බුදුසමය සහ රාජ්‍ය නීතිය අතර පැවති අන්‍යෝන්‍ය සබැඳියාව මෙන්ම ශාසනික චිරස්ථිතිය උදෙසා බුදුරජාණන් වහන්සේ සර්වකාලීන විනය ප්‍රඥප්ති සකස් කළ ආකාරය අධ්‍යයනය කිරීමට ඇති හොඳම නිදසුනක් ලෙස අංගුලිමාල තේරණුවන්ගේ කථා පුවත පෙන්වා දිය හැකි ය.
බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාලයන් දමනය කර සසුනට බඳවා ගැනීම හුදෙක් එක් දරුණු අපරාධකරුවකු යහමගට ගැනීමක් පමණක් නොවේ. එයින් අනතුරුව ලාංකීය ධර්ම ශාස්ත්‍රීය සමාජය තුළ එතරම් ගැඹුරින් සාකච්ඡා නොවන එහෙත් විනයපිටකයේ මහාවග්ගපාලියෙහි පැහැදිලිවම වාර්තාගත වී ඇති පුළුල් නීතිමය හා සමාජීය ප්‍රතිසංස්කරණ මාලාවක් සමාජය තුළ සිදු විය.
1. සමාජය තුළ පැවති මනෝවිද්‍යාත්මක භීතිය සහ කලකිරීම

අංගුලිමාල බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිදි වී සියලු කෙලෙසුන් නසා රහත් වීමට අවශ්‍ය ප්‍රණීත ප්‍රතිපදාවක නිරත වුව ද ඔහු කළ පැරණි දරුණු අපරාධ නිසා සමාජය තුළ පැවති සාතිශය භීතිය එක රැයින් තුරන් වුණේ නැත. සිවුරක් පොරවාගෙන සිටිය ද අංගුලිමාල තෙරුන් වහන්සේ වනයෙහි හෝ මගෙහි වඩිද්දී මිනිසුන් දැක්වූ ප්‍රතිචාරය මහාවග්ගපාලියේ මෙසේ සටහන් වේ.
"මනුස්සා පස්සිත්වා උබ්බිජ්ජන්තිපි, උත්තසන්තිපි, පලායන්තිපි, අඤ්ඤේනපි ගච්ඡන්ති..."
(මිනිස්සු ඔහුව දැක තැතිගනිති; බිය වෙති; පලා යති; වෙනත් මගකින් යති; වෙනත් දෙසකට මුහුණ හරවා ගනිති දොරටු වසා ගනිති.)
මෙයින් පැහැදිලි වන්නේ පුද්ගලයෙකුගේ ආත්මීය පරිවර්තනය සිදු වුව ද සමාජ සාධාරණත්වය සහ සාමාන්‍ය ජනතාව ගේ මනෝවිද්‍යාත්මක කැලඹීම සමනය වීමට තවදුරටත් කාලය අවශ්‍ය වූ බවයි.
2. ශාසනයට එල්ල වූ සමාජ අපවාදය (ලෝකවජ්ජ්‍ය)
අංගුලිමාල බඳු මහා පරිමාණයේ දරුණු මිනීමරුවකු ශාසනයට බඳවා ගැනීම එකල සමාජයේ දැඩි දෝෂාරෝපණයට ලක්විය. මිනිසුන් චෝදනා කළේ රාජ්‍ය නීතියෙන් දඬුවම් ලැබිය යුතු රට ම දන්නා ප්‍රසිද්ධ අපරාධකරුවන්ට බුදු සසුන රක්ෂස්ථානයක් හෝ නීතියෙන් බේරී හැංගෙන තැනක් වී ඇති බවයි.
මහාවග්ගපාලියට අනුව එකල ජනයා නැගූ ප්‍රශ්නය මෙසේ ය.
"කථං හි නාම සමණා සක්‍යපුත්තියා ධජබන්ධං චෝරං පබ්බාජෙස්සන්තී"
(මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයන් වහන්සේලා රජයෙන් අල්ලා ගැනීමට නියම කළ රට ම දන්නා ප්‍රසිද්ධ කොල්ලකරුවෙකු කෙසේ නම් පැවිදි කරගත්තාහුද?)
මෙම සමාජ අපවාදය නිසා ශාසනයේ පවිත්‍රත්වය සහ විශ්වාසනීයත්වය කෙරෙහි පොදු ජනතාව තුළ තිබූ පැහැදීම බිඳ වැටීමේ අවදානමක් මතු විය.
3. රාජ්‍ය වරප්‍රසාද අනිසි ලෙස භාවිත වීම වැළැක්වීම
මගධ රටේ සේනිය බිම්බිසාර රජතුමා විසින් බුදු සසුන කෙරෙහි ඇති ශ්‍රද්ධාව නිසා සුවිශේෂී රාජ්‍ය අනුඥාවක් පනවා තිබුණි. එනම්, යම් කෙනෙක් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයන් වහන්සේලා අතර පැවිදි වෙත් ද ඔවුන්ට රාජ්‍ය නීතියෙන් දඬුවම් නොකළ යුතුය යන්න යි.
අංගුලිමාල දමනයෙන් පසු මෙම රාජ්‍ය වරප්‍රසාදය අනිසි ලෙස භාවිත කරමින් වෙනත් අපරාධකරුවන් ද වැරදිවලින් බේරීම සඳහා සසුනට රිංගූ අතර මේ පිළිබදව ඇති වූ මහජන විරෝධය හමුවේ බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනයට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් ශාසනයේ පැවැත්ම උදෙසා උන්වහන්සේ වහාම ක්‍රියාත්මක වීමට තීරණය කළහ.
4. සර්වකාලීන නීති සංශෝධනය හෙවත් ධජබන්ධන චෝර ප්‍රඥප්තිය
අංගුලිමාල සුවිශේෂී පුද්ගලයෙකු (සහ අරහත්ත්වය ලැබීමට උපනිශ්‍රය සහිත උත්තමයෙකු) වූ නිසා බුදුහිමියන් එදා ඒහි භික්ඛු භාවයෙන් ඔහුව පැවිදි කළ ද එය සාමාන්‍ය නීතියක් හෝ පූර්වාදර්ශයක් කරගැනීමට උන්වහන්සේ ඉඩ දුන්නේ නැත.
භික්ෂූන් වහන්සේලා විසින් මිනිසුන් ගේ කලකිරීම බුදුහිමියන්ට සැල කිරීමෙන් පසු උන්වහන්සේ වහාම සංඝයා රැස්කරවා සදාකාලික විනය නීතියක් පනවා වදාළහ. එකම්,
"න භික්ඛවේ ධජබන්ධෝ චෝරෝ පබ්බාජේතබ්බෝ. යෝ පබ්බාජේය්‍ය ආපත්ති දුක්කටස්සා"
(මහණෙනි, ධජබන්ධන වූ එනම් රජයෙන් අල්ලා ගැනීමට නියෝග කර ඇති වරෙන්තු නිකුත් කර ඇති ප්‍රසිද්ධ අපරාධකරුවන් මින්පසු පැවිදි නොකළ යුතු ය. යම් භික්ෂුවක් එසේ පැවිදි කරන්නේ නම් එය දුක්කටාපත්තියක් වේ.)

