ගෝලීය වශයෙන් අතිශය සුවිශේෂී වූත්, ලෝක උරුම ලැයිස්තුවට අයත් වූත් ලංකාවේ ප්‍රධානතම නිවර්තන වැසි වනාන්තරය වන්නේ සිංහරාජය යි.
සිංහරාජ රක්ෂිතයට ඇතුළු විය හැකි දොරටු කිහිපයක් තිබුණ ද, ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය, සංචාරක ආකර්ෂණය දිනාගත් සහ පහසුම ප්‍රධාන පිවිසුම් මාර්ගය වන්නේ කලවාන, වැද්දාගල හරහා කුඩව දොරණඇල්ල පිවිසුම යි. ඒ නිසා ම, කලවාන නගරය යනු හුදෙක් පරිපාලන නගරයක් පමණක් නොව, සිංහරාජයේ සිරි නැරඹීමට පැමිණෙන දේශීය-විදේශීය පරිසර හිතකාමීන්ගේ පිවිසුම් දොරටුව යි. එමෙන් ම වන රක්ෂිතය වටා පිහිටි ඈත දුරබැහැර ගම්මාන රැසක පොදු ජනතාව ගේ දෛනික ජීවිතයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය යි.
නිරන්තරයෙන් මගීන්ගෙන්, වාහනවලින් සහ කාර්යබහුලත්වයෙන් පිරී තිබෙන මේ නගරයේ හදවත බඳු කලවාන ප්‍රධාන බස් නැවතුම්පොළ, පසුගිය 2026 මැයි මස 24 වන දින සිට සාමාන්‍ය බස් නැවතුමක් අභිභවන සුවිශේෂී ඓතිහාසික කලාපයක් බවට පරිවර්තනය කෙරිණ. ඒ, සිංහරාජ අඩවියේ ජෛව විවිධත්වය, එහි ඇති පාරිසරික වැදගත්කම සහ සංරක්ෂණයේ ඇති දැඩි අවශ්‍යතාව පොදු ජනතාවට කියාපාන සජීවී "තොරතුරු සහ පරිසර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක්" ලෙස එය නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමත් සමග ය.
පොදු අවකාශයක් 'පරිසර සරසවියක්' කළ සංකල්පය
නිරන්තරයෙන් මිනිසුන් ගැවසෙන, බස් රථ එනතුරු මගීන් කාලය ගත කරන පොදු අවකාශයක්, පරිසර සංරක්ෂණ පණිවිඩය සමාජගත කරන කදිම තෝතැන්නක් බවට පත් කළ හැකි ය යන සැබෑ බිම් මට්ටමේ අදහස මුලින් නි ජනිත වූයේ ප්‍රදේශයේ ම ක්‍රියාකාරීන් පිරිසකගෙනි. මෙම වටිනා යෝජනාව ප්‍රායෝගික ව්‍යාපෘතියක් බවට පත් කිරීමේ භාරදූර වගකීම සහ පූර්ණ සංවිධානය භාරගනු ලැබුවේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර ඇතුළු කණ්ඩායම විසිනි. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මගින් වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන, "නිවර්තන වැසි වනාන්තර සංරක්ෂණය සඳහා පාරිසරික ගොවිතැන සහ කෘෂි වන වගා සංකල්ප භාවිත කරමින්, සාම්ප්‍රදායික තේ වගා බිම් බහුබෝග වගා සහිත හරිත බිම් බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය" ට සමගාමීව මෙම ප්‍රදර්ශන පරිශ්‍රය නිර්මාණය කෙරිණි. මින් අපේක්ෂා කරන්නේ වනාන්තරය වටා ඇති පරිවාර කලාපයේ (Buffer Zone) පරිසර පද්ධතිය ද සුරැකීමයි.
මේ මහඟු සිතුවිල්ල යෝජනා කළ සහ එයට දායක වූ පිරිස පිළිබඳ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මෙසේ අදහස් දැක්වූයේ ය.
“මේ ව්‍යාපෘතිය සඳහා වන පළමු යෝජනාව ඉදිරිපත් කළේ, සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කලවාන පර්යන්ත පාලක අරවින්ද ලක්මාල්, කලවාන නගර සංවර්ධන පදනමේ සභාපති රාජිත චතුරංග පිටිගල සහ පිටිගලකන්ද හා මන්නවත්ත ප්‍රදේශයේ පදිංචි සිංහරාජ අඩවිය ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන උපාලි ජයවර්ධන කියන කණ්ඩායමයි. ඔවුන් ගේ හා අප ගේ සංකල්ප මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පදනම සකස් වුණා.
