Image

ගින්නෙන් මතු වූ රන්දෝණි; ෆාතිමා සෙයිනබ් නම් වීරවරිය

ගින්නෙන් මතු වූ රන්දෝණි; ෆාතිමා සෙයිනබ් නම් වීරවරිය

ජීවිතය යනු කිසිදිනෙක සරල රේඛාවක් නොවේ. එහෙත් අවුරුදු දහහතරක කුඩා දැරියකගේ ලෝකය මුළු මහත් සමාජයක ම වෛරයට ලක්වී එක රැයකින් කඩා වැටෙද්දී, ඇය ඉන් ගොඩ ඒවි යැයි සිතුවේ කීයෙන් කී දෙනාද? මේ කතාව අපේ කාලයේ සැබෑ වීරවරියක ගේ ය. ජාතිවාදය නමැති මාරාන්තික අවියට, අධ්‍යාපනය සහ මානව භක්තිය නමැති පලිහෙන් පිළිතුරු දුන් ඇය නමින් ෆාතිමා සෙයිනබ්ය. ඇය, වසර ගණනාවක් මුළු රටක් ම කතා කළ වෛද්‍ය සාෆි ෂිහබ්දීන්ගේ සහ වෛද්‍ය ඉමාරා ගේ ආදරණීය ලොකු දියණියයි.

බුද්ධ ධර්මය විෂයට ඉහළ ම ලකුණු

2019 වසරේ මැයි මාසය වන තෙක් සෙයිනබ් ගේ ලෝකය ඉතා සුන්දර එකක් විය. කුඩා කල සිට ම ඉගෙනීමට අතිශය දක්ෂතා දැක්වූ ඇය, අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල පිහිටි ප්‍රසිද්ධ සිංහල බෞද්ධ බාලිකා පාසලක් වන මලියදේව බාලිකා විද්‍යාලයේ ය. ඇය එහි නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා ය. ජාති, ආගම්, කුල භේද කිසිවක් ඇගේ ළමා මනසේ ගෑවීවත් තිබුණේ නැත. ඉස්ලාම් ධර්මය අදහන පවුලක ඉපදුණ ද, ඇය පාසලේ දී සියලු විෂයයන් සිංහල මාධ්‍යයෙන් හැදෑරුවා පමණක් නොව, විෂයයක් ලෙස බුද්ධ ධර්මය ද ඉතා ආසාවෙන් ඉගෙන ගත්තා ය. බෞද්ධ දර්ශනයට දැක්වූ ඒ ළෙන්ගතුකම නිසා ම, පාසලේ වාර විභාගවල දී බුද්ධ ධර්මය විෂයට ඉහළ ම ලකුණු ලබාගත් සිසුවියන් අතර පෙරමුණේ සිටීමට ද ඇයට හැකි විය. ඇය ගණිතය සහ විද්‍යාව යනාදි විෂයයන්ට ද උපන් හපනකු වූවා ය. සෙසු දැරියන් සමග සහෝදරත්වයෙන් කෙළිදෙළෙන් ගතකළ ඒ සුන්දර පාසල් සමය කිසිදා මෙලෙස අඳුරු වනු ඇතැයි ඇය සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

පියාට එරෙහි කුමන්ත්‍රණය

images 1

2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුළු රටම භීතියෙන් සහ අවිශ්වාසයෙන් වෙළී ගියේ ය. සමස්ත මුස්ලිම් ප්‍රජාව කෙරෙහිම සැකසහිත බැල්මක් හෙළීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටි ඒ අඳුරු වකවානුව, සෙයිනබ්ගේ  පියාට එරෙහි කුමන්ත්‍රණය සඳහා මනා පිටිවහලක් විය.
2019 මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පත මගින් පළ කරන ලද එක් ප්‍රවෘත්තියක් මුළු රටම ගිනි තැබී ය. "තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා" යනුවෙන් පළවූ ඒ අතිශයෝක්ති සහ ව්‍යාජ ප්‍රවෘත්තිය ඇගේ ආදරණීය පියා වටා ගෙතී තිබිණි. කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ පැමිණිල්ලක් නොමැතිව, 2019 මැයි 24 වැනිදා රාත්‍රියේ ඇගේ පියා වූ වෛද්‍ය සාෆිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ ය.

