Image

ලංකාවේ අපරාධ නඩුවක සාක්ෂි පිළිබඳ වැදගත් නඩු තීන්දුවක්

ලංකාවේ අපරාධ නඩුවක සාක්ෂි පිළිබඳ වැදගත් නඩු තීන්දුවක්

කිලිනොච්චියේදී තම පෙම්වතියව ඝාතනය කළ අයෙකුට පසුගියදා මරණ දඬුවම හිමි වුණා. ඒ, 2014 වසරේදී කළ මෙම ඝාතනයට, 2023 දී කිලිනොච්චි මහාධිකරණය විසින් දුන් දඬුවම, අභියාචනාධිකරණය විසින් නැවත තහවුරු කරමින්. මෙය, ලංකාවේ අපරාධ නඩුවක සාක්ෂි ගැන වැදගත් නඩු තීන්දුවක්.

සිදුවීම කුමක්ද? නඩුව මොකක්ද? චෝදනා මොනවාද? සාක්ෂි මොනවාද? අපි මේ ලිපියෙන් ඒ ගැන විමසා බලමු.

මේ, මීට දින තුනකට පෙර ගරු ශ්‍රී ලංකා අභියාචනාධිකරණය විසින් තීරණය කළ, CA/HCC/0281/2023 දරන නඩු තීන්දුව පිළිබඳ සටහනක්.

සිදුවීම කුමක්ද?

කතාව පටන් ගන්නෙ 2014 දි. පෙම්වතුන් යුවළකකගෙන්. පෙම්වතා තමයි “නාගරාසා කදීස්වරන්“ හෙවත් “තිලීපන්“. ඔහු ගෙ ගම කිලිනොච්චිය. පෙම්වතිය තමයි “රාමලිංගම් රාජා සුලෝචනා“. ඇය ගෙ ගම මාතලේ.

තිලීපන් සහ සුලෝචනා කියන්නෙ, නෑනා සහ මස්සිනා. මේ දෙන්නා විවාහ වෙන්න තීරණය කරලයි හිටියෙ. නමුත් සුලෝචනා ගෙ දෙමව්පියන් මේ විවාහය කරගන්නවාට විරුද්ධ වුණා. සුලෝචනා ගෙ තාත්තා වන “රාමලිංගම්“ සහ, සුලෝචනාගෙ අම්මා වන “රාසම්මා“ කියන දෙන්නා ම මේ විවාහයට විරුද්ධ වුණා. ඊට හේතුව “තිලීපන්“ ට කිසිඳු ස්ථිර රැකියාවක් නොමැතිකම.

2014 අප්‍රේල් 9 වැනිදා සුලෝචනා එයාගෙ අම්මට කිව්වා, තිලීපන්ට තමන්ව මුණ ගැහෙන්න වුවමනා යැයි කියූ බව. ඒ සඳහා කිලිනොච්චියට අඩගැසූ බව. ඒ වගේම මේ ගැන පවුලේ අනෙක් අයට කියන්න එපා කියලත් සුලෝචනා අම්මාගෙන් ඉල්ලුවා.

තිලීපන් ගේ ඉල්ලීම පරිදි, 2014 අප්‍රේල් 12වෙනි දා උදේ 10ට පමණ, සුලෝචනා තිලීපන්ව හමුවීමට ගෙදරින් පිටත් වුණා. ඔවුන් ගෙ නිවෙස තිබුණෙ මාතලේ. සුලෝචනා මාතලේ සිට තමයි කිලිනොච්චියට පිටත් වුණේ. මේ යන මොහොතෙත් අම්මා, ඇගේ ගමනට විරුද්ධ වුණා. සුලෝචනා අම්මා ගේ විරෝධතාව නොතකා පිටත් වුණා. පහුවෙනිදා, එනම් 2014 අප්‍රේල් 13 වැනිදා, “රාමලිංගම්ට“ (සුලෝචනාගෙ තාත්තාට) දුරකතන ඇමතුමක් ආවා. දුරකතනයේ සටහන් වුණේ තිලීපන් ගෙ නම. නමුත් කතා කළ කෙනා, වැරදි නම්බරයකින් ඩයල් කෙරුවාක් සේ හැසිරිලා ඇමතුම විසන්ධි කළා. ඒ තිලීපන් ම බව තාත්තා අනුමාන කෙරුවා.