පටු දේශපාලන හෝ පෞද්ගලික පරමාර්ථවලින් තොරව, පොදු පාරිසරික අරමුණක් වෙනුවෙන් රාජ්‍ය, පෞද්ගලික සහ සිවිල් සංවිධාන රැසක් අත්වැල් බැඳගැනීම මෙහි ඇති සුවිශේෂීම ආදර්ශය යි. ඒ අනුව කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් ප්‍රියන්ත සෝමදාස මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය, සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, කලවාන නගර සංවර්ධන පදනම, කලවාන බස්රථ යාළු එකමුතුව (පෞද්ගලික සහ ලංගම සේවක මහතුන්) යන මේ සියලු පාර්ශ්ව එකම පවුලක් මෙන් එක්වී, ශ්‍රමයෙන් හා සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ශක්තියක් වුණා.”
බිත්ති මත සිතුවම් වූ සිංහරාජයේ රහස්
කලවාන බස් නැවතුම්පොළට පියනගන ඕනෑම අයකුගේ නෙත දැන් නතර වන්නේ සිංහරාජයේ අසිරිය සහ එහි ජීවත් වන ආවේණික සත්ව සහ ශාක ප්‍රජාව විදහාපාන අලංකාර ප්‍රදර්ශන පුවරු අසල ය. මෙම පුවරුවල අන්තර්ගතය හුදෙක් තොරතුරු ලැයිස්තුවක් පමණක් නොවේ. එය කියවන්නා ගේ හදවතට කතා කරන පරිසර සංවේදී පණිවිඩ සමුදායකි.
මෙම පුවරු සඳහා අවශ්‍ය විද්‍යාත්මක සටහන්, තොරතුරු ගොනු කිරීම, නිර්මාණ සැලසුම්කරණය සහ මුද්‍රණය සඳහා අවශ්‍ය සියලු ම මූල්‍යමය හා තාක්ෂණික දායකත්වය ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් දරන ලද අතර, ඒ සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ පර්යේෂකයින් සහ ශිල්පීන් පිරිසක් තම දායකත්වය නොමසුරුව ලබා දී ඇත.
මේ ව්‍යාපෘතිය සඳහා ඡායාරූප දායකත්වය ලබා දුන්නේ ප්‍රසිද්ධ උරග හා උභයජීවී පර්යේෂක උයද චානක සහ පොතුපිටිය මහා විද්‍යාලයේ භූගෝල විද්‍යා ආචාර්ය මෙන්ම අඹගහකන්ද සිංහරාජ සුමිතුරෝ සංවිධානයේ පර්යේෂක ශාලිත් කරුණාරත්න විසිනි. වසර ගණනාවක් තිස්සේ මහ වනයේ දුෂ්කර සංචාරවල යෙදෙමින් කැමරා ඇසට හසුකරගත්, සිංහරාජයට ම ආවේණික දුර්ලභ ජීවීන් ගේ ඡායාරූප මේ සඳහා භාවිත කර ඇත.
සිතුවම් දායකත්වය ලබා දුන්නේ රඹුක්කන සුජාතා විද්‍යාලයේ චිත්‍ර ආචාරිනී ඉනෝකා දිල්රුක්ෂි ද හේරත් විසිනි. වනයේ සජීවී බව මනාව පසක් කරමින් අඳින ලද අපූර්ව සිතුවම් ද මේ සඳහා යොදාගෙන තිබීම, බස් නැවතුම්පොළ පරිශ්‍රයට වෙනස්ම ආකාරයක සෞන්දර්යාත්මක මෙන් ම සංස්කෘතික වටිනාකමක් එක් කරයි. මෙම පුවරු සඳහා අවශ්‍ය සටහන් සැකසුම, නිර්මාණ සැලැසුම සහ මුද්‍රණය කර සකස් කිරීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් සිදු කරන ලදී.