තම පියා මව්වරුන් 4000ක් වඳ කළේය යන අමූලික බොරුව මුළු රටම පිළිගනිද්දී, පවුලක් ලෙස ඔවුන් අපා දුක් වින්දහ. රූපවාහිනී නාලිකා, පුවත්පත් සහ සමාජ මාධ්‍ය පුරා දිගින් දිගට ම ඇගේ පියාට අපහාස කරද්දී, අවුරුදු දහහතරක ඒ පුංචි දැරියට ඒ සියල්ල දරාගැනීම කෙතරම් අසීරු වන්නට ඇත්දැයි වටහා ගැනීම අපහසු නැත. ඇයගේ බාල නැඟණිය වූ ශාක්‍යා සහ සහෝදරයා වූ සෙත්ගේ ද මුළු ලෝකය ම කඩා වැටෙන්නට පටන් ගත්තේ ය.

තාත්තා අත්අඩංගුවට පත්වී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය දී, සෙයිනබ්ට මුහුණ දීමට සිදු වූයේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් මානසික පීඩනයකට ය. ඊයේ වනතුරු එකට සෙල්ලම් කළ යහළුවන්, ගුරුවරුන් සහ පාසලේ සෙසු දැරියන්ගේ දෙමාපියන් පවා ඇයට "වඳ දොස්තරගෙ දුව" යැයි කියමින් විවෘතව ම අපහාස කරන්නට පටන් ගත්හ.

පාසලෙන් නෙරපීම

මෙහිදී වඩාත්ම අමානුෂික සහ හද කම්පා කරවන සිදුවීම වාර්තා වූයේ පාසල තුළ දී ම ය. දිනක් පාසලේ දී මාස් ශුද්ධිය සෑදුණු සිය මිතුරියකට සෙයිනබ් විසින් සනීපාරක්ෂක තුවායක් ලබා දුන්නාය. එම මිත්‍රශීලී ක්‍රියාව ජාතිවාදීන් විසින් අර්ථකථනය කළේ කුරිරු අන්දමිනි. "සෙයිනබ් පාසලේ වඳ පෑඩ් බෙදනවා" යැයි කියමින් ඔවුන් මුළු පාසල පුරාම කටකතාවක් සහ දැවැන්ත භීෂණයක් පතුරුවා හැරියහ.
අවසානයේ දී, පාසලේ ඉහළ පුටුවලින් ද ඇයට තර්ජන එල්ල වන්නට විය. "තාත්තා අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරලානේ තියෙන්නේ. ඒ නිසා ඔයා පාසලෙන් අයින් වෙන්න" යැයි ඔවුහු දැරියට බලපෑම් කළහ. තමන්ට එල්ල වූ මෙම මානසික පීඩනයන් සහ තර්ජන හමුවේ, තමන් ඒ තරම් ආදරය කළ සිංහල බෞද්ධ පාසලෙන් ඉවත්ව යෑමට මේ කුඩා දැරියට සිදු විය. එය සැබවින්ම පාසලෙන් ඉවත්වීමක් නොව, ජාතිවාදය විසින් ඇයව එළවා දැමීමකි.

කෙටි කලක් තුළ පාසල් පහක්

කුරුණෑගලින් පණ බේරාගත් සෙයිනබ් ඇතුළු පවුලේ අය පළමුව කොළඹට පැමිණියහ. ඇය කොළඹ පිහිටි මුස්ලිම් කාන්තා විද්‍යාලයකට ඇතුළත් වූවා ය. එහෙත් පාස්කු ප්‍රහාරයෙන් පසු අගනුවර ද ඔවුන්ට ආරක්ෂිත ස්ථානයක් නොවීය. විවිධ නින්දා අපහාස සහ පීඩා එල්ල වීම නිසා කොළඹින් ද සමුගෙන, ඇගේ පියා ගේ ගම වූ කල්මුණේ ප්‍රදේශයට පලා යෑමට ඔවුන්ට සිදුවිය. මේ කෙටි කාලය ඇතුළත පමණක් ඇයට පාසල් පහකට මාරු වීමට සිදුවීමෙන් ම, ඇගේ අධ්‍යාපනය කෙතරම් කඩාකප්පල් වී ද යන්න පැහැදිලි වේ.
කල්මුණේ ප්‍රදේශය ඔවුන්ට ආරක්ෂිත වුව ද, එහි ජීවිතය සෙයිනබ්ට අතිශය කර්කෂ එකක් විය. ඇය කල්මුණේ පිහිටි බද්දියුදීන් කාන්තා පාසලට ඇතුළත් වූවා ය. එතෙක්කල් සිංහල මාධ්‍යයෙන් සියලු විෂයයන් හැදෑරූ ඇයට, එහි දී සියලුම විෂයයන් දෙමළ මාධ්‍යයෙන් හැදෑරීමට සිදු විය. පුංචි සිතට මෙය කිසිසේත් දරාගත නොහැකි වූ අතර, දෙමළ භාෂාවෙන් ඉගෙනීමට සිදුවීම නිසා ඇය හැඬූ වාර අනන්තය. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි දක්ෂ සිසුවියකට මේ ඛේදවාචකය උදා කර දුන්නේ හුදෙක් දේශපාලන වාසි තකා ජාතිවාදය ඇවිස්සූ අන්තවාදීන් විසිනි.