 

ළිඳ තුළ මළ සිරුරක්

මේ අතර, “ශ්‍රීබාලන්“ නමැත්තෙකුට අයත් ඉඩමක, අසාමාන්‍ය ලෙස බල්ලන් බුරන බව “මහේන්ද්‍රන්“ සහ “අජිත් කුමාර්“ නමැති දෙන්නෙක් විසින් නිරීක්ෂණය කෙරුවා. ඔවුන් මේ ආසාමාන්‍ය බල්ලන් බිරීම ගැන විපරම් කර බැලුවා. අදාළ ඉඩමේ බිම තිබී ඔවුන් ලේ පැල්ලම් සහ ලේ තැවරුණු “ශෝල් එකක්“ (shawl) සොයාගත්තා. පසුව ශ්‍රීබාලන් විසින් කිව්වා මේ ඉඩම තමා ගේ බව. අදාළ ඉඩමේ ගස් කීපයක්, පාළු ළිඳක් සහ පාළු කුඩා නිවෙසක් තිබෙන බව. එහි ඇඳක් මත, තමන් ගේ ගෙදර අයට අයත් නොවනා සල්වාර් ඇඳුමක කොටස් තිබී තමන්ට හමු වුණු බව.

කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ගේ සහාය ඇතිව, ළිඳක තිබී සුලෝචනා ගේ සිරුරත් (ඒ වනවිට හඳුනා නොගත්) ගොඩගත්තා. සිවිල් ආරක්ෂක අංශයේ ම තවත් නිලධාරියෙක් විසින් පසුව කිව්වා, තිලීපන් නමැත්තා තම අංශයේ ම “කරාටේ“ කණ්ඩායමේ කෙනෙකු බවත්, ඔහු එදින (2014 අප්‍රේල් 12) සවස් වරුව තෙක්ම කඳවුරු පරිශ්‍රයේ හිටපු බවත්.

2014 අ‍ප්‍රේල් 13 වැනිදා, මෙම ස්ථානයට පොලිස් නිල සුනඛ අංශ පැමිණියා. ලේ තැවරුණු ඇඳුම් කොටස් පොලිස් නිල සුනඛයා වෙත ලබාදුන්නා. අදාළ පොලිස් නිල සුනඛයා සිවිල් ආරක්ෂක බළකා කඳවුර ඇතුළට ගියා. එහි තිබුණු එක්තරා කාමරයකට මීටර 200ක් පමණ දුරකින් සුනඛයා නැවතුණා.

 

මරණකාරිය ගේ විස්තර ඇතුළත් කොළ කැබැල්ල

මේ වෙද්දී කිලිනොච්චි පොලිසිය, ඒ වෙද්දී ගොඩගෙන තිබුණු සිරුරට අදාළව නිසි ලෙස විමර්ශන ආරම්භ කර තිබුණා. එහි දී, මෙම සිරුරට තබා ගල් පිරවූ බෑග් දෙකක් ගැටගසා තිබුණු බව හෙළි වුණා. ගල් පිරවූ බෑග් දෙකෙන් එකක, විශේෂ යමක් තිබුණා. ඒ කොළ කැබැල්ලක්. එහි, මියගිය අයගේ නම, ලිපිනය, ගෙදර දුරකතන අංකය ආදී, ඇයව හඳුනාගත හැකි සෑම විස්තරයක් ම ලියා තිබුණා.