මෙම සමස්ත ප්‍රායෝගික ක්‍රියාවලිය පිටුපස නිහඬව හිඳිමින්, වැඩබිම සාර්ථක කරලීමට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සබරගමුව පළාත් සජීවීකාරක එම්. නවරත්න, ජාතික පාරිසරික පදනමේ සභාපති සුරංග බුද්ධික සහ අඹගහකන්ද සිංහරාජ සුමිතුරෝ සංවිධානයේ සභාපති සනත් වසන්ත ඇතුළු සමස්ත සාමාජික කණ්ඩායම ඉටුකළ මෙහෙය අතිමහත්ය.
පාරිසරික ගොවිතැන සහ වනයේ පැවැත්ම
මෙම ව්‍යාපෘතියේ තවත් ප්‍රධාන අරමුණක් වන්නේ සිංහරාජය අවට ජීවත් වන ජනතාවට පාරිසරික ගොවිතැන (Ecological Farming) පිළිබඳව දැනුම ලබා දීමයි. සිංහරාජය බඳු සංවේදී පරිසර පද්ධතියක් රැකගත හැක්කේ රසායනික පොහොර සහ කෘමිනාශක බහුලව භාවිත කරන වගා වෙනුවට, ස්වභාවදහමට අනුකූල කෘෂි වන වගා ක්‍රමවේද (Agro-forestry) වෙත ජනතාව යොමු කිරීමෙන් පමණි. බස් නැවතුම්පොළේ ඇති පුවරු මගින් ගොවි ජනතාවට එම වටිනා පණිවිඩය ද ඉතා සරලව වටහා දී ඇත.
වනය රකින මිනිසුන් ගේ හඬ
"එන්න, දැකබලා ගන්න, මතු පරපුරට ඉතිරි කරන්න" ඒ, වනය සුරකින්නන් ගේ පණිවුඩයයි.
සිංහරාජය යනු හුදෙක් ගස්කොළන් පිරි ඝන කැලෑවක් නොවේ; එය ලෝකයේම සහ සමස්ත ශ්‍රී ලංකාවේ ම දේශගුණය, ජල පෝෂක ප්‍රදේශ සහ ජීවයේ පැවැත්ම තීරණය කරන, මිල කළ නොහැකි ජෛව සම්පතකි. එය අපට පමණක් නොව, මුළු මහත් ලෝකයටම අයිති පොදු උරුමයකි. එබැවින්, සිංහරාජයේ නිල්වන් අසිරිය, සිහිල් සුළඟ සහ නිශ්ශබ්දතාව විඳින්නට යන, විශේෂයෙන් ම මෙරට හෙට දවස බාරගැනීමට සිටින පාසල් දරු දැරියන්, තරුණ පරපුර ඇතුළු සියලු ම දේශීය විදේශීය සංචාරකයන් ගෙන් මෙම සමස්ත සංවිධානය ම ආදරයෙන් ඉල්ලා සිටින්නේ එකම එක ඉල්ලීමකි.
"සිංහරාජයට යන මඟ පියවර තබන ඔබ, කලවාන බස් නැවතුම්පොළේ මොහොතකට නතර වන්න. එහි ඇති ප්‍රදර්ශන පුවරු දෙස විමසිලිමත්ව බලන්න, ඒවා කියවන්න. අපේ පෘථිවියේ පෙණහලු බඳු වැසි වනාන්තර රැකගැනීමේ වැදගත්කම පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරගන්න. ඔබ මෙතෙක් නොදැන සිටි සිංහරාජයේ රහස් මේ පුවරු තුළින් හඳුනාගෙන, වනාන්තරයට ඇතුළු වීමට පෙර ඒ කෙරෙහි ගෞරවයක් සහ ආදරයක් ඔබේ හදවතේ ඇති කරගන්න. ඉන්පසු, සිංහරාජය සුරැකීමේ මේ මහා හරිත මෙහෙයුමට ඔබේ දායකත්වයත් ලබා දෙන්න."
කලවාන ප්‍රධාන බස් නැවතුම්පොළේ ස්ථාපිත කර ඇති මෙම නව තොරතුරු අඩවිය, මතු පරපුර උදෙසා මහා වනාන්තරයක් නිරුපද්‍රිතව රැකගැනීමේ දැවැන්ත සාමුහික වගකීමේ සාර්ථක ආරම්භයයි!
සෝබා කෝලියවංශ





newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
