Image

වර්තමාන ලෝකය වෙනස් කරන තරුණ චින්තකයා; ඔලූෆෙමි ඕ. තායිවෝ (Olúfẹ́mi O. Táíwò 1990); ප්‍රභූ ග්‍රහණය

වර්තමාන ලෝකය වෙනස් කරන තරුණ චින්තකයා; ඔලූෆෙමි ඕ. තායිවෝ (Olúfẹ́mi O. Táíwò 1990); ප්‍රභූ ග්‍රහණය

විසිඑක්වන සියවසේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස් චින්තනය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. එවැනි යුගයක, හුදෙක් විශ්වවිද්‍යාල කාමරවලට පමණක් සීමා වී තිබූ දර්ශනවාදය (Philosophy) නූතන සමාජයේ සැබෑ ප්‍රශ්න සමග බද්ධ කරමින් ලෝකයේ අවධානය දිනාගත් තරුණ දාර්ශනිකයකු ලෙස ඔලූෆෙමි ඕ. තායිවෝ හැඳින්විය හැකි ය.

දැනට ඇමරිකාවේ ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ (Georgetown University) දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන තායිවෝ: නූතන දේශපාලන ක්‍රමය, සමාජ සාධාරණත්වය සහ දේශගුණික විපර්යාස දෙස නව මානයකින් බැලීමට ලෝකයාට බල කරමින් සිටී.

olufemi 1ඔලූෆෙමි ඕ. තායිවෝ (Olúfẹ́mi O. Táíwò)

1990 වසරේදී උපත ලැබූ තායිවෝ ගේ පෞද්ගලික ජිවිත පසුබිම ඔහු ගේ දාර්ශනික චින්තනය හැඩගැස්වීමට බෙහෙවින් බලපෑවේ ය. ඔහු ඇමරිකාවට සංක්‍රමණය වූ නයිජීරියානු ජාතික දෙමාපියන් ට දාව ඉපදී ඇමැරිකානු වර්ගවාදී ලෝකය තුළ හැඳි වැඩී ඇත. බටහිර ලෝකය තුළ අප්‍රිකානු සංක්‍රමණිකයකු ලෙස ඔහු මුහුණ දුන් සංස්කෘතික ගැටීම් සහ සමාජීය අසමානතා, කුඩා කල සිට ම පද්ධතිමය අසාධාරණ පිළිබඳව ප්‍රශ්න කිරීමට ඔහුව යොමු කළේ ය.

පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු ඇමරිකාවේ

ඉන්දියානා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහි දී ඔහු දර්ශනවාදය සහ දේශපාලන විද්‍යාව යන විෂයන් දෙකෙන් ම සිය ප්‍රථම උපාධි දිනා ගත්තේ ය. එහි දී හැදෑරූ දර්ශනවාදය පිළිබඳ පාඨමාලා ඔහු ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. පසුව ඔහු දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) ලබා ගත්තේ සුප්‍රසිද්ධ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් (UCLA) ය. තායිවෝ සතු සුවිශේෂී හැකියාව වන්නේ අප්‍රිකානු රැඩිකල් දේශපාලන චින්තනය, බටහිර සම්භාව්‍ය දර්ශනවාදය සහ වර්තමාන සමාජ-ආර්ථික දත්ත එකට මුසු කරමින්, ශාස්ත්‍රීය ලෝකයට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද එකසේ තේරුම් ගත හැකි සරල එහෙත් ප්‍රබල සමාජ විවේචන ඉදිරිපත් කිරීමට ඇති හැකියාවයි.

 

‘ප්‍රභූ ග්‍රහණය’ (Elite Capture) පිළිබඳ විවේචනය

FR8v4HqXoAwDnJZ

තායිවෝ ලෝක ප්‍රකට වීමට බලපෑ ප්‍රධානතම සාධකය වන්නේ ඔහු විසින් රචිත Elite Capture: How the Powerful Took Over Identity Politics (And Everything Else) නම් කෘතිය යි. මෙහි දී ඔහු "ප්‍රභූ ග්‍රහණය" නැමැති ප්‍රබල සංකල්පය ඉදිරිපත් කරයි.