අංගුලිමාල දමනයෙන් පසු සිදු වූ ක්‍රියාවලිය දෙස බැලීමේ දී බුදුරජාණන් වහන්සේ යනු හුදෙක් ආධ්‍යාත්මික විමුක්තිදායකයෙකු පමණක් නොව සමාජ විද්‍යාත්මක සහ නෛතික ස්ථාවරත්වය මැනවින් තේරුම් ගත් ශාස්තෘවරයෙකු බව මැනවින් ඔප්පු වේ.
අංගුලිමාලයන් රහත් වුව ද සමාජයේ සාමය සහ රාජ්‍ය නීතියේ ස්වෛරීභාවය සුරැකීම වෙනුවෙන් උන්වහන්සේ සසුනේ දොරටු අපරාධකරුවන්ට සදහට ම වසා දැමූහ.
මෙම මහාවග්ගපාලී විනය පාඨය මගින් පෙන්වා දෙන්නේ බුදු සසුන යනු රාජ්‍ය නීතියට ඉහළින් යන පාලනයක් නොව රාජ්‍ය නීතිය හා සාමාන්‍ය ජනමතය සමග මැනවින් සමපාත වෙමින් පවත්වාගෙන ගිය විනයගරුක ආයතනයක් බවයි.
ඉහත ලිපියට අදාළ වීඩියෝව පහළින් >>

සටහන - කැකිරාවේ සුදස්සන හිමි (Kekirawe Sudassana Himi)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