2014 අප්‍රේල් 16 වැනිදා, පරන්තන් හංදියේදී “තිලීපන් “ව පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා. උදෑසන 11.50ට පමණ, පොලිස් ජිප් රිය තුළ දී ම, තිලීපන් ගෙ කෙටි ප්‍රකාශයකුත් ලබාගත්තා. මේ පොලිස් ප්‍රකාශය අනුව ගිය පොලිසිය, එම තොරතුරු මත අදාළ ඉඩමේ අඹ ගසක් යට දමා තිබුණු පිහියකුත් සොයාගත්තා. ඊට අමතරව, කිලිනොච්චියේ පිහිටි තිලීපන් ගේ ගෙදර යකඩ උපකරණ තැන්පත් කරන පෙට්ටියක තිබී, දුරකතන දෙකකුත් සොයාගත්තා. ඉන් එක දුරකතනයක් සුලෝචනා ගේ බව රාමලිංගම් (සුලෝචනාගේ තාත්තා) පසුව හඳුනාගත්තා. ඊට අමතරව මේ පෙට්ටියේ, කලිසමක් සහ කමිසයක් ද තිබී සොයාගත්තා. අනතුරුව තිලීපන්ව, පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) බාර දුන්නා.

 

වූල් බෑන්ඩ් එකක් සහ කෙස් ගසක්

එහි දී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් 2014 අප්‍රේල් 17 දින, තිලීපන් ගෙන් නැවත ප්‍රකාශ සටහන් කරගත්තා. මේ ප්‍රශ්නකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස, තිලීපන් ගේ නිවසේ වැසිකිළි වළක තිබී, කාන්තා හෑන්ඩ් බෑගයක් සොයාගත්තා. බෑගය තුළ, වූල්වලින් ගෙතූ හෙයා බෑන්ඩ් එකක් තිබුණා. එහි කෙස් ගසක් තිබුණා. මේවා පසුව DNA සඳහා යොමු කෙරුවා. මේ බෑගය සුලෝචනා ගේ බව පසුව ඇගේ දෙමව්පියන් විසින් හඳුනාගත්තා.

සුලෝචනාගේ දුරකතන පරීක්ෂා කිරීමේ දී, ඇයට අවසන් ඇමතුම ලැබී තිබුණේ තිලීපන් ගෙන්.

අනතුරුව සුලෝචනා ගේ දේහය, වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරුවා. එහි දී අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින්, සුලෝචනා ගේ සිරුරේ තුවාල 6ක් ඇති බව නිරීක්ෂණය කෙරුවා. බෙල්ලේ දකුණු පස, පිහි ඇණුමක් තිබුණා. අනෙක් තුවාල සියල්ල “සීරුම් තුවාල“. නමුත් ඇගේ සිරුරේ ලිංගික ප්‍රදේශ වැනි තැන්වල කිසිඳු තුවාලයක් තිබුණේ නෑ. මරණයට හේතුව, දියේ ගිලීමෙන් සිදු වී තිබෙන බව වෛද්‍යවරයා තහවුරු කෙරුවා.

අධිකරණය විසින්, සුලෝචනාට අයත් හෙයාර් බෑන්ඩ් එක, පිහිය, තිලීපන් ගේ කලිසම් කොටස් ආදිය DNA පරීක්ෂාව සඳහා යැව්වා. මෙම දේවල්, සුලෝචනාගේ DNA සමග ගැලපෙන බව තහවුරු වුණා.

 

අධිකරණයේ දී තිලීපන් මොකද කිව්වෙ?

තමන් විසින්, මරණයට පෙර දින, සුලෝචනාට දුරකතන ඇමතුමක් දුන් බව තිලීපන් පිළිගත්තා. නමුත් එදින ඇය වෙනත් කෙනෙකු හමු වන්නට ගිය බව තිලීපන් කිව්වා. මේ අනුව, මරණය සමග තමන්ට කිසිම සබඳතාවක් නැතැයි තිලීපන් කියා සිටියා. තමා ගෙන් පොලිසිය විසින් ප්‍රකාශ කීපයක් ගත් බව ඔහු කිව්වා. නමුත් තමන් ගෙන් ගත් ප්‍රකාශ අනුව නම් පොලිසිය විසින් මේ කියන පිහිය හෝ වෙනත් දෑ සෙයා නොගත් බව ඔහු කිව්වා.

 

තිලීපන්ට එරෙහිව ගොනු කළ චෝදනාව කුමක්ද?

දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ එන “මිනීමැරීම“ නමැති අපරාධ වරද යටතේ, 2014 අප්‍රේල් 12 දින හෝ ඊට ආසන්න දිනයක, “රාමලිංගම් රාජා සුලෝචනා“ යන අයව ඝාතනය කිරීම නමැති චෝදනාව එල්ල වුණා.

මෙම නඩුව ආරම්භ වුණේ, යාපනය මහාධිකරණයේ. පසුව එම නඩු විභාගය කිලිනොච්චි මහාධිකරණයට මාරු කෙරුවා. ඒ 2022 මැයි 16 වැනිදා. මේ අනුව සියලු සාධක සලකා බැලීමෙන් පසුව, 2023 නොවැම්බර් 9 වැනිදා, කිලිනොච්චි මහාධිකරණය විසින් සිය තීන්දුව ප්‍රකාශ කෙරුවා.

 

කිලිනොච්චි මහාධිකරණ තීන්දුව මොකක්ද?

මේ අනුව, තිලීපන්ට එරෙහිව ඇති චෝදනාව, සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වන බැවින්, “මිනී මැරීම“ නමැති වරද සඳහා “තිලීපන්“ වරදකරු බව අධිකරණය තීන්දු කෙරුවා.

 

දඬුවම් මොනවාද?

තිලීපන්ට, මහාධිකරණය විසින් “මරණ දණ්ඩනය“ ලබා දුන්නා. නමුත් තිලීපන්, මෙම මහාධිකරණ තීණයට එරෙහිව, ගරු ශ්‍රී ලංකා අභියාචනාධිකරණයට ඇපීල් කෙරුවා.

 

ඒ ඇයි?

තිලීපන් පදනම් කීපයක් දක්වමින් තමයි, මේ අභියාචනය කෙරුවෙ.

ඒ අතර, සාක්ෂිකරුවන් ගේ සාක්ෂිවල ගැටලු, මූලික පරීක්ෂණ සහ මුල් අධිකරණ අවස්ථාවේ පරීක්ෂණවල තිබුණු ගැටලු, DNA සාම්පල ලබාගත් උපකරණ තමා ගේ කට උත්තර අනුව සොයාගත් ඒවා නොවන බව ආදිය ඔහු සඳහන් කෙරුවා.

මේ නඩුව, සෘජු සාක්ෂිකරුවන් නොමැතිව, හුදෙක්ම “පරිවේෂණීය“ සාක්ෂි (circumstantial evidence) මත පදනම් වූ නඩුවක්.

 

මොනවද මේ පරිවේෂණීය සාක්ෂි කියන්නෙ...?

මේ ගැන අපි, Nuwan Ishara Mahagamage ෆේස්බුක් පිටුවේ මීට පෙර පළ වූ නඩු තීන්දු ලිපිවල දීර්ඝව කතා කොට තිබෙනවා. පරිවේෂණීය සාක්ෂි ගැන කෙටියෙන් කියනවා නම්, එක් තනි සාක්ෂියකින් අපරාධය සෘජුව හෙළි වෙන්නෑ. නමුත් අවට තිබෙන සියලු සාක්ෂි එකින් එක එකතු කිරීමෙන්, මුළු අපරාධය ගැන නිගමනය කළ හැකි සාක්ෂි “පරිවේෂනීය“ සාක්ෂි යටතට ගන්න පුළුවන්. මේ අනුව, අභියාචනාධිකරණය විසින්, එවැනි සාක්ෂි සහිත නඩුවක් විභාග කිරීමට අදාළ සාධක ගැඹුරින් විමසා බැලුවා.