ඔහු තර්ක කරන්නේ සමාජයේ පවතින අසාධාරණය (ජාතිවාදය, ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ වෙනස් ලෙස සැලකීම් ආදිය) එරෙහිව බිහිවන රැඩිකල් සමාජ ව්‍යාපාර, කාලයත් සමග සමාජයේ ඉහළ ස්ථරවල සිටින බලවත් ප්‍රභූන් සහ මහා පරිමාණ සමාගම් විසින් තමන්ගේ වාසිය සඳහා යටපත් කරගන්නා (Capture කරගන්නා) බවයි.

උදාහරණයක් ලෙස, බහුජාතික සමාගම් සමාජ සාධාරණත්වය හෝ විවිධත්වය (Diversity) ගැන විශාල වශයෙන් ප්‍රචාරණ සිදු කරයි. නමුත් ඔවුන් කරන්නේ මතුපිටින් පෙනෙන වචන හැසිරවීමක් හෝ සංකේතාත්මක වෙනස්කම් පමණි. එමගින් පවතින අසාධාරණ ආර්ථික ක්‍රමය වෙනස් නොවන අතර, ප්‍රභූන් තමන් ගේ බලය සහ ලාභය තවදුරටත් ආරක්ෂා කර ගනී. තායිවෝ පෙන්වා දෙන්නේ ජනයා තමන්ගේ පීඩිත අනන්‍යතා (Identity) මත පමණක් වෙන් වී සටන් කරනවා වෙනුවට, පද්ධතිමය අසාධාරණයට එරෙහිව පොදු මහජන සහයෝගීතාවයක් (Solidarity) ගොඩනැගිය යුතු බවයි.

 

ශ්‍රී ලාංකීය දේශපාලනයට ‘ප්‍රභූ ග්‍රහණය’ ගළපා ගැනීමේ දී පෙණි යන කරුණ නම්...

merlin 204453720 843a0271 57a9 4600 bb73 dab3b9d21454 superjumbo

අප වැනි දිර්ඝ යටත්විජිත ඉතිහාසයකට උරුමකම් කියන, වර්තමානයේ දැඩි ආර්ථික සහ සමාජීය අර්බුදවලට මුහුණ දෙන රටක වෙසෙන පාඨකයින්ට තායිවෝ ගේ චින්තනය බෙහෙවින් වටනේ ය. ලංකාවේ ඉතිහාසය දෙස බැලීමේ දී, පොදු මහජනතාව ගේ බදු මුදල්, සම්පත් සහ දේශපාලන බලය රටේ සුළුතරයක් වූ දේශපාලන සහ ව්‍යාපාරික ප්‍රභූ පෙළැන්තියක් විසින් "ග්‍රහණය" කරගෙන ඇති ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබේ.

විශේෂයෙන්ම, ලංකාව තුළ වරින් වර ඇති වූ තරුණ සහ මහජන නැගිටීම් සහ ක්‍රමවේද වෙනස්කම් (System Change) සඳහා වූ රැඩිකල් ව්‍යාපාර, පාලක පන්තිය විසින් ඉතා සූක්ෂ්ම ලෙස තමන්ගේ බලය රැකගැනීමේ මෙවලම් බවට පත්කර ගන්නා ලදී. ජනතාව ආර්ථික යුක්තිය ඉල්ලා සටන් වදින විට, ප්‍රභූන් විසින් ජාතිවාදය, ආගම්වාදය හෝ පටු පක්ෂ දේශපාලන අනන්‍යතා ඉස්මතු කරමින් මහජන සහයෝගීතාව බිඳ දමනු ලබයි. තායිවෝ ගේ න්‍යායට අනුව, ලංකාවේ සැබෑ වෙනසක් ඇති කිරීමට නම්, ජනතාව තමන්ව විවිධ ලේබල් (අනන්‍යතා) ඔස්සේ බෙදා වෙන් කරන ප්‍රභූන්ගේ උගුලෙන් මිදී, පොදු ආර්ථික සහ සාමාජීය අයිතිවාසිකම් වෙනුවෙන් එකම පෙරමුණක් ලෙස පෙළගැසිය යුතු ය.