ගෝත්‍රවාදයට එල්ල කළ දැවැන්ත බුද්ධිමය ප්‍රහාරය

ලෝකයටම මහා ව්‍යසනයක් ගෙන ආ 2020 වසරේ කොවිඩ් වසංගතය, පුදුමයකට මෙන් සෙයිනබ්ට ආශිර්වාදයක්ම විය. වසංගතය හේතුවෙන් පාසල් වැසී ගොස් මාර්ගගත අධ්‍යාපනය කරළියට පැමිණීමත් සමග, ඇයට නැවතත් අවස්ථාවක් උදා විය. කුරුණෑගල සිටි, ඇයට ආදරය කළ පැරණි ගුරුවරුන් ගෙන් නැවතත් සිංහල මාධ්‍යයෙන් ඉගෙනීමට ඇයට ඔන්ලයින් හරහා අවස්ථාව ලැබුණි. කල්මුණේ සිට දින, සති, මාස ගණන් තාක්ෂණය සමග බද්ධ වෙමින් ඇය ඉතා ආසාවෙන් සහ කැපවීමෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වූවා ය. ඇය ගේ ඒ දැවැන්ත කැපවීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලය 2022 වසරේදී මුළු රටටම දැකගත හැකි විය. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඇය පෙනී සිටි විෂයයන් නවයටම විශිෂ්ට සම්මාන ('A' සාමාර්ථ 9ක්) ලබා ගැනීමට ඇය සමත් වූවා ය. ඉන් විෂයයන් හතරකටම ඇය මුහුණ දුන්නේ සිංහල මාධ්‍යයෙනි. එය හුදෙක් විභාග ප්‍රතිඵලයක් පමණක් නොව, ඇයගේ පවුලට එරෙහිව නැඟුණු ගෝත්‍රවාදයට එල්ල කළ දැවැන්ත, බුද්ධිමය ප්‍රහාරයක් විය.

සාෆි ගේ දියණිය වීමේ සාපය යළිත්...

A සාමාර්ථ 9ක් ලබා ගැනීමෙන් පසු, වෛද්‍ය සාෆි සහ බිරිඳ (මේ වන විට වෙනත් රෝහලකට මාරුවක් ලබා සිටි) සිය දියණියට උසස් පෙළ හැදෑරීම සඳහා මහනුවර ප්‍රධාන පෙළේ ජනප්‍රිය බාලිකා පාසල් දෙකකට අයදුම්පත් යොමු කළහ. සාමාන්‍යයෙන් 'A' සාමාර්ථ 7ක් හෝ 8ක් ඇති දරුවන්ට පවා එම පාසල්වල දොරගුළු විවර වුව ද, ෂෙයිනබ්ට එම පාසල් වෙත සම්මුඛ පරීක්ෂණයකට හෝ කැඳවීමක් ලැබුණේ නැත.
මජර පාසල් සංස්කෘතිය ඇයට දොර වැසුවේ එකම එක හේතුවක් නිසා ය; ඒ ඇය "වෛද්‍ය සාෆි ගේ දියණිය" වීමයි. ඇයව පාසලට ගැනීම තමන්ට ගැටලුවක් යැයි එම පාසල් බලධාරීන් සිතන්නට ඇත. ජාතිවාදී පිළිලය අවසානයේ අතිදක්ෂ සිසුවියකට උසස් පෙළ හැදෑරීමට පාසලක්වත් ලබා නොදෙන තත්ත්වයට රට පත් කර තිබිණි. නමුත් මේ වීරවරිය ඉන් සැලුණේ නැත. පාසල් පද්ධතියෙන් ප්‍රතික්ෂේප වූ ඇය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව පිහිටි සිය මිත්තණිය ගේ නිදහස් ගම්මානයට ගියා ය. රමණීය වෙල්යායෙන් සහ ඇළ දොළින් පිරි එම ග්‍රාමීය පරිසරය ඇය තමන්ගේ පාසල කර ගත්තා ය. භෞතික විද්‍යාව වැනි බැරෑරුම් විෂයයන් තනිවම සහ අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ගුරුවරුන් හරහා අධ්‍යයනය කිරීමට ඇය පියවර ගත්තා ය. සතියකට වරක් හෝ දෙවරක් අනුරාධපුරයේ සිට නුවරට පැමිණ අප්‍රසිද්ධව ම උපකාරක පන්තිවලට ද ඇය  සහභාගි වූවා ය.