මෙහි දී, ඊට පෙර අවස්ථාවක විදෙස් අධිකරණයක් විසින් තීරණය කර තිබුණු, Chenga Reddy and others v. State of A.P. (1996) නමැති නඩු තීරණයට අනුව, මෙවැනි පරිවේෂණීය සාක්ෂි, සම්පූර්ණයෙන් ම ඔප්පු විය යුතුයි. අපරාධයට අදාළ සාක්ෂි දාමය කිසිඳු තැනකින් ලිහිල් නොවී තිබිය යුතු යි. අවසාන වශයෙන් “වරද“ නිසි ලෙස ඔප්පු වීමටම එම සාක්ෂිය උදව් වී තිබිය යුතුයි. ඒ කියන්නෙ හුදු සැකයක් ජනිත වීම ප්‍රමාණවත් නෑ.

McGreevy v. Director of Public Prosecution [1973] නමැති නඩු තීරණයට අනුව, සැබෑම “පරීක්ෂණය“ ලෙස සැළකිය හැකි වන්නේ, “සනාථ කරන ලද සාක්ෂි එකතු වීමෙන්“ අධිකරණයට ඔහුව “වරදකරු“ ලෙස නිගමනය කළ හැකිද නැද්ද යන පමණයි.

ඉහත දැක්වූ නෛතික සංකල්ප, අධිකරණයක් තුළ “පරිවේෂණීය සාක්ෂි“ පිළිබඳ සළකා බැලිය යුත්තේ කොහොමද යන්න සාකච්ඡා කිරීමේ දී ඉතාම වැදගත්. මීට අමතරව, එම සංකල්ප ගැන මීට පෙර දීර්ඝ වශයෙන් කතා කොට තිබුණු ශ්‍රී ලංකාවේ නඩු තීරණ කීපයක්ම අභියාචනා නඩුවේ දී සලකා බැලුවා. ඒ කිහිපයක් තමයි,

- Attorney General v. Potta Naufer & others [2007]

- Kusumadasa v. State [2011]

- Premawansha v. Attorney General [2009]

මේ සියලුම නඩුවල ප්‍රකාශ වී තිබුණේ, පරිවේෂණීය සාක්ෂි සලකා බැලීමක කෙළවර තිබිය යුත්තේ “අතිශයින්ම වරද ඔප්පු වී තිබීම පමණක්“ බවයි.

මීට අමතරව, පරිවේෂණීය සාක්ෂි මත පදනම් වූ නඩුවක් තීන්දු කිරීමේ දී වැදගත් වන අනෙකුත් නීති ගැනත් අධිකරණය සණකා බැලුවා. ඒ අනුව, සාක්ෂි ආඥපනතේ 27 වගන්තිය වැදගත් වුණා.

 

මොකක්ද ඒ සාක්ෂි ආඥාපනතේ 27 වගන්තිය...?

මේ වගන්තියෙන් තමයි කියන්නෙ, යම් අපරාධයකට අදාළව පොලිස් භාරයේ ඉන්නා තැනැත්තෙක් කරන යම් ප්‍රකාශයක් මත, යම් සාක්ෂි සොයාගැනීම ගැන. මේ නඩුවට අදාලව ගත්තොත්, තිලීපන් විසින් පොලිසියට කරන ලද ප්‍රකාශ හරහා තමයි පිහිය ආදී බොහෝ දේ සොයාගත්තෙ. ඒ අනුව, මෙම වගන්තිය‍, මෙම නඩුවට අතිශය වැදගත්. හංඟපු ආයුධ හොයද්දී අදාළ වෙන්නෙත් මේ වගන්තියම තමයි.

මේ අනුව, පොලිසියට යම් තැනැත්තෙක් කරන “ප්‍රකාශයක්“ සාමාන්‍යයෙන් අධිකරණය විසින් නිල ප්‍රකාශයක් විදිහට සලකන්නෙ නෑ. නමුත් මෙවැනි සාක්ෂි සොයාගැනීමට කරන ප්‍රකාශ ඉන් වෙනස් වන බව අධිකරණය නිරීක්ෂණය කෙරුවා. එහි දී මේ ප්‍රකාශය වළංගු සාක්ෂියක් බවට පත් වෙනවා.