9798888903698

ඔහුගේ දෙවන කෘතියේ වඩාත් අවධාරණය කරන්නේ ‘ලෝකය අලුතින් නිර්මාණය කිරීම’ (Worldmaking) සහ දේශගුණික සාධාරණත්වය පිළිබඳ ගැටලුව යි. එනම් ඔහු ගේ Reconsidering Reparations නම් කෘතියේ ය. අතීතයේ සිදුවූ වහල්භාවය සහ යටත්විජිතවාදය හේතුවෙන් වර්තමානයේ ලෝකයේ සම්පත් බෙදී යෑමේ විශාල අසමතුලිතතාවක් පවතී. විශේෂයෙන් ම, ධනවත් කාර්මික රටවල් සිදුකරන පරිසර දූෂණය හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාසවලින් (Climate Change) වැඩිපුර ම පීඩා විඳින්නේ ලංකාව බඳු කිසිදු වරදක් නොකළ දුප්පත් හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ය.

 

මෙයට විසඳුම ලෙස තායිවෝ පවසන්නේ "වන්දි ගෙවීම" යනු හුදෙක් මුදල් ආධාර ලබාදීමක් නොවන බවයි. ඒ වෙනුවට, මුළු මහත් ලෝකයේ ම දේශපාලන සහ ආර්ථික ව්‍යුහය සාධාරණ ලෙස අලුතින්ම සැලසුම් කිරීම සහ දේශගුණික යුක්තිය ඉටු කිරීම සැබෑ වන්දි ගෙවීමක් වන බව ඔහු පෙන්වා දෙයි.

''ලෝකය අලුතින් නිර්මාණය කිරීම" යනුවෙන් අදහස් කරන්නේ අනාගතයට ගැළපෙන පරිදි, සමස්ත ලෝකයේම දේශපාලන සහ ආර්ථික ව්‍යුහය මුල සිට ම සාධාරණ ලෙස නැවත ගොඩනැගීමේ ප්‍රායෝගික ව්‍යාපෘතියකි.

 

මිනිස් ජීවිතය භෞතිකව වෙනස් කරන සැබෑ ඉදිකිරීම් ව්‍යාපෘතිය

486432950506 card

ඔහු තර්ක කරන්නේ අතීතයේ සිදුවූ වහල්භාවය හෝ යටත්විජිතවාදය බඳු ඓතිහාසික අපරාධ සඳහා වන්දි ගෙවීම යනු හුදෙක් මුදල් චෙක්පත් ලිවීමක් හෝ සමාව අයැදීමක් පමණක් නොවන බවයි. මන්ද, එම අතීත අසාධාරණ විසින් ම අපේ වර්තමාන ලෝක පද්ධතිය නිර්මාණය කර ඇති බැවිනි. එම නිසා, එම වැරදි නිවැරදි කිරීමට නම්, අප විසින් යුක්තිය සහ සමානාත්මතාවය මත පදනම් වූ නව ලෝකයක් නිර්මාණය කළ යුතුය.

ඔහු ගේ "ලෝකය අලුතින් නිර්මාණය කිරීම" සංකල්පයේ ප්‍රධාන කරුණු කිහිපයක් අඩංගුවේ.

තායිවෝ ලෝක ආර්ථිකය විශාල ජල නළ පද්ධතියකට උපමා කරයි. වසර 500ක් තිස්සේ මෙම නළ පද්ධතිය සකස් කර ඇත්තේ සියලු වාසි (ධනය, පිරිසිදු වාතය, දේශපාලන ආරක්ෂාව) ලෝකයේ ධනවත් රටවලටත් (Global North), සියලු අවාසි (පරිසර දූෂණය, දුප්පත්කම, දේශගුණික විපත්) ලංකාව වැනි දුප්පත් රටවලටත් (Global South) ගලා යන පරිදි ය. ඔහුට අනුව ලෝකය අලුතින් නිර්මාණය කිරීම යනු භෞතික ව්‍යාපෘතියකි. එනම්, මෙම පැරණි නළ පද්ධතිය කඩා බිඳ දමා, ලෝකයේ සම්පත් සහ ආරක්ෂාව සැමටම සමසේ බෙදී යන නව පද්ධතියක් සකස් කිරීම යි.

