ගුවන් යානය වලාකුළුවලට පහළින් ගමන් කරන්නට පටන් ගෙන ටික වේලාවකට පසු පහළින් පෙනෙන නිල් පැහැති සමුදුර ද, හරිත පැහැයෙන් යුතු ගොඩබිම ද ප්‍රියංකා ස්ටීවන් තුළ ඇති කළේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සංකීර්ණ සිතිවිලි සමුදායකි. ඇය මේ දසුන දකින්නේ පස්වැනි වතාවට ය. මේ සොඳුරු හරිත පෑ ගොඩබිම සිය මව්බිම බව ඇයට අදහාගත නොහැකි ආශ්චර්යයකි.
මේ හරිත පාරාදීසයේ කෙතැනක හෝ සිය මව්පියන් ජීවතුන් අතර සිටිනු ඇති බව ඇගේ විශ්වාසය යි. ඒත් ඒ කොතැනක ද? ඇය ඒ ගැන කිසිවක් දන්නේ නැත. එහෙත් ඈ එක් දෙයක් දනී. එනම් මේ උභතෝකෝටිකය විසඳා ගැනීම වසර ගණනක් තිස්සේ ඇගේ ජීවිතයේ ප්‍රමුඛම පරමාර්ථය වී ඇති බව ය. තමන් නීත්‍යානුකූල පුරවැසිභාවය දරන සමෘද්ධිමත් දේශයේ සිට කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවා මේ කුඩා දිවයිනට පස් වන වතාවටත් ඈ ගොඩබැසීමට සූදානම් වන්නේ ඒ සිහිනය මේ වතාවේ දී හෝ සැබෑ කර ගැනීමේ අටියෙනි.
ප්‍රියංකා වරින්වර ලංකාවට පැමිණෙන්නේ ඇගේ මව්පියන් සහ නෑසියන් සෙවීමට ය. වැඩිමනත්ම මව සොයාගෙන ය. ප්‍රියංකා හැදී වැඩුණේ ප්‍රංශයේ ලියෝන් නගරයට ආසන්න ගම්මානයක ය. තමා ගේ ස්වරූපය සහ පැහැය මව ගේ හෝ පියා ගේ ස්වරූපයට හෝ පැහැයට සමීප නොවීම පිළිබඳ ඇය කුඩා කළ සිට ම ප්‍රශ්න කළාය. තමාට දැඩි ලෙස ආදරය කරන මව ගේ හෝ පියා ගේ හැඩ හුරුකම් අංශුමාත්‍රයක් හෝ තමන් සතු නොවීම පිළිබඳ ඈ දුක් වූවාය. එපමණක් නොව ඇගේ නමේ ද කුමක් හෝ නුහුරක් තිබෙන බව වැටහී තිබිණි.
උස් මහත් වී දැනුම් තේරුම් ඇති වයසට පැමිණි පසු මව සමග ලිපි ගොනු වගයක් පිරික්සන අතරේ එතෙක් කල් ඇගේ සිතේ තිබූ ප්‍රශ්න ගොන්නකට පිළිතුරු සොයාගත හැකි විය. එහි තිබුණේ තමාගේ බිළිඳු වියේ ඡායාරූපයක් සමග ඇමිණූ තවත් ලියකියවිලි කිහිපයකි. තමන් සිටින්නේ සිය සැබෑ මව්පියන් (ජීව විද්‍යාත්මක දෙමාපියන්) සමග නොවන බව දැනගත්තේ එදින ය. එය දැනගත් මොහොතේ දුක, සතුට, සාංකාව මිශ්‍ර හැඟීමක් හදවතේ තෙරපෙන්නට වූ සැටි අදටත් සිහිපත් කළ හැකි ය.