මෙය තීරණය කිරීමේදී ඊට පෙර තීන්දු කර තිබුණු Somaratne Rajapakse and Others v. Hon. Attorney General (2010) නඩු තීරණයේ දී කියා තිබුණා, පොලිසියට කළා යැයි කියන ප්‍රකාශය සහ ඒ ඔස්සේ පොලිසිය විසින් සොයාගත් සාක්ෂිය අතර ඉතාම පැහැදිලි සබඳතාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බව.

Nandasena v. Republic of Sri Lanka (1978–79) යන නඩු තීරණයේ දී කියා තිබුණා, සත්‍ය ලෙස ම සොයාගත් සාක්ෂියේ ස්වභාවය අනුව, අදාළ චූදිතයා මෙම අපරාධය ගැන දන්නා ප්‍රමාණය හෙළි වන බව.

 

විත්තිකරු ගේ තර්ක නිෂ්ප්‍රභ වීම

මේ අනුව, තිලීපන් විසින් දුන් මුල් ප්‍රකාශය අනුව පිහිය සහ ඇඳුම් ද, දෙවැනි ප්‍රකාශය අනුව හෑන්ඩ්බෑගය සහ එහි තිබූ දේ ද සොයාගෙන තිබුණු හෙයින්, ඉහත නඩු තීරණවල රීතිය අනුව, තිලීපන් මෙම අපරාධය ගැන දැනුවත්ව දුන් තොරතුරු බවත්, ඒවා සෘජුව සාක්ෂි දාමයට සහාය වන වැදගත් සාක්ෂි වන බවත් තීරණය වුණා. ඒ අනුව, තිලීපන් අභියාචනයේදී “තම ප්‍රකාශ“ සම්බන්ධයෙන් ගෙන ආ තර්කය නිෂ්ප්‍රභ වුණා.

මීළඟට අධිකරණය සලකා බැලුවේ මුල් පරීක්ෂණ අවධියේ දී ඇති වුණායැයි කියූ ගැටලු ගැන. එහි දී මින් පෙර තීරණය කර තිබුණු:

Uttar Pradesh v. M. K. Anthony AIR 1985 යන ඉන්දීය නඩු තීරණය,

Iswari Prasad v. Mohamed Isa 1963 යන ඉන්දීය නඩු තීරණය,

Wickremasuriya v. Dedoleena and others [1996] යන ශ්‍රී ලංකා නඩු තීරණය,

Joy Devaraj vs The State of Kerala 2024 යන ඉන්දීය නඩු තීරණය යනාදි සියල්ල පිළිබඳ අධිකරණය ගැඹුරින් සලකා බැලුවා.

 

මෙම නඩු තීරණවලින් මුල් අවස්ථා පරීක්ෂණ ගැන කියා තිබුණේ මොනවාද?

ඒවාට අනුව: පොලිස් පාපොච්චාරණයක් කිසි සේත් ම සාක්ෂි සඳහා භාවිත වෙන්න බෑ. නමුත් සාක්ෂි ආඥා පනතේ 27 ප්‍රකාරව එම ප්‍රකාශය හරහා වැදගත් සාක්ෂි සොයාගන්නේ නම්, එය වලංගු වුණා. තිලීපන් ගේ නඩුවේ දී, වෙන වෙනම කණ්ඩායම් දෙකකට තිලීපන් විසින් කරන ලද වෙන වෙන ම ප්‍රකාශ දෙකකින් එක සමාන වැදගත්කමක් සහිතව එකම සාක්ෂි දාමයකට අයත් භාණ්ඩ සොයාගැනීම නිසා මුල් පරීක්ෂණ අවධියේ දී අකටයුත්තක් සිදු වී නැති බව අධිකරණය තීරණය කෙරුවා.

මීළඟට සළකා බැලුවේ DNA පිළිබඳව.

ඇඟිලි සලකුණුවලට පසුව එන, ඉතාම වැදගත් අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි අතරින් DNA යනු වැදගත් එකක් බව අධිකරණය නිරීක්ෂණය කෙරුවා. DNA සාක්ෂි ගැන විමර්ශනය කිරීමේ දී, ඒ සම්බන්ධව මීට පෙර තීරණය කළ නඩු තීන්දු ගැනත් අධිකරණය අවධානය යොමු කෙරුවා.