socialjusticei

තායිවෝ පවසන්නේ මෙය වියුක්ත සදාචාරාත්මක අදහසක් පමණක් නොව, මිනිස් ජීවිතය භෞතිකව වෙනස් කරන සැබෑ ඉදිකිරීම් ව්‍යාපෘතියක් (Physical Construction Project) බඳු එකක් බවයි. ඒ සඳහා ගත යුතු ප්‍රායෝගික පියවර ඔහු පෙන්වා දෙයි. එනම් ධනවත් පුද්ගලයින් සහ සමාගම් තමන් හොරකම් කළ මුදල් සඟවා තබන "බදු පාරාදීස" (Tax Havens) සහමුලින්ම විනාශ කිරීම. අතීතයේ දී සූරාකෑමට ලක්වූ ජනකොටස් සහ රටවල් වෙත සෘජුවම සම්පත් සහ ප්‍රාග්ධනය ලබාදීම. ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික ආයතන (උදා: ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) මත පවතින සුළුතරයක ගේ බලය ඉවත් කර, ඒවා සැබෑ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යටත් කිරීම.

 

මැතිවරණයක් දිනා නිදහස ලැබූ පමණින් ජනතාව නිදහස් ද...?2GNJX9G 1 2e16d0ba fill 480x278 1777390600836

ඔහුට අනුව ජාතිවාදයට හෝ යටත්විජිතවාදයට එරෙහි සටන, දේශගුණික විපර්යාසවලට එරෙහි සටනෙන් වෙන් කළ නොහැකි ය. මන්ද, කාර්මික රටවල් නිසා සිදුවන පරිසර දූෂණයේ බරපතළ ම ප්‍රතිඵල විඳින්නේ අතීතයේ දී සූරාකෑමට ලක්වූ දුප්පත් රටවල් ය. ලෝකය අලුතින් නිර්මාණය කිරීම යනු හරිත බලශක්තිය (Green Energy) වෙත මාරුවීම සඳහා අවශ්‍ය කරන දැවැන්ත වියදම්, අතීතයේ දී ලෝකය දූෂණය කරමින් අධිරාජ්‍යයන් ගොඩනැගූ ධනවත් රටවල් විසින් දැරිය යුතු බවයි. එමගින් පීඩාවට පත් රටවලට දේශගුණික විපත්වලින් ආරක්ෂා වීමට අවශ්‍ය යටිතල පහසුකම් සකසා දිය හැකි ය.

මෙම "Worldmaking" නැමැති යෙදුම තායිවෝ උපුටා ගන්නේ 20වන සියවසේ මැද භාගයේ අප්‍රිකානු සහ කැරිබියන් රටවල ඇතිවූ අධිරාජ්‍ය විරෝධී නිදහස් අරගලවලිනි. එදා සිටි නායකයින් වටහා ගත්තේ තමන් ගේ රටේ මැතිවරණයක් දිනා නිදහස ලැබූ පමණින් ජනතාව නිදහස් නොවන බවයි. සැබෑ නිදහස ලැබීමට නම්, සමස්ත ලෝක වෙළෙඳ සහ දේශපාලන රටාවම (International System) අලුතින් නිර්මාණය කළ යුතුය. තායිවෝ 21 වන සියවසේදී නැවත මතක් කර දෙන්නේ එම සටනයි.

54885069454 0d14064d26 zඔලූෆෙමි ඕ. තායිවෝ (ඡායාරූපයේ දකුණු පස)

ඔලූෆෙමි ඕ. තායිවෝ යනු හුදෙක් අතීත දාර්ශනිකයින් ගේ පරණ අදහස් නැවත කියවන්නෙක් නොවේ; ඔහු වර්තමාන ඩිජිටල්, ධනවාදී සහ අර්බුදකාරී ලෝකය තුළ සැබෑ නිදහස සහ සාධාරණත්වය උදෙසා අලුත් මාවතක් පෙන්වා දෙන සජීවී චින්තකයෙකි. ශ්‍රී ලාංකීය පාඨකයන් වන අපට, අපේ ම සමාජයේ දේශපාලන සටන් පාඨ සහ බල අරගල දෙස වඩාත් විචාරාත්මකව බැලීමට ඔහු ගේ චින්තනය කදිම කැඩපතක් සපයයි.

ඔහු ගේ කෘති දෙක නම්:Táíwò, O. O. (2022). Elite Capture: How the Powerful Took Over Identity Politics (And Everything Else). Chicago: Haymarket Books (Also published by Pluto Press in the UK).

Táíwò, O. O. (2022). Reconsidering Reparations. New York: Oxford University Press

 

WhatsApp Image 2026 08 03 at 5.11.04 AM

 

 

 

 

 

සටහන -  Premakumara De Silva

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න