Language Switcher

V2025

“සිරිසේන සිරිකොතට යයි! ” - දිනමිණ කතුවැකිය නොදැනීම ඔප්පු කරයිද ?

“මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සිරිකොතට ගියේ ශ්‍රී ලංකාකාරයකු ලෙස රෙදි ඇඳගෙන දැයි දැන් සමහර ශ්‍රී ලංකාකාරයෝ ප්‍රශ්න කරති. මේ සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාවා දෙන්නන් පමණක් නො ව; එක්සත් ජාතික පක්ෂයේ පාවා දෙන්නන් ද විනාශ කරගෙන ජනාධිපතිවරණය වෙත යන්නේ යැයි තවත් සමහරු කියති. හැම දේශපාලන සන්ධානයක් ම සාර්ථක වන්නේ නැත. හැම දේශපාලන සන්ධානයකට ම රටේ බලය ලබා ගැනීමට හැකි වන්නේ ද නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂය අටවාගෙන ඇති සන්ධානය ද යා - දෙක නොරත - රත යැයි සමහරු කියති. එහි හැම පැත්තක ම ඇත්තේ නො ගැළපීම් ය. ප්‍රතිපත්ති අතින් හෝ න්‍යාය පත්‍ර අතින් හෝ මේ සන්ධානය අතර ගැළපීමක් නැත.”

රාජපක්ෂ මාධ්‍ය මෙහෙයුම

ඉහත උපුටා ගැනීම අප සිදුකළේ 2014 නොවැම්බර් 28 වනදා දිනමිණ පුවත්පතේ කතුවැකියෙන්ය. මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීම සම්බන්ධව එදා රාජපක්ෂ රෙජීමයේ මාධ්‍ය ඔස්තාර්ලා ජනතාවට කාන්දු කරවන්න මුලිකව උත්සාහ කළේ ඔය අදහසය. එනම් “ප්‍රතිපත්ති අතින් හෝ න්‍යාය පත්‍ර අතින් හෝ මේ සන්ධානය අතර ගැළපීමක් නැත” යන්නය. ඒ හරහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් ගොඩනගනු ලැබූ සන්ධානය පිළිබඳ ජනතා විශ්වාසය වැදුම්ගෙයිදීම අවසන් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව විය.

එම කතුවැකිය අවසන් වන්නේ “අවසානයේ මෛත්‍රීපාල මහතාට අයියෝ සිරිසේන! කියා අත පිසදා ගන්නට සිදුවේ ද?” යන ප්‍රශ්නාර්ථය යොමුකරමින්ය. වසර 4 කට පසුව අප මේ උපුටා දැක්වීම සිදුකළේ හේතු ඇතිවය. මේ ලියන්න යන්නේද ඒ ගැනය.

මං දන්නෙත් නෑ

කාලයක් තිස්සේම දකින්නට ඇති දෙයක් වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඊට අදාලව ජාතිවාදී සහ ආගමික කල්ලි වල එසේත් නැතිනම් විපක්ෂයේ පාර්ශවයන් වෙතින් චෝදනා එල්ලවන විට ජනාධිපතිවරයා “මං දන්නෙත් පත්තරෙන්”, මං දැනගෙන හිටියේ නෑ” වැනි සිල්ලර ප්‍රකාශ සිදුකිරීමය.

එය අදාළ ප්‍රශ්නයෙන් හෝ එල්ලවන අභියෝගයෙන් ඒ මොහොතේ ක්ෂණික ආවරණයක් ලෙස යොදාගත හැකි නමුත් එවැනි ප්‍රකාශ දිගින් දිගටම සිදුකිරීම එතරම් දියුණු දේශපාලන හැසිරීමක් නොවේය. සැබවින්ම ආණ්ඩුවක් මැදිහත්ව රජය සම්බන්ධව ගනුලබන ප්‍රතිපත්තියක් විධායක ජනාධිපතිවරයා නොදැන සිටින්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවූ විට ඊට දෙන්නට පිළිතුරක් ජනාධිපතිවරයා සතුවිය යුතුය.