Attorney General v. Potta Naufer and Others [2007] යන නඩුවේ දී සෑම පුද්ගලයෙකු ගේ ම ඩී එන් ඒ ඒ කෙනාට අනන්‍ය වන බවත්, පුද්ගලයින් දෙදෙනෙකු ගේ ඩී එන් ඒ සමාන විය හැකියාවක් ඇත්නම් ඒ ට්‍රිලියනයකින් එකකට අඩු අගයක් බවත්, එම ඩී එන් ඒ යමකුගේ ඇඟිලි සලකුණු සමගත් සංසන්දනය කළ හැකි බවත් පිළිගෙන තිබුණා.

 

මෙය විද්‍යාවෙන් තහවුරු කර ඇති හෙයින් අධිකරණ තීන්දුවක් උපුටා ගන්නේ ඇයි?

උපුටා ගත් මුල් අධිකරණ තීන්දුව දෙන්නේ අදාළ විද්‍යාත්මක ප්‍රවීණයින් මඬුල්ලක ගේ සහායයෙන්. නැවත ඒ හා සමාන තීන්දුවක් දීමේ දී, නැවතත් ඒ විෂය ප්‍රවීණයින් අධිකරණයට ගෙන්වා සාධක විස්ලේෂණය නොකර, එවැනි ක්‍රියාවලියකින් තීන්දු කරන ලද “පූර්ව අධිකරණ තීන්දුවක්“ අනුගමනය කිරීම තමයි, “නීතියේ විධිමත් ක්‍රියාවලිය“.

මෙවැනි විද්‍යාත්මක දත්ත සහ නිගමන අවශ්‍ය කරන නඩුවල දී, “විශේෂඥයින්ගේ සහායය“ ලබාගැනීම ගැන තියෙන නීතිය සඳහන් වන්නේ, සාක්ෂි ආඥාපනතේ 45 වැනි වගන්තියේ.

විද්‍යාව, කලාව, විදෙස් නීති ක්‍රම, ආදී ඕනෑම විද්වත් ක්ෂේත්‍රයක් ගැන ප්‍රවීණයින්ගේ මතය විමසා බැලීම තමයි මේ වගන්තිය යටතේ සළකා බලන්නෙ.

 

ඒ මත සීයට සීයක් පදනම් වෙනවා ද...?

Mark Antony Fernando v. AG 1998 යන නඩු තීරණයට අනුව, විශේෂඥයින් කවර මතයක් ඉදිරිපත් කෙරුවත්, ඔවුන් ගේ අදහස් ගැන අධිකරණය තමන් ගේ ම කෝණයකින් ස්වාධීනව සලකා බැලිය යුතු බව ප්‍රකාශ කර තිබුණා. සරල ලෙස ඔවුන් ගේ අදහස මත තීන්දුවක් දෙන්නෙ නෑ.

මෙහිදී අධිකරණය විසින්, වෛද්‍ය “රුවන් ජේ. ඉලේපෙරුම“ විසින් රචිත, "DNA, The Biological Tool for Crime Investigation in Sri Lanka," නමැති විද්‍යාත්මක ලේඛනය පරීක්ෂා කෙරුවා.

ඒකෙ මොනවද තිබුණෙ? මෙම නඩුවට අදාලව ගත්තොත්: යමෙකුගේ කෙස්, කෙළ, ලේ, අස්ථි, දත් ආදියේ ඉතාම කුඩා කොටසකින් වුවත් DNA ලබා ගත හැකි බව ගැනත්, එයින් ලබාගන්නා දත්ත අනුව යමෙක් “අපරාධකරු ද“ “අවිහිංසකයෙක් ද“ යන්න තීරණය කිරීමේ හැකියාව අනිවාර්යයෙන් ම පවතින බවත් කියා තිබුණා.

