Image

"ගොළු" දරුවකු මහා හඬ පෞර්ෂත්වයක් හිමි ගුවන් විදුලි නිවේදකයකු වූ වගයි..!

"ගොළු" දරුවකු මහා හඬ පෞර්ෂත්වයක් හිමි ගුවන් විදුලි නිවේදකයකු වූ වගයි..!

පෘශ්ඨිමත් නමුත් මේ සුරතලා මහා දඟකාරයෙක්. ගම රාජගිරිය පැත්තෙ. තාත්තා ඩොක්යාඩ් එකේ වැඩ කළේ. අම්මා ගෘහණියක්. දූ පුතුන් හත් දෙනෙකුගේ පවුලේ දෙවෙනියා. තරමක් විශාල නිවසේ තම මෑණියන් ගේ නැගණිය ද, සහෝදරයකු ද ජීවත් වුණා.

අද රාජගිරිය ගුවන් පාලම් පවා ඉදිවී තිබුනත් දශක ගණනාවකට එහා පනහේ දශකයේ දී පමණ තුරුලතා පිරුණු මනස්කාන්ත ප්‍රදේශයක්. අද ත්‍රීවීල් රථවලට හිමි තැන එදා රාජගිරියේ දී හිමි වූයේ රික්ශෝකරුවන්ට. ඉදහිට එහෙට මෙහෙට යන "ඩබල් ඩෙකර්" රථ ද නොතිබුනා නොවේ.

මෙන්න මෙවැනි පරිසරයක හැදී වැඩුණු මේ "දඟකාරයා" කුඩා කාලයේ ගොළු දරුවෙක්.

දෙවියන් ගේ හාස්කමක් ද...?

දවසක් ගෙදරට සාස්තර කාරයෙක් එනවා. දෙමව්පියන් මේ දරුවා ගැන පැවසීමෙන් පසු ඔහු පැවසූයේ මහනුවරට කිට්ටුව දැඩිමුන්ඩ දේවාලයක් ඇති බවත්, ළමයා ලවා පලතුරු කදක් දෙවියන්ට පූජා කරන ලෙසත්.

තාත්තා ගෙනාවා පලතුරු කදක්. මිල රුපියල් දාහතයි.

ඔන්න මේ දරුවා කැටිව දෙමව්පියන් සහ තව කීප දෙනෙක් මේ කියූ දේවාලයට යනවා. කපු මහත්තයාට කාරණය කියා තාත්තත් මාමාත් පලතුරු කද දෙපැත්තෙන් අල්ලා මේ "දගකාරයා"ගේ කර උඩින් තිබ්බා.

"දැන් මම තිරේ අරිනවා. එතකොට ඔය දරුවට දෙවියො වැඩ ඉන්නවා පේනවා. පේනකොටම හයියෙන් සාධු සාධු සාධු කියන්න "කපු මහත්තයා දරුවාගේ කනට කරලා කීවා.

ඔන්න තිරේ ඇරියා. එකපාරටම දෙවියන්ගේ ප්‍රථිමාව දිස්නෙ දි දී පේන්න ගත්තා. මේ දරුවා එකපාරටම තිගැස්සී මහ හයියෙන් සාධුකාරා දුන්නා. ඔන්න ලෙඩේ සනීපයි.

 

බාල්දිය සමග නංගි ළිදේ

අවුරුදු තුනයි මාස නවයක දී තමයි ඔන්න ඔහොම කතා කරන්න පටන් අරගන තියෙන්නෙ. ආපහු ගෙදර වාහනෙන් යනකොට කියපු පළවෙනි දේ තමයි "අම්මේ මට බඩගිනියි" කියලා.

දවසක් තමන්ගේ අවුරුදු දෙකක් තුනක් වයස කුඩා නැගනිය මිදුලේ කොනක තියෙන ගැඹුරු ළිඳ ගාවට එක්කරගෙන ගියා. ළිදේ බාල්දියේ වාඩි කරවා ළිඳ තුළට බාල්දිය දැම්මා. පහළට බොලොක්කේ ආධාරයෙන් නංගී සමග ළිඳට බාල්දිය දැමුවත් ආපසු ඉහළට ගැනීමට නොහැකිව මේ "දඟයා" කෑගසන්නට පටන් ගත්තා.

අවට මිනිස්සු දුව ගෙන ආවා.

''මොකද බේබි මහත්තයෝ කෑගහන්නේ...?''

''මාමේ අපේ නංගී ලිඳ ඇතුළෙ...''

ගමේ උදවිය බොහොම මහන්සිවෙලා නංගීව උඩට අරගන.

ඔන්න ඔහොමයි මේ දඟ කාරයාගේ දඟ වැඩ.

 

රික්ශෝවෙන් පැමිණි ග්‍රැමෆෝනය

"ගොළුවා, වැද්දා, ඔන්න ඔහොම තමයි ගෙදරදී අනික් අය සමග රංඩු සරුවල් වෙද්දී මේ "දඟයා" ට කියපු නම්.

