මට මුලින්ම ටෙනිසන් පෙරේරා හමුවන්නේ 1969 දි ඔහු විසින් ලියා පළ කරන ලද "දුට්ඨ ගාමිණි නොමළ වගයි" කෙටි නවකතාව තුළින්. එය සිංහල නවකතාවේ සම්මත ආකෘතිය සහ ආඛ්‍යාන විලාසය මුළුමනින්ම උඩු යටිකුරු අපුර්වතම කෘතියක්.
මේ ආකෘතිම වෙනස අජිත් තිලකසේන සිංහල කෙටිකතාව ඔළුවෙන් සිටුවා තැබුවාට සමානයි. එහි කතා නායකයා දියසේන. දියසේන යනුවෙන් ඒ චරිතය හඳුන්වාදීම ම කිසියම් දේශපාලන උපහාසයක් ජනිත කිරිමක්. ඒ උපහාසය ඔස්සේ ටෙනි ඉතා නිර්දය ලෙස එදා ආගමික සංස්ථාව වසාගත් කඩතුරා ඉරාදැමුවා.
සැබැවින්ම "දුට්ඨ ගාමිණී නොමළ වගයි" යනු තනිකරම දේශපාලනික නවකතාවක්. එම පොත කියවා එදා මා තුළ හටගත් ටෙනිසන් හැදැරිමේ උන්මාදය නිසා ඒවන විට තහනමට ලක්කර තිබු "දැති රෝදෙන් උපන් බුදුන් " සොයා වෙහෙසෙද්දි අහම්බෙන් හමුවු වයෝවෘද්ධ මහත්මයෙක් ඒ පොත ගෙනැවිත් දුන්නේ කාටවත් නොදි තනිවම කියවා සඟවා ගන්නා ලෙස දැඩි ලෙස අවවාද කරමින්. එවකට පැවැති ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙන් එම පොත තහනම් කොට ටෙනිසන් රහස්පොලිසියට දක්කාගෙන ගොස් ප්‍රශ්න කර තිබුණා.
"දැතිරෝදෙන් උපන් බුදුන් " සැබැවින්ම ක්ලේමෝ බෝම්බයක්. ධනේශ්වර ආර්ථික අර්බුදය හමුවේ එදා තාරුණ්‍ය ගිලගත් ආධ්‍යාත්මික ඛේදවාචකය ටෙනී කතිකාවට ලක් කර තිබුණේ අතිශය තියුණු ආයුධයකින් එදා සමාජ දේශපාලන හා ආගමික සංස්ථාවල බඩවැල් බොකු එළියට ඇද දමන්නාක් මෙනි. ටෙනී ගේ ඒපොත් දෙක නිසාම ඔහු මගේ සාහිත්‍ය වීරයා වුණා.
දැති රෝදෙන්උපන් බුදුන් පොතට මා කෙතරම් පෙම් බැන්දා ද යත් මහින්ද රාජපක්ෂ රෙජිමය පැවති සමයේම මා එය මගේ කැටපත ප්‍රකාශන ආයතනය යටතේ පළමු වරට යළි මුද්‍රණය කළේ එන ඕනැම මර්දනයකට මුහුණ දෙන අපේක්ෂා වෙන්. ඒ වනවිටත් එය තහනමින් මුදවා තිබුණේ නෑ. ඇත්ත වශයෙන්ම මගේ ඇඟේ අමාරුවට කළත් ටෙනිත් එය යළි මුදුණය කිරිමට මඳක් පසුබැවා. එම කෘති දෙකෙන් පසු ටෙනි විශාල පොත් සංබ්‍යවක් ලියා පළ කළත් ඒ කිසිවකින් මට යථෝක්ත පොත් දෙකේදි හමුවු විරයා මුණ ගැසුණේ නෑ. කොහොම නමුත් සිංහල සාහිත්‍යය උදෙසා ඔහු කළ මෙහෙවර අමරණියයි

එදා ටෙනිසන් දුටුු දුට්ඨ ගාමිණි තවමත් මියගොස් නැත. අදටත් එක් එක් බළසේනා නමින් පැටව් ගසන්නේ ඒ දුට්ඨ ගාමිණිලා ගේ මුත්තලා ය. 60දශකයේදිම දුට්ඨ ගාමිණිලාගෙ භුමිකාව හඳුනාගන්නට තරම් පුළුල් දේශපාලන දැක්මක් තිබීම ම ටෙනිසන් පෙරේරා ගේ සාහිත්‍ය චින්තයේ විශිෂ්ටත්වය කියාපැමකි.මේ කෘති දෙක නැවත හැදෑරීම සාහිත්‍යයේ නවමං සොයා යන සාහිත්‍යවේදින්ට අතිශය වැදගත්ය.
Gunasiri Silva
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