අගලවත්තේ රස කතාව

ඊට ආසන්නතම සිදුවීම වන්නේ කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමට අවසර දෙමින් හා මත්පැන් අලෙවිසැල් රාත‍්‍රි 10.00 තෙක් විවෘත කිරීමට නිකුත් කරන ලද ගැසට් නිවේදන අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ප්‍රකාශයට පත්කළ ආකාරයයි.

පසුගිය 14 වනදා අගලවත්ත ප‍්‍රදේශයේ පැවති ශ‍්‍රීලනිප ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසු අතර එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මුදල් අමාත්‍යංශය නිකුත් කළ මෙම ගැසට් නිවේදන සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බවය.

රටක ජනාධිපතිවරයෙක් වූ විට විශේෂයෙන්ම විධායක ජනාධිපතිවරයෙක් වූ විට එරට අමාත්‍යංශ සතු සියළු දේ සහ සියළු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා දැන සිටිය යුතුය වැනි මුග්ධ අර්ථයකින් මෙය නොගත යුතුය. එහෙත් ප්‍රතිපත්ති සහ න්‍යාය පත්‍රය සම්බන්ධව හෝ අවම දැනුවත්භාවයක් ජනාධිපතිවරයාට තිබිය යුතුය.

කියපු රසට ගොතා - කාටද මේ කතා

ඉහත සිදුවීමට අදාළව “මං දැනගෙන හිටියෙත් නෑ” කියා ජනාධිපතිවරයා ඇඟ බේරාගන්න සුදානම් වන්නේ අදාළ ගැසට් නිවේදන වලට එරෙහි ජනමතය වැඩි බවට අදහසකින් විය යුතුය. නැතිනම් සිංහල බෞද්ධ බලවේග වල ආකර්ෂණය සඳහා විය යුතුය. එහෙත් අවාසනාවට කරුණ වන්නේ “මං දැනගෙන හිටියේ නෑ” හරහා සමාජගත වන්නේ ඉහත දිනමිණ කතුවැකිය හරහා සමාජගත කරන්නට උත්සාහ කළ අදහස වීමය. එනම් මේ ආණ්ඩුව ඇතුළත් සන්ධානයේ “ප්‍රතිපත්ති අතින් හෝ න්‍යාය පත්‍ර අතින් හෝ මේ සන්ධානය අතර ගැළපීමක් නැත” යන්නය.

කෙසේ වුවත් “මං දැනගෙන හිටියෙත් නෑ” පිළිතුර හරහා ජනාධිපතිවරයා අපේක්ෂා කරන ප්‍රතිඵලය ලැබෙනවා නම් ඒද ගැටළුවක් නැත. එසේ වූවානම් දේශපාලනය කියන්නේ වෙනත් කිසිඳු අටමගලක් නොව බලය ලබාගැනීම සඳහා කරන අරගලය බව විශ්වාස කරන අපටද නිහඬව සිටීමට හැකිය. එහෙත් අපගේ තක්සේරුව අනුව නම් “මං දැනගෙන හිටියෙත් නෑ” හරහා ලැබෙන ප්‍රතිඵලය සමාන වන්නේ “අවසානයේ මෛත්‍රීපාල මහතාට අයියෝ සිරිසේන! කියා අත පිසදා ගන්නට සිදුවේ ද?” යන්නටය.

ඒ හමුවේ අසරණ වන්නේ ජනාධිපතිමයි කියා අපටත් අහක බලන්නට පුළුවන. නමුත් දිගින් දිගටම සිදුවන මේ වගකීම් විරහිත“මං දැනගෙන හිටියෙත් නෑ” ප්‍රකාශය තුළ සිදුවෙමින් ඇත්තේ පරාජිත රාජපක්ෂ රෙජීමය නඩත්තු කරන අන්ත ජාතිවාදය සහ ආගම්වාදය යළි යළිත් පණ ගසා නැගිටීමය.