පුංචි අම්මා අගුත් "පික්චර්" එකක් එනගානේ තාත්තාට කියනවා ඒකේ රෙකෝඩ් එක ගේන්න කියලා. ඔන්න ඔහොම කුඩා කාලයේ පටන් මේ පොඩිත්තා හැදුණෙ වැඩුණෙ සින්දුත් එක්ක. ගෙදර පිරෙන්න රෙකොඩ්ස්. දහස් ගානක් එකතුවෙලා. මේ ගෙදරට ග්‍රැමෆෝන් යන්ත්‍රයක් ගෙනාවේ රුපියල් එකසිය දහයකට. රික්ශෝ කරත්තයක තමයි ගෙනාවේ.

 

රුහුණු කුමාරි සමග ඉඳුරුවට...

තාත්තා, ළමයින් කරන වැරදි ලියන්න පොතක් ගෙනත් අම්මට දීලා. ඒ පොතට අනුව මේ "දඟයා"ගේ නම තමයි වැඩියෙන්ම ලියවිලා තිබුණෙ. ඉස්කෝලේ ගියේ රාජගිරියේ හේවාවිතාරන විද්‍යාලයට. ඉස්කෝලෙනුත් පැමිණිලි එමටයි. ඔන්න ඔය කාලේ ඉඳුරුවේ කයිකාවල ගම්මුලාදෑනියා ගේ දුව මේ ගෙදරට නවතින්න ආවේ "හේවුඩ්" හි ඉගෙන ගැනීම සඳහා යි. ටික ටික මේ ගම්මුලාදෑනියා ගේ පවුලේ අයත් මේ පවුලේ අයත් අතර ලොකු හිතවත් කමක් ඇති වෙනවා. මේ හිතවත්කම නිසාම ගම්මුලාදෑනියා කියනව මේ දරුවා ගේ දඟකාරකම් මං හදා ගඤ්ඤං. මට දෙන්න ඉඳුරුවට ගෙනියන්න ගිහින් ළඟ ඉස්කෝලෙට දාන්නම්. ඔන්න රුහුණු කුමාරි දුම්රියෙන් තාත්තා සමග මේ දරුවා ඉඳුරුවට යනවා. එතැනින් කයිකාවලට රික්ශෝවකින් ගමන් කර ගම්මුලාදෑනියාගේ නිවසට දරුවා බාර දෙනවා.

ඔන්න ඉඳුරුව මහා විදුහලට මේ දරුවා ඇතුළත් වෙනවා.

 

රහස් විනෝදාංශය

ගම්මුලාදෑනියා කියන්නේ සමහර පොලිස් බලතලත් තිබුණ අයෙක්. සැරපරුෂයි; ගමම බයයි. ඒත් මේ දඟකාරයාට නම් ඒ ගැන වගේ වගක් නැති ගානයි. මෙයාගේ රහස් විනෝදාංශයක් තිබුණා. කෝච්චියක් ඈතින් එනකොට හොරෙන්ම ගිහින් රේල්පීල්ලේ ගලක් තියලා හැංගෙනවා. බොහෝ වාර ගාණක් මෙය සිදු වෙද්දී දුම්‍ රිය දෙපාර්තුමේන්තුවෙන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා. ඒ බව බව නොදත් මේ දරුවා එක් දිනක දී හැංගී සිටි පොලිස් නිලධාරීන්ට හසු වෙනවා. මේ දරුවා කාගේ කවුද නොදත් පොලිස් නිලධාරීන් මොහු රැගෙන යන්නේත් ගම්මුලාදෑනියා ගේ ම නිවසටයි.

පහුවදාම යළි කොලඹ එන්න සිදු වුනා. පසුවට නැවතත් රාජගිරිය හේවාවිතාරන විදුහලට ඇතුළත් වුණේ සිනා මුහුණින්.

ටී.එන්.එල්. , අයි ටී එන් රූපවාහිනී නාලිකාවලින් භාරත ගී වින්දන, ගුවන් විදුලියේ සවස තුනට විකාශය වූ හින්දි ගී අඩපැය තුළින් අප හමු වූ ඒ ගැඹුරු හඩවගේ ම ඇවිදින පුස්තකාලයක් බඳු රංජිත් එදිරිසිංහ නම් වූ " මහා නිවේදක " ගේ තොරතුරුයි ඔබ මේ කියවා අවසන් කළේ.

 

515268337 24273347935616692 2235184071852578718 n 3රංජිත් අයියේ ඔබට අප සැනසූ පිනෙන් දීර්ඝායුශ ලැබේවා! නිදුක් නීරෝගී භාවය ලැබේවා!!

 

398621954 3042151012584895 5384987780512348365 n

 

 

 

 

සටහන -  නන්දන සුසන්ත බණ්ඩාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න