රෝහණ විජේවීර ගේ ඝාතනයෙන් ඉක්බිති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකත්වය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පවරන තෙක් එම පක්ෂයෙහි නියකත්වය දැරුවේ සෝමවංශ අමරසිංහ ය. ඊයේ ඔහු අප අතරින් වෙන්ව ගොස් හරියට ම දස වසරකි.
මතු පළ වන්නේ එය නිමිති කරගනිමින් රෝණ විජේවීර ගේ පුත්, දෙවන පරපුර පක්ෂ නායක උවිඳු විජේවීර තැබූ සටහනකි.
දේශපාලන අඳුරු යුගයකින් (1988–89) පසු අළු සහ දූවිලි අතර වැටී තිබූ ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැගීමට නායකත්වය දුන් අසමසම සංවිධායකයා වූයේ සෝමවංශ අමරසිංහ ය. 1994 දී ජවිපෙ නැවත දේශපාලන වේදිකාවට ගෙන එමින් එය රටේ ප්‍රබල දේශපාලන බලවේගයක් බවට පත් කළේ ඔහුගේ කැපවීම, ධෛර්යය සහ දුරදක්නා නායකත්වය මගිනි. එමෙන්ම බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රටේ ජාතික බලවේග පෙළගස්වා ජනමතය ගොඩනැගීමට ද ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

අද දේශපාලන මතභේද කුමක් වුවත්, අභියෝග හමුවේ නොසැලී තම දේශපාලන විශ්වාස වෙනුවෙන් ජීවිතය කැප කළ නායකයෙකු ලෙස සෝමවංශ අමරසිංහ ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන සිටී.
රෙජී අංකල්

දේශපාලනයෙන් ඔබ්බට, සරලත්වය, මනුෂ්‍යත්වය සහ ආදරණීය ඇසුර නිසා ඔහු සමීපව ඇසුරු කළ බොහෝ දෙනා ගේ හදවත් තුළ අදත් ජීවමාන චරිතයකි. ඒ නිසාම අපට තාත්තා සමග උලපනේ ගෙවුණු කාලයේ සිට ම අවසානය දක්වා සැමවිට ම ඔහු රේජී අංකල් විය.
මා හට අවසන් වරට ඔහු හමුවූයේ මා රුසියාවේ අධ්‍යාපනයට යන බව පැවසීමට පැලවත්ත පක්ෂ කාර්යාලයට ගිය මොහොතේ ය.
මා යෑමට නියමිත රුසියාව පිළිබඳව, ලෝක දේශපාලනය පිළිබඳව සහ අනාගතය පිළිබඳව අපි සුහද කතාබහක නිරතව සිටියෙමු. එහිදී කසකස්තානය (Kazakhstan) යන රටේ නම මා ඉංග්‍රීසි භාෂාවේ හුරුවට උච්චාරණය කළ විට, එය නිවැරදි නොවන බව ඔහු පැවසී ය. අදටත් එය මා මතකයේ පවතින්නේ, මා විමතියට පත් කරමින් ඔහු රුසියන් බසින් සැකසුණු සිතීමක් ගෙන මා ඉදිරියේ තබා එම රටේ නම නිවැරදිව උච්චාරණය වන්නේ මෙලෙස බව පෙන්වා දුන්නේ. එම සංවාදය අතරතුර, ඉතාමත් අවධාරණයෙන් ඔහු මා හට පැවසූ තවත් වදන් කිහිපයක් අදටත් අමතක කළ නොහැකි ය.
විනයගරුක දේශපාලනය

“තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න ඉඩ තියන්නේ නැහැ.”
එදා එම වදන්වල ගැඹුර මට සම්පූර්ණයෙන් වැටහුණේ නැත. නමුත් පසුකාලීනව මට තේරුම් ගියේ, තාත්තා විසින් කිසිදු සුළු වරදකටවත් ඉඩ නොතබන, ඉස්පිල්ලක් හෝ පාපිල්ලක් වැරදීමටවත් ඉඩ නොදෙන විනයගරුක දේශපාලන සංස්කෘතියක් සහ මිනිසුන් පිරිසක් නිර්මාණය කර තිබූ බවය. නිවැරදිව සිතන, නිවැරදිව ක්‍රියා කරන, අනාගතය දකිමින් වගකීමෙන් කටයුතු කරන මිනිසුන් බිහි කිරීම ඔහු ගේ අපේක්ෂාව වී තිබුණි.
මා හට ඔහු අවසන් වරට දුන් උපදෙස වූයේ ද ඉතා සරල නමුත් බලවත් එකකි.
“කුමන තත්ත්වයක් යටතේ හෝ උපාධි සහතිකය අතට නොගෙන ලංකාවට ආපහු එන්න එපා.”
අවසන් හමුවීම

පියෙකු මෙන් ඔහු මා හට ලබා දුන් එම අවවාද හා උපදෙස් මම මගේ මතකයේ තැන්පත් කර ගතිමි. මාගේ මතකය නිවැරදි නම්, රෝහණ විජේවීර ගේ පුත්‍රයකු ලෙස මා පැලවත්තේ පක්ෂ කාර්යාලයට අවසන් වරට පා තැබුවේ ද එදිනය…
ඉන් අනතුරුව මා රුසියාවේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහු ජනතා විමුක්ති පෙරමුණ අතහැර ගියේය. ඒ සමගම, ඔහු නායකත්වයේ සිටින විට අපගේ පවුලට ලබා දෙන බවට පොරොන්දු වූ නිවස සහ කඳවුරෙන් නිදහස ලබා ගැනීම සම්බන්ධයෙන් පක්ෂයත් අපගේ පවුලත් අතර විසඳාගත නොහැකි අර්බුදයක් මතු විය.
කෙසේ වෙතත්, මාගේ පළමු උපාධි සහතිකය රැගෙන නැවත ලංකාවට පැමිණෙන විට, තාත්තාගේ මතක, ඔහුගේ ගුණ සුවඳ, හුරු ජවිපේ නායකත්වයේ සිටි අවසන් මිනිසා ලෙස මතකයන් ඉතිරි කර, ඔහු ද මෙලොව හැර ගොස් තිබිණි.
ඔබට විප්ලවීය උත්තමාචාරය…!

උවිදු විජේවීර (Uvindu Wijeweera)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
