මිලදී ගැනීම් පාර්ශව සදහා කොමිස් ගෙවීම් පිළිබද මහා බ්‍රිතාන්‍යයේ අධිකරණ නිර්දේශ සහිත විමර්ශන ආයතනයක් පුළුල් විමර්ශනයක් සිදුකර තිබුණි. එකී විමර්ශනයකට අනුව ලෝකයේ රටවල් ගණනාවකට එයාර් බස් අළෙවි කිරීමේදී අදාළ ගනුදෙනු පාර්ශව වෙත කොමිස් මුදල් ගෙවා ඇති අන්දම හෙළිදරව්වී තිබේ.
ශ්‍රී ලංකාව 2013 දී මිලට ගැනීමට ගිවිස ගත් එයාර් බස් 10 ගනුදෙනුවේ දී ඩොලර් මිලියන 16.8ක කොමිස් මුදලක් ගෙවීමටත් ඉන් ඩොලර් මිලියන 2ක් අත්තිකාරම් ලෙස ගෙවීමටත් ගනුදෙනුව අවසානයේ ඉතිරිය ගෙවීමටත් එකඟ ඇති බව හෙළිදරව් වූයේ ඉහත බ්‍රිතාන්‍ය විමර්ශන ආයතනයේ විමර්ශනයෙනි. එකී විමර්ශන වාර්තා බ්‍රිතාන්‍ය වාණිජ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ කොමිස් මුදල් ගෙවූ බවටත්, ලබාගත් බවටත් ඒ ඒ පාර්ශව අධිකරණයේ දී පිළිගෙන ඇත.
2015 යහපාලන ආණ්ඩුව කොමිස් මුදලක් ඩැහැ ගැනීම
2015 බලයට පත් යහපාලන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවේ රුපියල් කෝටි 35,280 ක එයාර් බස් ගනුදෙනුව රටට කිසිසේත් ම දැරිය නොහැකි ගනුදෙනුවක් බව ප්‍රකාශ කරමින් එකී ගනුදෙනුව අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත්තේ ය. ඒවන විටත් අදාළ එයාර් බස් 10 නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙන හෙයින් එම ගනුදෙනුව අවලංගු කිරීමට නම්, ඩොලර් මිලියන 64 ක් ගෙවන ලෙස දැනුම් දී ඇත.
හිටපු ආණ්ඩුවක් විසින් ඇතිකර ගන්නා ලද රටට ඔරොත්තු නොදෙන ගනුදෙනුවක් රටේ ආර්ථික යහපත පිණිස අවලංගු කර ගැනීමට යෑමේ දී කළ යුතුව ඇත්තේ කුමක් ද? එම අනවශ්‍ය ගනුදෙනුව අවලංගු කිරීම සඳහා නියම කරන ලද වන්දි මුදල් හැකිතාක් කේවල් කර අඩුකර ගැනීම නොවේ ද? එහෙත් යහපාලන ආණ්ඩුවේ රනිල්ගේ ගජ මිතුරු මලික්ලා, පාස්කිලා එකතුවී එම වන්දි මුදල ඩොලර් මිලියන 64 සිට ඩොලර් මිලියන 98 දක්වා වැඩි කරන ලෙසත්, එම අතිරික්ත මුදල තමන් වෙත ප්‍රතිපූර්ණය කරන ලෙසත් වන්දි ඉල්ලූ ගුවන් සමාගම් පාර්ශ්වයෙන් ඉල්ලා ඇත.
මේ නම් නිසැකව ම ඔවුන්ගේ ද බරපතළ හාස්‍යයට හේතු වන්නට ඇත. මිලට ගන්නා විට එක් පාර්ශවයක් ඩොලර් මිලියන 16.8ක් කොමිස් ලබා ගැනීමටත්, ගනුදෙනුව දැරිය නොහැකි වැය බරක් බව සපථ කරමින් ඊළග ආණ්ඩුවේ බලවන්තයෝ ගනුදෙනුව අවලංගු කිරීමට නියමවූ වන්දිය වැඩිකරන ලෙස ඉල්ලා එකී අතිරික්ත ඩොලර් මිලියන 34 තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටීම තරම් නිර්ලජ්ජිත පාලක පිරිසක් ගැන කවර රටකින් වත් අසන්නට ලැබී ඇද්ද ? මේ "නිර්ලජ්ජිත" ජඩ දේශපාලකයන් තවදුරටත් රටේ බලය ඉල්ලා සිටීම ගැන රටවැසියන්ට හිතෙන්නේ කුමක්ද ?
**කපිල චන්ද්‍රසේන ගේ බිරිය ගේ ගිණුමේ සිට රාජපක්ෂලා දක්වා ගිණුමෙන් ගිණුමට, බැංකුවෙන් බැංකුවට කොමිස් මුදල සංසරණ වූ හැටි ඊළග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

පෝද්දල ජයන්ත