අසීරුවෙන් පැනගත් ඊළඟ කඩුල්ල

දැඩි මානසික පීඩනයන්, සමාජ කොන් කිරීම්, පාසල් අහිමි වීම් සහ ආර්ථික දුෂ්කරතා මැද වුවද, 2024 වසරේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන් මේ යකඩ ගැහැනිය, මුළු ලංකාව ම මවිත කරමින් 'A' සාමාර්ථ 3ක් ලබා ගත්තාය. ඇය දිස්ත්‍රික්කයෙන් 12 වැනියා ද, ලංකාවෙන්ම 357 වැනියා ද වෙමින්, 2.2 කට වැඩි 'Z' අගයක් ලබා ගත්තා ය. ඇගේ සිහිනය වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී පත් වීමට ඇයට හැකි විය. සියලු කටුක අත්දැකීම්වලින් පසු, ඇය සමාජයට වෛර කළේ නැත. ඇය ගේ හදවතේ තිබුණේ මෛත්‍රිය සහ අධිෂ්ඨානය යි.

"මගේ පියා නොකළ වරදක් සම්බන්ධයෙන් චෝදනා කළ අය ගේ සිට කවර හෝ ජාති ආගම් භේදයකින් තොරව මානව භක්තියෙන් ප්‍රතිකාර කරන හොඳ වෛද්‍යවරියක් වෙනවා."  

ඒ, ප්‍රතිඵල ලැබීමෙන් පසු සෙයිනබ් පැවසූ වදන් ය.

සාමය සහ සමගිය ගොඩනැඟිය හැක්කේ බෙදීම් ජයගැනීමෙන් පමණි

අවසානයේ දී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් තහවුරු වූයේ වෛද්‍ය සාෆි කිසිදු වරදක් කර නොමැති බවයි. වසර පහකට අධික කාලයක් පැවති ව්‍යාජ චෝදනාවලින් ඇගේ පියා වූ වෛද්‍ය සාෆිව 2024 නොවැම්බර් 06 වන දින අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.
මාධ්‍යවේ දී සුරංග සේනායක විසින් ඇයගේ සහ පවුලේ කතාව අලළා රචනා කළ "රන්දෝණි" කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට, වෛද්‍ය ශිෂ්‍යාවක ලෙස වේදිකාවට නැගුණු සෙයිනබ්, සමස්ත සමාජයට ම ප්‍රබල පණිවිඩයක් ලබා දුන්නා ය. ජාතිවාදය යනු හුදෙක් වචනයක් පමණක් නොව සමාජය විනාශ කරන ව්‍යසනයක් බවත්, සාමය සහ සමගිය ගොඩනැගිය හැක්කේ බෙදීම් ජයගැනීමෙන් පමණක් බවත් ඇය අවධාරණය කළා ය.

ෆාතිමා සෙයිනබ් යනු හුදෙක් විභාග ජයගත් තවත් එක් සිසුවියක් පමණක් නොවේ. ඇය මුළු මහත් සමාජයකම වෛරය, මඩ ප්‍රහාර, පාසල්වලින් පන්නා දැමීම් සහ දැඩි මානසික පීඩනයන් හමුවේ නොසැලී සිටි යකඩ ගැහැනියකි. කටුක යථාර්ථයට තම කඳුළුවලින් නොව, අධිෂ්ඨානයෙන් සහ පෑනෙන් පිළිතුරු දුන් ඇය, මජර දේශපාලනයට සහ ජාතිවාදයට එරෙහිව නැගී සිටි අපේ කාලයේ සැබෑ වීරවරියකි; සැබෑ ම 'රන්දෝණියකි'.

Screenshot 2026 06 19 054010

 

 

 

 

ප්‍රදීප් රාජපක්ෂ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න