කුලවැද්දීමේ සිරිත සහ නීතිය
දරුවන් කුලවැද්දීම හෙවත් දරුකමට හදාවඩා ගැනීම, බොහෝ දුරාතීතයේ සිට සිදු වූවකි. එපමණක් නොව තමන් ගේ ම නොවන දරුවකු රැක බලා ගැනීම මිනිස් සමාජය තුළ මෙන්ම සත්ව ප්‍රජාව අතර ද දක්නට ලැබෙන හැඟීම් සමග බැඳුණු සංවේදී සමාජීය සංසිද්ධියක් ලෙස හැඳින්විය හැකි ය. දරුවන් හදාවඩා ගැනීම සම්බන්ධව ලංකාවේ මූලික නීතිය වන්නේ 1941 අංක 24 දරන ළමුන් හදා වඩා ගැනීම (කුලවැද්දීම) පිළිබඳ ආඥා පනත යි. එය බලාත්මක කළේ 1944 පෙබරවාරි මස සිට ය. නමුත් එහි පැවති යම් යම් දුර්වලතා හේතුවෙන් මෙම නීතිය කිහිප වරක් සංශෝධනයට ලක් කළේ ය.
දරුවන් විදේශීය පාර්ශ්වයක් වෙත හදාවඩා ගැනීමට ලබාදීම සඳහා නීතිමය ප්‍රතිපාදන වෙන් වූයේ 1964 අංක 01 දරන සංශෝධන පනත මගිනි. එතැන් පටන් ශ්‍රී ලංකාවේ දරුවන් දරුකමට හදා වඩා ගැනීම දේශීය කුලවද්දා ගැනීම හා විදේශීය කුලවැද්දීම යන ප්‍රධාන අංශ දෙකක් යටතේ සිදුවිය. 1987 සිට දේශීය කුලවද්දා ගැනීම් පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ද විදේශීය කුලවැද්දා ගැනීම් මධ්‍යම (ජාතික) පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ද ක්‍රියාත්මක වේ.
විදේශීය කුලවැද්දීම නිසා සැප සම්පත් මැද විදෙස් රටවල දිවි ගෙවන දරුවන් සංඛ්‍යාව අති මහත් ය. කෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ද දැනුම් තේරුම් ඇති වයසට එළැඹෙන විට, සිය ජීවවිද්‍යාත්මක දෙමාපියන් පිළිබඳ තොරතුරු දැන ගැනීමේ හා ඔවුන් දැක බලා ගැනීමේ ආශාව, නොපිරවූ හිස්තැනක් සේ ඔවුන්ගේ ජීවිතවල වැඩෙන්නට පටන් ගන්නේ නිරායාසයෙනි. ප්‍රියංකා, එවැනි නොපිරවූ හිස්තැනක් ඇති දහස් ගණනක ලාංකික දරුවන් අතරින් එක් අයෙකු පමණි. 1970 - 1990 කාලයේ දරුවන් දස දහසත් පහළොස් දහසත් අතර ප්‍රමාණයක් හදා වඩා ගැනීම සඳහා විදෙස් රටවලට ලබා දී ඇත. වැඩි වශයෙන් දරුවන් ලබා දී ඇත්තේ ප්‍රංශය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ජර්මනිය, ස්පාඤ්ඤය, නෝර්වේ, කැනඩාව, නෙදර්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය යනාදි රටවල් වෙත ය.
1990 දශකයේ මැදභාගය වන විට දරුවන් හදාවඩා ගැනීමට ලබා දීම සහ ලබා ගැනීම සැලකිය යුතු මට්ටමින් අඩු වීමට ප්‍රධාන හේතුව ලෙස ‘ළමා ආරක්ෂාව සහ ජාත්‍යන්තරව දරුකමට හදාගැනීම් සම්බන්ධයෙන් සහයෝගීතාව පිළිබඳ හේග් සම්මුතිය’ (HCCH 93) පෙන්වා දිය හැකි ය. 1993 මැයි මස 29 දින සම්මත කරන ලද හේග් සම්මුතිය දරුවා ගේ යහපත, උපන් දෙමාපියන් සහ අනාගත දරුකමට හදාගන්නා දෙමාපියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නිර්මාණය කළ ජාත්‍යන්තර ගිවිසුමකි. 1995 වසරේ ශ්‍රී ලංකාව හේග් සම්මුතිය පිළිගත් අතර එහි මූලික අපේක්ෂා ලෙස දරුවන් පැහැරගැනීම, විකිණීම හෝ ජාවාරම් කිරීම වැළැක්වීමත්, ජාත්‍යන්තර දරුකමට හදාගැනීම් විනිවිද පෙනෙන, සදාචාරාත්මක සහ නීත්‍යනුකූල ආකාරයෙන් සිදුවන බවට සහතික වීම යන කාරණා ඇතුළත් කර ඇත. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ 2009 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව පෙර කී රටවල් සඳහා 1992 සිට 2009 දක්වා කළ විදේශීය කුලවැද්දීම් සංඛ්‍යාව 2507කි.