ගැසට් පත්‍ර දෙක

මංගල අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් පත්‍ර දෙක පදනම්ව ඒ තත්ත්වය තේරුම් ගන්නවා නම් ඒ මෙසේය.

ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමෙන් සහ එය සිදුකල ආකාරයෙන් ගම්‍ය වන්නේ මංගල අමාත්‍යවරයා මේ ගැසට් පත්‍ර නිකුත් කරනු ලැබුවේ ඇයිද යන්නේ සහ ඒ හරහා අපේක්ෂා කර සිටියේ කුමක්ද යන්න නිවැරදිව වටහා ගන්නට ජනාධිපතිවරයා අසමත්ව ඇති බවය.

ඊට පළමු සහ ප්‍රධාන හේතුව සපයන්නේ අදාළ ගැසට් දෙකට එරෙහිව හඬ නැගු පාර්ශව මතුකළ කාරනාම ජනාධිපති සිරිසේනගේ තීරණයට හේතු වූ බව පෙනෙන්නට තිබීමය.

වඩාත් සරලව කියනවා නම් ඒ මෙසේය.

අදාළ ගැසට් දෙකට විරෝධය මතුකරන පිරිස් පෙන්වා දුන්නේ ඒ හේතුවෙන් පෙරට පවුල් සංස්ථාව අර්බුදයට යන බව සහ එය මාතෘත්වයට කරන හානියක් බවය. එසේම සිංහල බෞද්ධ සංස්කෘතියටද එයින් හානියක් සිදුවන බවය.

මේ චින්තනයේ ප්‍රායෝගික තලය පරීක්ෂා කරන විට පෙනී යන්නේ ඊට අනුව හෙට සිට කාන්තාවන් බාර් වල පෝලිමේ සිට මත්පැන් මිලදී ගන්නා බවත්, ගෑනු හරි හරියට මත්පැන් බීම නිසා පවුල් අවුල්වී ළමයි කැලේ යන තත්ත්වයක් මතුවන බවය. සැමියන් බිරියන් සොයා තැබෑරුම්වලට යන බවය. අම්මලා සොයා දරුවන් තැබෑරුම් ඉදිරියේ හිටගෙන ඉන්නවා වැනි තත්ත්වයක් මතුවන බවය.

ඇල්ලේ ගුණවංශට හෝ මැදගොඩ අභයතිස්සට තොටගමුවේ ශ්‍රී රාහුල හෝ වෑත්තෑවේ වැනි හිමිවරුන්ට මෙන් කවි ලියන්නට හැකි වූවානම් මේ ගැන අපුරුවට කවි ගොතනවා නිසැකය. අප පෙන්වා දෙන ගැටලුව ඇත්තේද එතැනය. මේ ගැන ලස්සන කවි හෝ කතා ගෙතුවාට ඒවා මේ පොලවේ ඇත්ත වෙන්නේ නැත. ඒ කවි , කතා එක එක ඔළුගෙඩි වල මැවෙන සංකල්ප මිස සැබෑව නොවේය. ජනාධිපතිවරයා දිගින් දිගටම දේශපාලන වලක වැටෙන බව පෙනෙන්නට ඇත්තේද මෙන්න මේ ආකාරයේ ජාතිවාදී - ආගමික අන්තවාදී සහ අමුම අමු පසුගාමී මනෝ භ්‍රාන්ති විවේචන වලින් සැබෑව වෙන්කර හඳුනා නොගැනීම තුළය.

අපට අනුව නම් මංගල අමාත්‍යවරයා ඉහත චක්‍රලේක ගෙනෙමින් කුඩුකර දමන්නට උත්සාහ කළේ ජාතිවාදී - ආගමික අන්තවාදී සහ අමුම අමු පසුගාමී මනෝ භ්‍රාන්ති විවේචකයින්ගේ මතවාදයය. මඳක් සිතා බලන්න.