ඊට අමතරව, Ukkuwa and Others v. The Attorney General 2004 (මේ තමයි ලංකාවේ DNA තාක්ෂණය භාවිත කළ පළමුවැනි නඩුව) යන නඩුවත්, තවත් නඩු කීපයකුත් උපුටා ගත්තා. මේ අනුව, අදාළ ඩී එන් ඒ ලබාගත් ආකාරය හෝ තැන අනුව ප්‍රශ්නයක් නැති බව අධිකරණය තීරණය කෙරුවා. මීට අමතරව, මෙම නඩුවේදී සාක්ෂි ආඥාපනතේ 8 වැනි වගන්තිය ගැනත් අධිකරණය ගැඹුරින් සාකච්ඡා කළා.

 

සාක්ෂි ආඥා පනතේ 8වෙනි වගන්තිය මොකක් ද..?

මේ වගන්තියෙන් කියනවා යම් අපරාධයකට කෙනෙක් පෙර සූදානම් වන අවස්ථාව ගැන සහ, යම් අපරාධයකින් පසු අවස්ථාවේ දී ඔවුන්ගේ හැසිරීම ගැන. මේ අනුව, ඒ ඒ අවස්ථාවේ දී චූදිතගේ හැසිරීම අනුව ඔහු එම අපරාධය කළා ද, නැද්ද, යන්න තීරණය කළ හැකි සාධක ගැන අධිකරණය සාකච්ඡා කළා.

මෙම නඩුවට අදාළව ගත්තොත්, තිලීපන් විසින් සුලෝචනාට දුරකතන ඇමතුමක් දී කිලිනොච්චියට හමුවෙන්න එන්නැයි කීම, සුලෝචනා ගේ පියා ගේ දුරකතන අංකයට ඇමතුමක් දී නන්නාඳුනන අංකයකැයි රඟපෑමක් කිරීම, මෙවැනි සාධක යටතේ සලකා බැලුවා.

පොලිස් නිල සුනඛයා තිලීපන් සිටි කඳවුර ඇතුළටම ඇවිද යෑම, දුරකතන ඇමතුම් දත්ත, තිලීපන්ගේ තොරතුරු මත පිහියක් සහ ඇඳුම් සොයාගැනීම, තිලීපන් ගේ දෙවැනි ප්‍රකාශය අනුව හෑන්ඩ්බෑගයක් හමුවීම, එම උපකරණ සහ ඩී එන් ඒ ගැලපීම, යන සියල්ල “එකම සාක්ෂි දාමයක්“ ලෙස එක තැනකදී හෝ ඛන්ඩනය වුණේ නෑ. සෘජු සාක්ෂි නැති නිසා, මෙම පරිවේෂණීය සාක්ෂි ඛන්ඩනය නොවී තිබීම අනිවාර්ය යි. ඒ අනුව, තිලීපන් වරදකරු බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වුණා.

 

තීරණය කුමක්ද?

අභියාචනාධිකරණය විසින්, තිලීපන් ගේ අභියාචනය ඉවත දැම්මා. කිලිනොච්චි මහාධිකරණය විසින් දුන් තීරණය ස්ථිර කෙරුවා.

දඬුවම් මොනවාද?

2023 නොවැම්බර් 9 වැනිදා කිලිනොච්චි මහාධිකරණය විසින් දුන්, “මරණ දණ්ඩනය“ ස්ථිර වුණා.

දෙමාපියන් ගේ අකැමැත්ත මත විවාහයට සූදානම් වූ, තම ඇවැස්ස නෑනා ඝාතනය කළ තිලීපන් ගේ නඩුව විසින්, ලංකාවේ අපරාධ නඩුවල සාක්ෂි සලකා බැලීම ගැන විශේෂ සාධක කීපයක් ම හෙළි වනවා. ඒ වගේම, සුලෝචනා වැනි අපරාධ වින්දිතයින් ගේ අඳුරු ඉරණමත් හෙළි වෙනවා.

වැඩිදුර කියවන අයට නඩු අංකය:

මහාධිකරණ අංක: NP/HC/KN/12/2022

අභියාචනාධිකරණ අංක: CA/HCC/0281/2023

 

82783738 2786626964790067 4035635985256546304 n

 

 

 

සටහන - Nuwan Ishara Mahagamage

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න