අනන්‍යතාව සොයා යෑම ‘අයිතියකි’
පුද්ගලයෙකුට තම මූලාරම්භය සොයාගැනීමට, තම මුතුන් මිත්තන්ගේ උරුමය අවබෝධ කර ගැනීමට සහ තම ජීව විද්‍යාත්මක දෙමව්පියන් ගේ අනන්‍යතාව දැනගැනීමට ඇති අයිතිය මූලික අයිතියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන ඇත. එක්සත් ජාතීන් ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (UNCRC) සඳහන් වන්නේ ජාතිකත්වය, නම සහ පවුල් සබඳතා ඇතුළුව තම අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමට සෑම පුද්ගලයෙක්ට ම ආවේණික අයිතියක් ඇති බවයි.
දරුකමට හදාගැනීමට ලක් වූවන්ට, ඔවුන්ගේ මූලයන් සොයා යෑම විනෝදාංශයක් නොවේ. එය ඔවුන් ගේ අනන්‍යතා පිළිබඳ ඇති ව්‍යාකූල හැඟීම් විසඳා ගැනීමේ සංකීර්ණ ක්‍රියාදාමයක දුෂ්කර පරිච්ඡේදයකි. ඔවුන් ගේ උරුමය සමග සම්බන්ධ වීම සහ පවුල්වලින් වෙන්වීමේ ඓතිහාසික කම්පනයෙන් සුවය ලැබීම ඔවුන් ගේ ප්‍රමුඛතම මානසික අවශ්‍යතාවකි. අංශූ මාත්‍රයක හෝ නිශ්චිත තොරතුරක් නොමැතිව කිලෝමීටර් අට දහසකටත් අධික දුර ගෙවා පස්වන වතාවටත් ලංකාවට පැමිණි ප්‍රියංකා ගේ කතාව, ඒ මානසික අවශ්‍යතාව කෙතරම් ප්‍රබල දැයි පෙන්වා දෙන කදිම නිදර්ශනයකි.
මෙහි මානුෂීය අවශ්‍යතාව හඳුනා ගත් ප්‍රංශය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය යනාදි රටවල් ඒ වෙනුවෙන් මැදිහත් වී ක්‍රියාකරයි. ප්‍රියංකා බඳු තම දෙමව්පියන් සොයමින් සිටින ලාංකීය දරුවන් දහ අට දෙනකුගේ අනන්‍යතා සෙවීමට ප්‍රංශ රජය මුල් වී සිටී.