පිරිමින්ට කැපයි - ගෑනුන්ට අකැපයි

ඉහත මනොවිකාරකාරයන්ට අනුව නම් මත්පැන් පිරිමින්ට මිලදී ගැනීම වරදක් නොවේය. එහෙත් එය කාන්තාවන්ට වරදක්ය. මත්පැන් සහිත ආපනශාලාවක රැකියාවක් කිරීම පිරිමිට කැපය. කාන්තාවන්ට අකැපය. මේ සමඟ අප සොයා බැලිය යුතුව ඇත්තේ මේ චින්තනයේ මුල් ඇත්තේ කොහෙද යන්නය.

එවිට ඒ මුල් අපට සමපාත වන්නේ කාන්තාවට භිෂුත්වය ලබන්න නොහැකිය යන ආගමික සමාජ කොන්දේසිය වැනි තත්වයකට මිස ලිංගය මත පදනම්ව කිසිඳු වෙනස් සැලකීමක් හෝ අයිතිවාසිකම් අහිමිවීමක් නොකළ යුතුය යන ශිෂ්ට සම්පන්න ලෞකික සමාජයේ දියුණු එකඟතාවට නොවේය.

අනෙක් අතට අදටත් තරු පන්තියේ සාද ඇතුළුව රාත්‍රී සමාජශාලා තුළ කාන්තාවන් මේ වෘත්තියේ නියැලෙන අතර ඕනෑ තරම් කාන්තාවන් මත්පැන් පරිභෝජනය කරයි. ඒ ප්‍රමාණය පිරිමි හා සමානව ඇති බවද අතිශෝක්තියක් නොවේය.

ඒ අනුව අර මනෝ විකාර කාරයන් අපට යෝජනා කරන්නේ කුමක්ද?“කාන්තාවන් මත්පැන් බොන බවත් රාත්‍රී සමාජ ශාලාවල සේවය කරන බවත් අපි දන්නවා. ඒත් අපි එහෙම දෙයක් වෙන්නෙ නෑ වගේ ඉන්න ඕන” වැනි නරුම යෝජනාවක් නොවේද?

එසේම අද පවුල් සංස්ථාව අර්බුදයට ගොස් ඇත්තේ ඉහත ගැසට් නිවේදන නිසාද? මැදපෙරදිග වහල් සේවයේ නියැලෙන කාන්තාවන් මුහුණදී ඇති ප්‍රශ්න සඳහා උත්තර සෙවීමට ඔවුන් මෙතරම් මාරාන්තික නොවන්නේ ඇයි? මෙරටේ අදටත් අඩු වැටුපට කාන්තා ශ්‍රමය සුරාගෙන කන ව්‍යාපාර නැතිද? මේ අයට ඒවා ප්‍රශ්න ලෙස නොපෙනෙන්නේ නැද්ද?

කාන්තාවකට අවශ්‍ය නම් මිලදී ගැනීමක් කරන්න , කාන්තාවකට අවශ්‍ය නම් රැකියාවක් කරන්න ඊට ඇති බාධා ඉවත් කිරීම ගැන මාරාන්තික වන උදවිය මිනිත්තු 4-5 කට වරක් මෙරට කොතන හෝ සිදුවන කාන්තා හෝ ළමා අතවර ගැන සංවේදී නොවන්නේ ඇයි? මේ මත පදනම්ව පවුල් සංස්ථාව අර්බුදයට යන්නේ නැද්ද? මාතෘත්වයට මෙතැන හානියක් වන්නේ නැද්ද?

මේ සියල්ල මේ ඉරහඳ යට සැබෑවට සිදුවන බව ඊනියා සංස්කෘතියේ මාරාන්තික ආරක්ෂකයින් දනියි. නමුත් ඔවුන් යෝජනා කරන්නේ ඒ සියළු නින්දිත අමානුෂීය සැබෑව අමතක කොට අපට කටයුතු කරන්න කියාය. මේ මොහොතේ සිංහල බෞද්ධ අන්තවාදයේ ජනප්‍රිය යෝජනාව වන්නේද ඒ නරුම ජීවිතයට හුරුවන ලෙසය. දේශපාලකයකුට අදාලව නම් ඒ නරුමත්වයට හානි නොකරන තැනක රට තබා ගන්නා ලෙසය..

මහින්දගේ කාලේ සිංහලේ

සැබවින්ම මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපතියා රටේ අධිකරණය මහ දවාලේ කෙලෙසන විට, යුක්තිය ඇලේ දමා නීතිය කැලේට දක්කන විට, උතුරේ දකුණේ කියා වෙනසක් නැතිව පුද්ගලයන් අතුරුදහන් කරන විට සංවේදී නොවූ මේ මනොවිකාරකාරයන් එදා හ්ම් නොකීවේ සිංහල බෞද්ධකම එය නිසාද? නැතිනම් ඒ හරහා ඔවුන් නඩත්තු කරගෙන සිටින සමාජ මිත්‍යාවන්ට කිසිඳු හානියක් නොවන නිසාද යන්නද ඉතාම පැහැදිළිය.

ඒ මනොවිකාර නරුම කැල මංගලගේ ගැසට් නිවේදන දෙක හමුවේ මාතෘත්වය පවුල් සංස්ථාව ඇද ගන්නේ ඇයිද යන්නද දැන් පැහැදිළි කර ගැනීම දුෂ්කර නැත. කාන්තාව සම්බන්ධයෙන් ඒ බව පැහැදිලි කරගන්නවා නම් ඒ සඳහා වැඩිදුර යා යුතු නැත. ඊට කාලත්‍රය යා කරන නිදර්ශනයක් අප සතුව ඇත.

එනම්, ඉතිහාසය අපට කියාදී ඇත්තේ හේමමාලා කුමරිය දන්ත ධාතුව මෙරටට ගෙනාවේ ඇගේ කෙස් කළඹේ රඳවා ගෙන කියාය. එහෙත් අද ඒ දන්ත ධාතුව අසළටවත් යන්න කාන්තාවකට අයිතියක් නැත.

මනොවිකාර නරුම කැල යෝජනා කරන්නේ ඒ පන්නයට අපේ ලෞකික ජීවිතය සකස්කරගන්නා ලෙසය. මහින්ද පපුවට අත් දෙකෙන් ගසාගෙන බොරු කියන්නේ සහ මේ සිංහල බෞද්ධයන්ගේ රට සහ එය රැකුමේ රජු තමා බව කියන්නේ මනොවිකාර නරුම කැල යෝජනා කරන දේ සඳහා සුදුසුම කෙනා තමන් බව ඒත්තු ගන්වන්නටය.

ඔපරේෂන් මංගල

මංගල අමාත්‍යවරයා පහර දෙන්නේ ආන්න ඒ ආකාරය නඩත්තු කරන්නට සුදානම් වන සමාජ මිත්‍යාවටය. ඒ හරහා බිඳින්න උත්සාහ කරන්නේ අදටත් නිදහස් පුරවැසියන් වෙනුවට රජගෙදර වහලුන් වීමට පතන ඔළුගෙඩි වල ඇති මලකඩය. රාජපක්ෂලා වැනි අවස්ථාවාදීන් පොදුජන දියුණුවට බාධා කරන්නේ අසල්වැසි දමිළයා කී විට ඔහුව මරන්නට පනින, තවත් වරෙක එතැන මුස්ලීම් වැසියා සිටින බව කී විට ඒ අසල්වැසි සහෝදර ජනයා මරා විමුක්තිය හා සෞභාග්‍ය පතන මළකඩය. ඒ මළකඩ ඉවත්කර හදන්න යන්නේ ගෝලීය සමාජ ආර්ථිකයට ගැලපිය හැකි ශ්‍රීලාංකීය පුරවැසියාය.