ඔවුන් ගේ අවශ්‍යතාව කෙතරම් ප්‍රබල වුවත්, එය ඉටු කරගැනීම අතිදුෂ්කර වෑයමක් බවට පත් කරන සාධක බොහෝ ගණනක් තිබේ. දරුවන් හදාවඩා ගැනීමට විදෙස් රටවලට ලබාදීමේ දී ඇතැම් අවස්ථාවල සිදුව ඇති අඩුපාඩු සහ අක්‍රමිකතා ඒ අතරින් ප්‍රමුඛ සාධකයකි. මේ හේතුව නිසා අනන්‍යතා හඳුනා ගැනීම දුෂ්කර වී තිබේ. ලංකීය සමාජයේ පවතින ආකල්ප සහ සංස්කෘතික හේතු මත හිතාමතාම අනන්‍යතා වසංකිරීම සුලබව සිදු ව තිබේ. අධිකරණ පරීක්ෂණ සහ ජාත්‍යන්තර ආගමන පාලන නීති මගහැරීමට, වංචනික ජාල විසින් ව්‍යාජ ලේඛන සැකසීම සිදු කර ඇත. උප්පැන්න ලේඛන ක්‍රමානුකූලව වෙනස් කර ඇති අතර, ව්‍යාජ නම්, ව්‍යාජ උපන්දින සහ ව්‍යාජ උපන් ස්ථාන සඳහන් කර ඇත. මුල් උප්පැන්න සහතික වංචනික උප්පැන්න සහතික සමග ප්‍රතිස්ථාපනය කර ඇති අතර ඒවායේ දෙමව්පියන් ගේ නම් ලෙස ව්‍යාජ නම් සඳහන් කර හෝ හිතාමතාම පෙළපත් තොරතුරු මකා දැමීම සිදුකර ඇත. මේ හේතුවෙන් අද වන විට වැඩිහිටි වියේ පසුවන එවකට දරුකමට හදා ගැනීමට ලක් වූ පුද්ගලයින්ට තමන්ගේ අනන්‍යතාව සොයා ගැනීම අසීරු වී ඇත.

යළි එන දරුවන් දකින මව්බිමේ නිරුවත
දරුවන් හදාවඩා ගැනීම සඳහා විදෙස් රටවල දෙමව්පියන් ගේ ඉල්ලුම ඉහළ යාමත් සමගම දේශීයව විවිධ පාර්ශ්ව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වී තිබේ. දරුකමට දරුවෙක් ලබා දීම යන සමාජීය කාරණය වෙනුවට එය හුදෙක් වාණිජමය පරමාර්ථයක් ඉටු කර ගැනීමේ ක්‍රියාවලියක් දක්වා ලඝු වී තිබේ. එවකට පැවැති නීතියේ දුර්වලතා උපයෝගී කර ගනිමින් දේශීය අධිකරණ හරහා දරුකමට දරුවන් හදා ගැනීමේ නිෂ්කාශන ක්‍රියාවලිය වේගවත්ව සිදු වී ඇත. මේ සඳහා තැරැව්කරුවන් මෙන්ම නීතිඥයින්, වෛද්‍යවරුන් යනාදි වෘත්තිකයින් ද සම්බන්ධ වී ඇත.
මේ කාරණාවට උදාහරණයක් ලෙස ඉහත කී ප්‍රංශ රජය මැදිහත් වී අනන්‍යතා සොයන දරුවන් 18 දෙනා ගෙන් දරුවන් 14 දෙනකු ගේ ම දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇත්තේ එකම නීතිඥවරයකු විසිනි. 17 දෙනෙකු ගේ වෛද්‍ය සහතික නිකුත් කර ඇත්තේ එකම වෛද්‍යවරයකු යටතේ ය.
එම ක්‍රියාවලියේ දී ජීව විද්‍යාත්මක මව්වරුන් වෙනුවට අතරමැදියන් විසින් ‘අභිනය මව්වරුන්’ (මව්වරුන් ලෙස රඟපෑ අය) සේවයේ යොදවා ගෙන ඇත. එම අභිනය මව්වරුන්ට ප්‍රාදේශීය මහේස්ත්‍රාත්වරුන් ඉදිරියේ පෙනී සිටීමට, ව්‍යාජ හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමට සහ දරුවා විදේශීය දෙමාපියන්ට හදා වඩා ගැනීම සඳහා කැමැත්ත ලබා දෙන ජීව විද්‍යාත්මක මවුවරුන් ලෙස ව්‍යාජ දිවුරුම් ලබා දීමට මුදල් ගෙවා ඇති අතර, එමගින් අදාළ ලිපි ගොනු සම්පූර්ණයෙන්ම වංචනික ඒවා බවට පත් කර ඇත.