මැදමුලන ගිය පාර

අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට අමතකවී ඇත්තේ තමන් ජයග්‍රහණය කළ 2015 ජනවාරි 08 පරාජයට පත්වුයේ අද තමා “මං දැනගෙන හිටියෙත් නෑ” කියා ලකුණු දාගන්න හදන පෙරමුණ බවය. සැබවින්ම එදා මේ මනොවිකාර නරුමයින් සිරිසේන අපේක්ෂකයා වෙනුවෙන් සිටියේ නැත. ඔවුන් සිටියේ තම නරුමත්වය නඩත්තු කිරීමට තෝරාගත් මැදමුලන පාර්ශවයේය. මැදමුලන චින්තනයද එදා වැඩකළේ මේ මනෝ විකාර කාරයින් නිසා තමන්ගේ යාවජීව ජනාධිපති සිහිනය සැබෑවනු ඇති බවය. අදටත් මැදමුලන පාර්ශවයේ සිට ඔවුන් ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ සහ තල්ලු කරගෙන යමින් සිටින්නේ “මෛත්‍රීගේ පුලතිසිපුර චින්තනය සහ රාජපක්ෂලාගේ මැදමුලන චින්තනය දෙකක් නොව එකක් බව” ඔප්පු කරන්නටය.

මං දන්නෙත් නෑ පාර

අනෙක් අතට එහිදී ජනාධිපතිවරයාද ඔහුගේ ප්‍රතිපත්තිය එකක් බවත් ආණ්ඩුවේ අනෙක් පාර්ශවයේ ප්‍රතිපත්තිය තවත් එකක් බවට ඔප්පු කරන්න යාම තුළ සිදුවන්නේ ඔබ බලය සඳහා කෑදරව අවස්තාවාදී දේශපාලන භාවිතයක සිටින බවට අදහසක් සමාජගත වීමය. ආණ්ඩුවේ න්‍යායපත්‍රය සම්බන්ධ ප්‍රශ්නයටද ඒ කාරණය අදාලය.

මන්ද ආණ්ඩුවේ සිටින අය ජනාධිපතිවරයාම කියන ලෙසත් ඔච්චර නරක නම් සහ දුෂිත, ජාති ද්‍රෝහී, සංස්කෘතික ද්‍රෝහී නම් ඒ නරක අය සමඟ සිටින්න ජනාධිපතිවරයා කොච්චර වංක සහ අවස්තාවාදී විය යුතුද යන ප්‍රශ්නය පැනනගින නිසාය. ඒ දයලෙක්තික සම්බන්ධය අනුව නම් දැන්වත් “මං දැනගෙන හිටියේ නෑ” දේශපාලනය වෙනස් කරගත යුතුව ඇත.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ 2015 ජනවාරි 08 වෙනස වෙනුවෙන් හරියට වෙහෙසීම යනු මැදමුලන පන්නයට දිනන්නට යාම නොවන බව තේරුම් නොගතහොත් සිදුවීමට ඇත්තේ එකම එක දෙයක් පමණය. ඒ මෛත්‍රී, විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන අවස්ථාවේ මේ පසුගාමී සමාජය නඩත්තු කර එහි මාරාන්තික ආරක්ෂකයින් විසින් ඔහුට අදාලව සුදානම් කළ දේශපාලන දසාව උරුම කර ගැනීමය. ඔවුන් එදා එය දිනමිණ කතු වැකියේ සඳහන් කර තිබුණේ “අවසානයේ මෛත්‍රීපාල මහතාට අයියෝ සිරිසේන! කියා අත පිසදා ගන්නට සිදුවේ ද?”යනුවෙන්ය.

දහම් ලියනගේ