මෙහි ඊළඟ පරිච්ඡේදය ද එතරම්ම ඛේදජනකය. එනම් වංචනික මාර්ගවලින් විදේශ දෙමාපියන්ට කුලවැද්දූ දරුවන් වැඩිහිටියන් බවට පත්ව, සිය ජීවවිද්‍යාත්මක දෙමාපියන් සොයා එන අවස්ථාවල දී ද යළිත් ඔවුන් විවිධ වංචාවලට හසු වීමයි. ධනවත්, සංවර්ධිත රටවල සිට සිය අනන්‍යතාව සොයා පැමිණෙන මෙම පුද්ගලයන් ගේ තදබල මානුෂීය අවශ්‍යතාව වංචනික ලෙස ධනය ඉපැයීම සඳහා කදිම ඉල්ලමක් බවට පත් කර ගත් ජාවාරම්කරුවන්, සැබෑ දෙමාපියන් සොයා දෙන මුවාවෙන් මුදල් ලබාගෙන මගහැරීම, සැබෑ අය ලෙස ව්‍යාජ දෙමාපියන් හඳුන්වා දීම ආදී බරපතළ වංචා සිදු කර ඇත.
මානුෂීය මෙන් ම දැනුවත් මැදිහත්වීමක අවශ්‍යතාව
බොහෝ කලක සිට මෙම ගැටලුව සඳහා මානුෂීය මෙන් ම දැනුවත් මැදිහත්වීමක අවශ්‍යතාවක් මතුව තිබිණි. ශ්‍රී ලංකාවේ SERVE ආයතනය මැදිහත් වී සිටින්නේ එම සමාජීය අවශ්‍යතාව හා වගකීම වෙනුවෙනි. ඔවුන් විසින් ආරම්භ කෙරුණු ‘සොයමු’ ව්‍යාපෘතියේ අරමුණ, ශ්‍රී ලංකාවෙන් දරුකමට හදාගත් පුද්ගලයින් ගේ උපත් මූල සෙවීමේ ක්‍රියාවලියට වඩාත් විනිවිදභාවයකින් යුතුව මැදිහත්වීමයි. සර්ව් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්‍යාලය සහ ප්‍රංශයේ ජාත්‍යන්තර සමාජ සේවා (International Social Service) ඒකාබද්ධව සිදුකරන මෙම ව්‍යාපෘතිය ඒ අදාළ ප්‍රතිලාභීන් සඳහා සම්පූර්ණයෙන් ම නොමිලේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි.
SERVE ආයතනයේ ප්‍රධානී සංජීව ද මැල්ට අනුව “සොයමු ව්‍යාපෘතියේ මූලික අරමුණ වනුයේ ජාත්‍යන්තරව දරුකමට හදාගත් පුද්ගලයින්ට ඔවුන් ගේ ජීව විද්‍යාත්මක මූල සමග නැවත සම්බන්ධ වීමට අවශ්‍ය සහාය ලබා දීමයි”
සංජීව ද මැල්
ප්‍රියංකා රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්ස විට, පෙර සිව් වතාවේ නොදැනුණු සැනසිලිදායක හැඟීමක් ඇයට දැනිණි. ඒ, ඇයට සැබැවින්ම උපකාර කිරීමට සූදානම් පිරිසක් මේ බිමේ සිටින බව දන්නා නිසා ය.
දරුකමට හදාවඩාගැනීමට දුන් දරුවන් සහ ඔවුන් ගේ ජීවවිද්‍යාත්මක මාපියන් අතර සහ ඥාතීන් අතර සන්නිවේදන, නැවත එක්වීම් සහයෝගිමත් හා විශ්වාසවන්ත පරිසරයක් තුළ සිදු වන බවට සහතික කිරීමට සර්ව් ආයතනයේ මෙම ව්‍යාපෘතිය කැප වී සිටී. ඊට උපකාරී වන ව්‍යුහගත වැඩපිළිවෙළක් ඔවුන් සතු ය.
ඔබත් විදෙස් යුවළකට ඔබ ගේ දරුවකු හදාවඩාගැනීමට ලබාදුන් මවක්, පියෙක් හෝ ඥාතියකු නම් 0701 242 242 යන දුරකතන අංකයෙන් සහ
සෝබා කෝලියවංශ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
